මෙත් සිත
වහලකු ලෙස ජීවත්වීමට නොව
සිතේ තරහව දුරු කර ගැනීමටයි
“මෛත්‍රිය” නම් වචනය ඇසෙනවිට අපට එකවර ම සිහිපත් වන්නේ භාවනා ආකාරයකි. එනම්,
“මෛත්‍රි භාවනාව“ නම් වූ භාවනාවයි. එනම්, දිගු වේලාවක් එක් ස්ථානයක හිඳිමින්
සිදුකරන ක්‍රියාවක් පිළිබඳව යි.
සත්‍ය වශයෙන් ම, මෛත්‍රිය යනු මිනිසකුගේ සිතෙහි උපදින විවිධාකාරයේ සිතිවිලි වර්ග
අතරින් එක් සිතිවිලි වර්ගයක් පමණි. අපට එදිනෙදා ජීවිතයේ නොයෙක් ක්‍රියාවන් සිදුකරන
අතරතුර දී ම එක්වර ම මෛත්‍රිය හා බැඳුණු සිතිවිලි ද සිතෙහි උපදී. එය එක් අවස්ථාවක
දී ක්ෂණික ව ඇතිවී, නැතිවී යන සිතිවිල්ලකි. එනම්, මෛත්‍රි සහගත සිතිවිල්ලකි.
නිදසුනක් ලෙස, ඔබ රිය පදවමින් සිටියදී කහ ඉරෙන් පාර හරහා ගමන් කරන වියපත් පුද්ගලයකු
පැමිණේ. “මොවුන් පාරක ගමන් කිරීමෙන් සිදුවන්නේ අපගේ කාලය නාස්ති වීමයි. අත පය පණ
නැතිවී ද මොවුන් බැරි ආමරුවෙන් පාරවල්වල ගොස් අපට ද අනතුරු ඇති කරන්නේ ය. මොවුන්
දැන් ගෙවල්වලට වී සිටිය යුතුයැ” යි සිතමින් ඔබ එම තැනැත්තා පිළිබඳ අප්‍රසාදය මුසු
වූ සිතිවිලි ඇති කර නොගන්නේ ය. එම තැනැත්තා පාර මාරු වී අවසන් වූ පසුව වුවත් ඔහු
දෙස අප්‍රසාදයෙන් යුක්ත ව හැරී නොබලන්නේ ය. කෝපයෙන් බැනීමට නොයන්නේ ය. වාහනයේ තමා
සමඟ යන අනෙක් අයත් සමඟ එක්වී එම තැනැත්තාගේ ක්‍රියාව විවේචනය කරන්නට නොයන්නේ ය. ඒ
වෙනුවට, ඔහු පාර මාරුවී අවසන් වූ පසු ඔබ නැවත රිය පදවා ගෙන ඔබේ ගමන යන්නේ ය.
මෙලෙස, ඔබේ ජීවිත කාලය පුරාවට ම නොයෙක් අවස්ථාවන්වල දි මෛත්‍රී සහගත සිතිවිලි ඇතිවී
නැතිවී යයි. ඒවා සිතිවිලි මාත්‍රයන් ම පමණක් වන නමුත්, එම සෑම යහපත් සිතිවිල්ලක්
පාසා ම ඔබ වටා බලවත් ශක්තියක් ඒකරාශී වී යයි. ත්‍රිපිටකයෙහි මෙම යහපත් ශක්තිය
හඳුන්වා දී ඇත්තේ “කුසල” යන නාමයෙනි.
අප සාමාන්‍යයෙන් ඕනෑ ම යහපත් ක්‍රියාවක් අවසානයේ “මම ලොකු කුසලයක් සිදු කර ගත්තා”
යැයි ප්‍රකාශ කළ ද, අප වටා ඒකරාශී වූ කුසල ශක්තියේ සැබෑ තතු කරුණු සහිත ව විස්තර කර
දිය හැකි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණි. ඒ කර්මවිපාක ඤාණය අවබෝධ කළ හැකි
වන්නේ උන්වහන්සේට පමණක් නිසාවෙනි.
කුසල ක්‍රියාවක දි එහි ශක්තිය බලවත් වීමට නම්, එම ක්‍රියාව මඟින් ප්‍රතිග්‍රාහකයාට
සිදුවූ යහපත පිළිබඳ ව සිහිකරමින්, එය සිදුකිරීමට සිත් වු කරුණු සිහි තබා ගනිමින් ම
පින්කම් සිදු කළ යුතු ය. ධර්ම දේශකයන් වහන්සේ විසින් කොතරම් පැහැදිලි කර දී තිබුණ
ද, තවමත් බොහෝ දෙනෙකු පින්කම් කිරීමේ දී, ඉන් ලද හැකි යහපත් විපාක ගැන ම සිතමින් එය
කරති. දානය පූජා කිරීමේ දී එමඟින් තමාට අනාගතයේ දී බොහෝ වස්තු සම්පත් ලැබෙන බව
සිතමින් පූජා කිරීම මෙයට නිදසුනකි. ඕනෑම යහපත් ක්‍රියාවක නිරත වීමේ දී එම
ක්‍රියාවන්ට ම අවධානය යොමු කර සිදු කිරීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල උපදවා ගත හැකි ය.
නිදසුනක් ලෙස, ඔබ මල් පූජාකිරීමේ දී, මල් ආසනය මත මල් තැබීම යන ක්‍රියාවට අවධානය
යොමු කරමින් එය සිදු කරන්න. නොතැළුණු පෙති නොකැඩුණු ආදී වශයෙන් මල් තෝරමින්
පිළිවෙලකට මල් තබන්න. මල් ගොඩක් මත තබන්නට සිදුවන්නේ වුව ද ඒවා තබන්නේ පිළිවෙලකට
නම් එපමණ ය.
එක් එක් මල තබනවාත් සමඟ ම, හොඳ මල් තෝරන ක්ෂණයක් පාසා ම, කුසල ශක්තිය ද ඔබ වටා
ගොඩනැඟෙමින් යනු ඇත. කුසලය සිදුවන්නේ ඔබ මල් පූජා කිරීමේ දී සිදුකරන යහපත් ක්‍රියා
එකිනෙක වෙනුවෙනි. එසේ නැති ව, වෙනත් දෙයක් සිතමින් මල් ටිකක් තබා අවසානයේ කුමක් හෝ
ගාථා පාඨයක් කීමෙන් ම නොවේ.
ගාථාවක් සජ්ඣායනයෙන් සිදුවන කුසලය වෙනකකි. නමුත් ගාථා සජ්ඣායනයේ කුසලය සිදුවන්නේ ද
ගාථාවෙන් කියැවනෙ තේරුම දැනගෙන කියන තැනැත්තාට පමණි. “තේරුම” යනු පාලි ගාථා පාඨයක
සිංහල පරිවර්තනය නම් නොවේ. පාලියෙන් ලියැවි ඇති පාඨයකට සිංහල පරිවර්තනයක් සපයා දි
ඇත්තේ, අප බොහෝ දෙනෙක් පාලි භාෂාව නොදන්නා බැවින් තේරුම අවබෝධ කර ගැනීමට අපහසු
නිසාවෙනි. නමුත්, සිංහල භාෂාවේ වදන්වල අර්ථය අපට වටහා ගත හැකි ය. එසේ නම් කළ
යුත්තේ, පාලි ගාථා පාඨවල සිංහල පරිවර්තනය කියවා එහි කියා දෙන්නේ කුමක්ද යන්න දැන
ගැනීමයි. එවිට ඔබ ගාථාවේ තේරුම අවබෝධ කර ගත්තා වේ. එබැවින්, පින්කමක් කිරීමේ දී,
වෙනත් සිතිවිලිවලින් බැහැර වී, ඔබ විසින් කළ යුතු දෑ සිහිනුවණින් යුක්ත ව
සිදුකිරීමට මතක තබා ගන්න.
පෙර සඳහන් කළ පරිදි ඇතැම්විට මෛතී‍්‍ර සිතිවිලි ක්ෂණික ව ඇතිවී නැතිවී යන සිතිවිලි
මාත්‍රයන් විය හැකි ය. ලොව ඕනෑ ම පුද්ගලයකුට, එනම්, දාමරිකයකුට පවා යම් යම්
අවස්ථාවල දී මෛත්‍රී සිතිවිලි ඇති වේ. එලෙස ඉඳහිට වුව ද මෛත්‍රී සිතිවිලි පහළ කර
ගන්නා ඔහු දාමරිකයකු බවට පත් වූයේ ක්‍රමානුකූල ව මෛත්‍රී කිරීමට පුහුණුූ වී නැති
නිසාවෙනි. අප බොහෝ දෙනකු ද මෙලෙස අවබෝධයෙන් මෛත්‍රි කිරීමට පුහුණුවී නැත. විටින්
විට, අපට අවශ්‍ය අවස්ථාවල දී අපට අවශ්‍ය තැනැත්තකු අරමුණු කර ගෙන මෛත්‍රි සිතිවිලි
ඇති කර ගනු විනා, ඕනෑම අවස්ථාවක දී , ඕනෑම පුද්ගලයකුට මෛත්‍රී කිරීමට අප පුහුණු වී
නැත. භාවනාවක් ලෙස මෛත්‍රිය පුහුණුූ කරනුයේ මෙම ගැටලුව මඟහරවා ගැනීමට ය.
භාවනාව යනු, අප විසින් සිදු කරන යම් කායික හෝ මානසික හෝ ක්‍රියාවකට සිතාමතා ම
අවධානය යොමු කර ගෙන සිටීමයි. මෛත්‍රි භාවනාව සිදුකිරීමේ දී, අප විසින් මනස පුහුණුූ
කරනු ලබනුයේ, ඉදහිට මෛත්‍රී සිතිවිලි උපදවා ගැනීම වෙනුවට, ඉන් ඔබ්බට ගොස්, දිගු
වේලාවක් මෛත්‍රී සහගත සිතිවිලි සිතෙහි පවත්වා ගැනීමට යි. එසේම, අපට කැමැති අය
අරමුණු කරනු වෙනුවට, තේරීමකින් තොරව, ඕනෑම පුද්ගලයකු හෝ සත්ත්වයකු හෝ කෙරෙහි
මෛත්‍රි සහගත සිතිවිලි ඇති කර ගැනීමටයි. මෙසේ භාවනාවක් ලෙස වඩන මෛති‍්‍රය නමැති
ගුණය නිර්වාණාවබෝධයට ද ඍජුව ම උපකාර වේ.
බ්‍රහ්ම විහරණ භාවනා සතර අතරින් එකක් වන මෛත්‍රි භාවනාව මඟින්, මිනිසාගේ සිතෙහි,
අනෙක් තැනැත්තකු හෝ සත්ත්වයකු හෝ පදනම් කර ගෙන හටගත් තරහව, නොසතුට, අප්‍රසාදය,
නොරුස්නා බව ආදි වෛරී සහගත සිතිවිලි යටපත් කිරීමට පුහුණුූ කෙරේ. බුද්ධ දේශනාවෙහි
විස්තර කර ඇති පරිදි, සෝවාන් මාර්ගඵලයටවත් පත් නොවු පෘථග්ජන පුද්ගලයා අතින්
ආනන්තරිය පාපකර්මයක් වුව ද සිදුවිය හැකි ය. ඒ ඔහු තම සිතෙහි හටගන්නා සිතිවලි
අවබෝධයකින් තොර ව පරිහරනය කරන නිසාවෙනි. එබැවින් එවැනි වූ අනතුරුදායක තත්ත්වයක
සිටින පෘථග්ජන අපට මෛත්‍රි භාවනාව පුහුණු කිරීම හරහා බොහෝ පාපකර්මයන්ගෙන් වැළකී
සිටීමට අවශ්‍ය චිත්තවේගිය පාලනය ලැබෙන අතර ම, එදිනෙදා ජීවිතය මානසික පීඩාවකින් තොරව
ගතකිරීමට ද අවස්ථාව ලැබේ. මෛත්‍රි භාවනාව ක්‍රමානුකූල ව පුහුණු කර ඇති තැනැත්තාට
වෙනත් පුද්ගලයකු අරබයා තරහවක් පහළවුව ද, එය නොසතුට පළකිරීම් මාත්‍රයකින් නවත්වා
ගනී. සැඩපරුෂ ක්‍රියාවන්, වචන ප්‍රකාශ කිරීම්, ප්‍රකෝපකාරි හැසිරීම් ආදියෙන් වැළකී
සිටියි.
නමුත්, මින් අදහස් වන්නේ, මෛත්‍රිය වඩන පුද්ගලයකු, අන් අයගේ පීඩා විඳිමින්,
හිරිහැරවලට ලක්වෙමින්, දුක සේ ජීවත්විය යුතු බව නම් නොවේ. මෛත්‍රිය වැඩීම උගන්වා
ඇත්තේ අන් අයගේ වහලකු මෙන් ජීවත්වීමට නොව, තම සිතෙහි අන් අය සම්බන්ධ ව හටගෙන ඇති
තරහව දුරු කර ගැනීමට යි.
මෛති‍්‍රය යනු, යම් පුද්ගලයකුගෙන් හෝ තිරිසන් සතකුගෙන් හෝ තමාට කරදර සිදුවන විට එයට
මුහණ දී, තමාට පීඩා කරන්නට ඉඩදී සිටීම නොවේ. බෝධිසත්ත්වයන් වහන්සේ තමාට සිදුවන
කායික පීඩාදියට භක්තිවන්ත ව හා අවබෝධයෙන් යුතු ව මුහුණ දෙනුයේ, එම සෑම අභියෝගයක් ම
උන්වහන්සේගේ පාරමී ගුණධර්ම සම්පූර්ණ කිරීමට උපකාරි වන නිසා ය. එවැනි උතුම්
බෝධිසම්භාරයක් නොපතන අප වැනි අයට අන් අයගේ පීඩා හමුවේ ඔවුනට ද හිරිහැරයක් නොකර ඉන්
ඉවත්ව යාමට ඕනෑ තරම් ක්‍රම භාවිත කළ හැකි ය. ඉන් අපගේ මෛති‍්‍ර ගුණධර්මවලට හානියක්
සිදු නොවේ.
නිදසුනක් ලෙස, මෛත්‍රිය යනු, මදුරුවකු විදිනවිට ඌට විදීමට ඉඩහැර බලාසිටීම නොව,
මදුරුවා නොමරා එලවා දැමීමයි. මදුරුවා කරන්නේ හිරිහැරයකි. එහෙයින්, එම සත්ත්වයා
පිළිබඳ අප සිතෙහි කෝපයක් හට ගනී. අප රෝගවලින් ආරක්ෂාවී සිටිය යුතු බැවින් ඌ
පලවාහැරිය යුතු අතර, මෛති‍්‍රය නිසා ඌ එළවා දැමීමට, මරාදැමීම හැර වෙනත් ක්‍රමයක්
භාවිත කරයි.
ඔබේ නිවසේ ගෙමිදුලට සතකු, පැමිණ නිතර ම අපිරිසුදු කර යන්නේ නම් ඌට හිිරිහැර කිරීම
කොට, ඌ මිදුලට ඇතුලුවන ස්ථානය වසා දැමිය හැක. කවරකු හෝ ඔබට අයිති යමක් සොකරම් කළේ
නම්, මෙත්‍රිය නිසා ඔහුට දඬුවමක් හෝ අයහපතක් ප්‍රාර්ථනා නොකළ ද, ඔබේ යහපත පිණිස
මින් පසු එම පුද්ගලයාට කිසිවක් නොදී සිටිය හැක.
කෙසේ වුව ද, ඔබට යම් කරදරයකින් බේරීමට මෙවැනි සරල විකල්පයක් කිසිසේත් ම නොමැති නම්,
එයට ද විසඳුමක් ඇත. එනම්, තමා කළ කුසල ක්‍රියා සිහිපත් කර, බුද්ධ, ධම්ම, සංඝ යන
ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කර, එම අනුභාවයෙන්, තමාට ඇතිවී තිබෙන හිරිහැර ඉවත්වී
යත්වා’ යි ප්‍රාර්ථනා කිරීම යි. නිදසුනක් ලෙස, ඔබේ ගෙමිදුලට කොළ අතු වැටෙන සේ ගස්
වවා ඇති අසල්වැසියකු සමඟ ඇති තරහවට ඔහුගේ අත පය කැඩේවා’යි ප්‍රාර්ථනා කළ ද ඔබේ කීමට
කිසිවක් සිදුනොවනු ඇත. යම් හෙයකින් එම තැනැත්තාට අනතුරක් සිදුවුවහොත්, එවැන්නක්
ප්‍රාර්ථනා කළ ඔබ පාපයක් ද සිදුකර ගෙන ඇත. මෙම වෛර දාමයේ ඊළඟ සිදුවීම, ඔබේ අතපය ද
කැඩීයාම විය හැකියි. ඔහුගේ දෑත දෙපය අහිමිවීම එම ගස් කපා දැමීමට හේතුවක් වන්නේ නම්
නැත. “මට මෙවන් අනතුරක් සිදුවූයේ අසලවල් ගස කපා නොදැමීම නිසා ය. අද ම ගොස් අතු කපා
දැමිය යුතු ය” යි සිතන්නේ නම් නැත. ඇරත්, ඔහුට අනතුරුක් සිදුවූයේ ගසේ අතු කපා
නොදැමීම නිසා යැ’යි ඔහු දන්නේ කෙසේද? ඔබට අවශ්‍ය වන්නේ කුමක්ද? ගස්වල අතු ඉවත් කර
ගැනීමට නොවේ ද? එසේ නම්, ප්‍රාර්ථනා කළ යුත්තේ එය යි.”
“අසවල් තැනැත්තා අපගේ කීම නො අසා ගස්වල අතු එසේම තබා තිබෙයි. මා නම් ඔවුනට
හිරිහැරයක් වන ලෙස ගස් සිටුවා නැත.” මා පන්සලට ගිය වාරයක් පාසා බෝධින් වහන්සේ
වැඩසිටින මළුව ඇමදීමි. පිරිසුදු කළෙමි. එම කුසල ශක්තියෙන් අසවල් ගසේ අතු කැපීමක්
සිදුවේවා” යනුවෙන් ප්‍රාර්ථනා කරන්න.” කෙසේ හෝ එය ඉටුවී තිබෙනු ඔබට දක්නට ලැබෙනු
ඇත. එබැවින්, අන් අයගෙන් විසඳුමක් නොලැබෙන ගැටලුවක් වුව ද දුරු කර ගැනීමට මෙවැනි වූ
යහපත් බලවේගවල ශක්තිය උපයෝගි කර ගත හැකි බව සිහි තබා ගන්න.
මෛත්‍රි භාවනාව පුහුණූ කිරීමේ දි, පළමු ව, තමාට තමා කෙරෙහි ඇති තරහව, කනස්සල්ල,
බලාපොරොත්තු රහිත බව, කළකිරීම, ආදි ද්වේශය මුසු වු සිතිවිලි ඉවත් කර ගත යුතු ය. අප
බලාපොරොත්තු වන නොයෙක් දැ ඉටු කර දීමට අපගේ කයේ හා මනසේ ශක්තිය ප්‍රමාණවත් නොවීම
ආදිය පිළිබඳ අපට අප ගැන ම කෝපයක් ඇති වේ. එසේ වූයේ ඇයි දැ’යි තේරුම් ගැනීමට උත්සාහ
කරන තැනැත්තාට, අනෙකුත් අයගේ කෝපවීම්වලට ද හේතුන් සිතා ගත හැකි ය. එය, අපගේ සිතෙහි
අන් අය කෙරෙහි ඇති තරහව තුනී වීමට උපකාරයක් වේ. එහෙයින් පළමුව, තමන් විසින් තමාගේ
කටයුතු කර දීමට උපකාර වන කය හා මනස හෝ කෙරෙහි මෙත් වැඩිය යුතු ය.
“මගේ කය සෑදී ඇති සැම කොටසක් ම ඒවාට හැකි උපරිමයෙන් ක්‍රියා කරමින්, මාගේ පැවැත්මට
දායක වේ. ඒවා, මගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට දියහැකි උපරිම සහයෝගය දක්වයි. මා ගන්නා
ආහාරපාන ලබා ගෙන, මාගේ කටයුතු කර දීමට අවශ්‍ය ශක්තිය සපයා දෙයි. එහෙත්, නොනවත්වා
කටයුතුවල යෙදීමෙන් කය ද, මනස ද, වෙහෙසට පත්වෙයි. පීඩාවට පත්වෙයි. තවත් කටයුතු කළ
නොහැකි තත්ත්වයට පත්වෙයි. එබැවින්, මෙතෙක් කළ උපකාර සම්බන්ධයෙන් මම මාගේ කයට හා
මනසට ස්තූතිවන්ත වෙමි. මාගේ කය සහ සිතෙහි ක්‍රියාකාරිත්වය නිසි පමණට නොවීම පිළිබඳ ව
මට තරහවක් ඇති නොවේවා, කනස්සල්ලක් ඇති නොවේවා. මා සුවපත් වෙම්වා. සැනසෙම්වා. මාගේ
කය හා මනසට මාගේ කෘතවේදිත්වය හිමි වේවා.”
මීළඟට, ඔබට උදවු උපකාර කරන, ඔබේ යහපත පිණිස කටයුතු කරන තැනැත්තන් කෙරෙහි නම් ඔබේ
සිතෙහි මෛත්‍රියක් ම නිරතුරු ව පවතිනු ඇත. ඔවුනට කරදරයක් වේවායැ’යි සිතීමට ඔබට
හේතුවක් නැත. ඔවුන් විසින් ඔබට උපකාරයක් කළ සැනෙකින් ම, ඔබ ඔවුනට ස්තූතිවන්ත වනු
ඇත. නමුත්, ඔබට හරිහැර කරන තැනැත්තන් සම්බන්ධයෙන් නම් එසේ නොවේ. ඔවුන් තමාට සිදු කළ
අයහපත් ක්‍රියාව මතකයේ තබාගෙන සිටියි. ඔබ නිරතුරුව ම ඔවුනට ද කරදරයක් වනු දැකීමට
කැමැති වේ. ඔවුන් දැකීමට, මුණගැසීමට, කතා කිරීමට අකැමැති වේ. දැකීම මතු නොව ඔවුන්ගේ
නමක් ඇසීම ද ඔබගේ සිතෙහි තරහවක් උපදවයි.වන්දනාමාන සිදුකර අවසානයේ ද අදාළ තැනැත්තා
සිහිපත් කර “මෙවැනි වූ පුද්ගලයකු සමඟ නම් කවරදාක්වත් ආශ්‍රයක් සිදුනොවේවා”යි
ප්‍රාර්ථනා කරයි. ඔබට මානසික නිදහසක් නැත්තේ ම ය.නමුත්, මෛත්‍රි භාවනාව ඉහළ මට්ටමකට
ප්‍රගුණ කර ඇති තැනැත්තාට, තමාට හිරිහැර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ද මෛතී‍්‍ර
සිතිවිලි උපදවා ගත හැකි ය.
“මොහුට විපතක් අයහපතක් ප්‍රාර්ථනා කිරීමට අවශ්‍ය නොවේ. මා මෙන් ම, මොහු ද, සියලු
පාපයන්, අකටයුතුකම් සිදුකරන්නේ තණ්හාව නිසා ය. අවිද්‍යාව නිසා ය. ජීවිතය සැපවත් කර
ගැනීමට ඇති ආශාව නිසා ය. තව තවත් වස්තු සම්පත් එකතු කර ගැනීමට ඇති ආශාව නිසා ය.
තිබෙන සියලු දෑ ආරක්ෂා කර ගැනීමට ඇති වුවමනාව නිසා ය. මාර්ගඵලයකට පත්වන තෙක් ම
සියල්ලන් ම මෙසේ ය. එහෙයින් ම ඔහු කෙරෙහි තරහවක් ඇති කර ගැනීම අවශ්‍ය නොවේ. ඔහු
කෙරෙහි මාගේ සිතෙහි තරහවක් ඇති නොවේවා. ඔහුට විපතක් ප්‍රාර්ථාන කිරීම මට සුදුසු
නොවේ. එහෙයින් එසේ නොවේවා. ඔහුට දඬුවම් ප්‍රාර්ථනා කිරීම මාගේ අවශ්‍යතාව නොවේ.
එහෙයින් එසේ නොවේවා”.
තමා විසින් තම සතුරකු කෙරෙහි මෛත්‍රී වැඩීමේ දී ඔහුට තව තවත් ශක්තිය ලැබී අපට වැඩි
වශයෙන් කරදර කිරීමට පෙළඹෙතැ’යි ඇතැමුන් තුළ අනිසි බියක් පවතී.” “ඔවුන් වැනි
කරදරකාරි පුද්ගලයන් නිරෝගි වුවහොත් තිබෙනවාට වඩා කරදර කරති. අපට ඔහොමවත් බේරී
සිටීමට හැකි වී ඇත්තේ ඔය තැනැත්තන් රෝගි වී පැත්තකට වී සිටින නිසා ය. තමාට හිරිහැර
කරන බව දැන දැනත් ඔවුන්ට නිරෝගිභාවය පැතීමට තරම් අපගේ සිහිමුළා වී නැත. ප්‍රාර්ථනා
කළ යුත්තේ නිරෝගිභාවය නොව තවත් රෝගි වී ඉක්මනින් ම මැරීයාමටයි”. යනුවෙන් මෛත්‍රිය
වැඩීමේ සංකල්පය නිසි ලෙස වටහා නොගත්තවුන් කියයි. මෙහිදී අප තේරුම් ගත යුත්තේ, අප
අපට කරදර කරන පුද්ගලයකු වෙත මෙත් සිත පැවැත්වීමේ දී, කොතරම් පවිටු ක්‍රියා සිදුකළ
ද, ඉන් අපට කරදරයක් නොවන බවයි.
එසේම, ඔබේ මෛත්‍රි සිතිවිලිවල යහපත් ශක්තිය ලැබීමට නම්, අදාළ තැනැත්තා ද යහපත් අයකු
විය යුතු ය. බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයෙහි සඳහන් කරන පරිදි, මෙත් වඩන
පුද්ගලයාට දෙවියන්ගේ හෝ ආරක්ෂාව, රැකවරණය ලැබෙනු ඇත. එහෙයින්, ඔබට කරදර කරන
පුද්ගලයා කොතරම් බලවත් වුව ද,කොතරම් ශක්තිමත් වුව ද,දෙවියන්ගේ මැදිහත්වීමෙන් මෙන්
ම, ඔබගේ ම මෙත්වැඩීමේ කුසල බලයෙන් ඔබ ව ආරක්ෂා කෙරෙනු ඇත.
එකම පුද්ගලයකුගෙන් අනෙක් අයට කරදර සිදුවුව ද, ඔහුට මෙත්වඩන ඔබ ව කුමන හෝ අදෘශ්‍යමාන
බලවේගයක මැදිහත්වීමකින් එම පුද්ගලයාගෙන් ආරක්ෂා කර තිබෙනු ඇත. එබැවින්, සතුරකුට වුව
ද මෛත්‍රිය වැඩීමෙන් තමාට යහපතක් මිස තවත් අයහපතක් නම් සිදුනොවන බව සඳහන් කළ යුතු
ය.
මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් නම්. අපගේ මෛත්‍රී සිතෙහි චිත්ත ශක්තිය,
බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ වැනි උතුමන් වහන්සේගේ මෛත්‍රි චිත්ත ශක්තිය සමඟ
කිසිසේත් සම කළ නොහැකි බව යි. උන්වහන්සේගේ මෛත්‍රි සිතිවිලි මහා බලවත් නමුත්,
සාමාන්‍ය පෘථග්ජන අපගේ මෛත්‍රි සිතිවිලිවල ශක්තිය ඉතා දුබල ය. ඉන් කියැවෙන්නේ අප
මෛත්‍රි වැඩීමෙන් පලක් නොවන බව නොව, අපගේ මෛත්‍රි සිතිවිලිවල ශක්තිය, අප
බලාපොරොත්තු වන කාලය තුළ හා බලාපොරොත්තු වන මට්ටමට ක්‍රියාත්මක කරවීමට නොහැකි බවයි.
එනම්, අප රෝගී පුද්ගලයකු අසලට ගොස් සත්‍යක්‍රියා කරමින් ඔහුට සෙත් ප්‍රාර්ථනා කළ ද,
අප බලාපොරොත්තු වන ඉක්මනින් ඔහු සුවපත් නොවේ. එසේ ම, අප බලාපොරොත්තු වන නිරෝගි
මට්ටමට ද ළඟානොවිය හැක. එයට හේතුව වන්නේ මෛත්‍රි සිතිවිලිවල ශක්තිය ප්‍රබල කර
ගැනීමට තරම් අපගේ සීල, සමාධි, ප්‍රඥා උසස් මට්ටමකට පත්වී නොතිබීමයි. බොහෝ දෙනකු
වැරැදි ලෙස වටහා ගෙන ඇති පරිදි, එය මෛත්‍රි භාවනාවේ වරදක් නොවේ. ඔවුහු, තම හිතවතකුට
උපද්‍රවයක් වූ කල්හි අසල ඇති පන්සලටද දිවගොස්, බෝධිපූජා පවත්වා පිරිත් සජ්ඣායනය කර,
මෙත් වැඩූකල ද සුවයක් නොවු කල්හි, තමන් හැර අන් සියල්ලට ම දෝෂාරෝපණය කරති. බෝධියේ
ද, පිරිතේද, පන්සලේ ද ගුණයක් නැතැයි කියති. මින්පසු එවැනි කටයුතු සිදු නොකළ
යුතුයැ’යි කියති.
තමාට අනුගමනය කිරීමට පහසු සීලයක් තෝරා ගෙන එය නිතිපතා, මහත් ගෞරවයකින් සහ
සිහිනුවණින් යුක්ත ව ආරක්ෂා කරමින්, එය අඛණ්ඩ ශීලයක් බවට පත් කර ගන්නැ’’යි උපදෙස්
දී ඇත්තේ එබැවිනි. සමාධිය සහ ප්‍රඥාව දියුණු කිරීම සම්බන්ධයෙන් ද මෙසේ ම ය. එවැනි
වු උසස් මට්ටමකින් ශීලය ආරක්ෂා කරන තැනැත්තාගේ සිතෙහි ඇතිවන මෛත්‍රී සිතිවිලිවල
ප්‍රබලතාවය ඉහළ ය. එවැනි වූ පුද්ගලයකු සිදුකරන යහපත් ප්‍රාර්ථනාවන් ද බොහෝ සෙයින්
සඵල වේ. කෙසේ නමුත්, සාමාන්‍ය මට්ටමින් ශීලාදි ගුණධර්මයන් ප්‍රගුණ කර ඇති ඔබ අප
වැනි අය පවා, ක්ෂණයක දී වුවත් ඇති කර ගන්නා මෛත්‍රි සහගත සිතිවිලිවලින් කුසලයක් ම
රැස්වෙනු මිස, අවැඩක් සිදු නොවේ. විය හැකි එකම දෙය නම්, අප බලාපොරොත්තු වන කාලය
ඇතුළත දී, බලාපොරොත්තු වන මට්ටමට කුසල කර්ම ශක්තිය ක්‍රියාත්මක නොවිම යි. කුමන හෝ
වත්පිළිවෙතක යහපත් බලපෑම මඟින් සත්‍ය වශයෙන් ම අප සෙත් පතන තැනැත්තාට සුළුවෙන් හෝ
යහපත්ම සිදුවේ. ඔහු මුහුණපාමින් සිටින අපහසුතාව යම් පමණකට හෝ අඩු වේ, මරණයට පත්වීමට
නියමිත සිටි අයකුගේ අතක් කකුළක් කැඩීමෙන් නැවතීම සතුටු විය යුතු නොවේද? එබැවින්
සිතන ප්‍රමාණයෙන් ප්‍රතිඵල නොලැබෙන්නේ යැ’යි සිතමින් නොසිට මහත් සැදැහැයෙන් යුක්ත ව
ම පිළිවෙත්හි නිරත විය යුතු ය. මෛත්‍රි භාවනාව සම්බන්ධයෙන් ද එසේ ම ය.
එහෙයින්, ධර්මයෙහි ඉගැන්වෙන අනෙකුත් වත්පිළිවෙත් මෙන් ම මෛත්‍රි භාවනාව ද මහත්
ගෞරවයෙන් යුක්ත ව ප්‍රගුණ කළ යුතු ය. ධර්මාවබෝධය ලබා ගැනීමේ දී, ඉක්මන් වීම, අන්
අයගේ ප්‍රගතිය සමඟ සැසඳීම, අන් අය කරන දෙය ම විමසීමකින් තොරව කිරීම යානදි ක්‍රම
නොගැලපේ. මෛත්‍රි භාවනාව වැඩීමට පෙර, කොපමණ කාලයක් වුව ද, වැය කර, සූත්‍ර පිටකය,
සූත්‍ර අට්ඨකතා, දහම් පොත්පත් ආදිය කියවා, ධර්ම දේශනා ශ්‍රවණය කර, මෛත්‍රි සංකල්පය
පිළිබඳව අදහසක් ලබා ගැනීමෙන් භාවනාව පුහුණුූ කිරීම ද පහසු වේ. මෛත්‍රි සංකල්පය හා
බැදුණු දුරවබෝධ තැන් අවම වේ. භාවනා ක්‍රමය එපාවීම හෝ අතරමග නතර කර දැමීමට හෝ
පෙළඹීමක් සිදු නොවේ. ඉක්මනින් ම ප්‍රතිඵල ලබා ගැනීමට ගොස් එපාවී අතහැර දමා සිටිනවාට
වඩා, තෝරාගත් යම් ක්‍රමවේදයකට අනුව පුහුණු වෙමින් කොතරම් කාලයක් වුව ද වැය කර
නිවැරැදි ප්‍රතිඵල ලබා ගැනීම සිදු කළ යුතු ය. ඔබගේ ඉලක්කය යොමුවිය යුත්තේ කාලය
කෙරෙහි නොව නිවැරැදි ප්‍රතීඵල ලබා ගැනීම කෙරෙහි ය. එබැවින්, සිතෙහි තරහව තබා
ගැනීමෙන් වැළකීමේ සුවය විඳීම පිණිස ක්‍රමානුකූල ව මෛත්‍රි භාවනාව පුහුණු කර බලන්න.
ධර්මයෙහි අකාලික ගුණය ප්‍රකට කරමින් ඔබට එම මොහොතෙහි ම සිතට මහත් වූ සැනසීමක්,
නිදහසක් දැනෙනු ඇත.
ටී.සේනානායක |