[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙර බිම විසිපස් වසරක අභිමන

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙර බිම විසිපස් වසරක අභිමන

මෙරට වෙහෙර විහාර පූජා කිරීමේ සංස්කෘතියෙහි මෑත ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් ලෙස පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහ වෙහෙර තුණුරුවන් අබියස පූජා කිරීම හැඳින්විය හැකි ය.

චීනගහ කොටුන්න පාරේ පර්චස් දාහතරක කුඩා බිම් කොටසක් ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල මහා නා හිමියන් වෙත (එවක සුමංගල පොඩි හාමුදුරුවන් වහන්සේ වෙත) පූජා කරනු ලබන්නේ වර්ෂ 1999 ඇසළ සඳ උදාවත් සමඟ ය. එම බිම් කොටසේ ඉදිවූ “සමාධි අසපුව“ නම් අරමෙහි එදා උන්වහන්සේ වස් සමාදන් ව වැඩ සිටියහ.

මේ අතර දිනක් ආදාහන පූජෝත්සවයකට වැඩි උන්වහන්සේගේ කන වැකුණේ එම හිමි නම, තමන් වහන්සේට වැඩවාසය කිරීමට විහාරස්ථානයක් නොමැතිකම නිසා ඇති වූ සිත් කළකිරීම නිසා අපවත් වූ බවයි. එම ආදාහන පූජෝත්සවයට වැඩම කළ සෙසු මහා සංඝරත්නය එම අදහස දරන බව සුමංගල හිමියන්ට අවබෝධ විය. එක් වරම උන්වහන්සේ ගේ සිතට නැඟී ඇත්තේ තමන් වහන්සේටත් ආරාමයක් නොමැති නිසා තමන් වහන්සේත් යම් හෙයකින් අපවත් වුවහොත් තමන් වහන්සේ පිළිබඳවත් මේ අදහස ම සෙසු මහා සංඝයා දරන බවයි.

බුද්ධ ශාසනයෙහි උතුම් පැවිදි බව ලබා සිත ගොඩනඟාගත් තමන් වහන්සේ පිළිබඳවත්, එවැනි අදහසක් පැවසුවහොත් එය බුද්ධ ශාසනයට ද නිගාවක් වනු ඇතැයි යන සිතුවිල්ලෙන් යුක්ත ව කාලය ගෙවෙන්නට විය.

සමාධි අසපුව ඉදිරිපිට වූ වගුරු භූමියෙහි වැටී තිබුණු පැරැණි නියරක් මතින් එම වගුරු බිමට වැඩි කොලොන්නාවේ සිරි සුමංගල ස්වාමීන් වහන්සේ එම වගුරු භූමිය මැද තිබූ පස් ගොඩැල්ලක් මත සමාධිගත මනසින් වැඩ හිඳින්නට විය. ඒ මොහොතේ උන්වහන්සේගේ සිතෙහි පහළ වූයේ “දින 365 ක් තුළ මේ වගුරු භූමියෙහි විහාරස්ථානයක් ඉදිකර තෙරුවන් අබියස පූජා කරමි යන පුණ්‍යවන්ත සිතුවිල්ලයි.

තමන් වහන්සේ වැඩූ බුදුගුණ භාවනා බලයෙන්, කළ බුද්ධ උපස්ථානයේ අනුහසින් මෙම අරමුණ දිනා ගන්නට හැකි වේවා’යි අදිටන් කරමින් එම පස්පිඬැල්ල මත එදා උන්වහන්සේ අධිෂ්ඨානයෙන් යුක්ත ව වැඩ සිටි බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. ඒ රාත්‍රියෙහි මහා වැසි ඇද හැලෙමින් භාවනායෝගී ව වැඩ සිටින උන්වහන්සේගේ ඉණ තෙක් ජලය පිරුණ ද එතැනින් නොනැඟිට විහාරස්ථානය ඉදි කරමි යන අධිෂ්ඨානයෙන් යුක්ත ව රාත්‍රිය ම පස් පිඩැල්ල මත ඒකායන සිතකින් යුක්ත ව ගත කළහ.

ගත වූයේ දින කිහිපයකි. අන් සතු වූ එම වගුරු භූමිය සැදැහැති පිරිස් විසින් මිලදී ගෙන උන්වහන්සේ වෙත පූජා කෙරිණි. ඒ මහා මඩ ගොහොරෙහි දෙව්රම නැමති සුගන්ධවත් සියපත පුබුදුවමින් වර්ෂ 1999 සැප්තැම්බර් 24 වැනි දා දෙව්රම් මහ වෙහෙර අරඹමින් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කෙරිණි.

එතැන් පටන් වසරක් ඇතුළත සියලු විහාරාංගයන්ගෙන් යුක්ත ව අසිරිමත් දෙව්රම් වෙහෙර තෙරුවන් අබියස පූජා කෙරිණි.

එසේ ආරම්භ වු දෙව්රම් මහා විහාරය විසි පස් වසරක් තුළ මහා ආගමික, ජාතික, සමාජ හා සංස්කෘතික ම ය මෙහෙවරක නිරත වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ උසම චෛත්‍ය රාජයාණන් වහන්සේ සහිත සියලු විහාරාංගයන්ගෙන් සමන්විත ශ්‍රී දෙව්රම් මහා විහාරය ඉදිකිරීම, සූත්‍ර පිටකය කළුගල් පුවරු මත ලියා අවසන් කිරීම, විනය හා අභිධර්ම පිටක කළුගල් පුවරු මත ලියමින් පැවතීම, ත්‍රිපිටක පොත් වහන්සේ සරල බසින් මුද්‍රණය කිරීම,

ථූපාරාම දෙවැනි මළුවෙහි කළුගල් ඇතිරීම, නාගදීපයේ ත්‍රිපිටක මහා සෑය ඉදි කිරීම සහ ගිරිහඬු සෑ බිමෙහි බෝධින් වහන්සේ රෝපණය කිරීම, අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පිරිවෙන් ගුරු පුහුණුූ වැඩමුළු හා ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම, අධ්‍යාපන අමාත්‍යාංශයේ වා්‍යාපෘතියක් වන “සති පාසල” සතිමත් භාවය පිළිබඳ පාසල් ප්‍රජාව පුහුණු කිරීමේ නේවාසික වැඩමුළු සංවිධානය කිරීම, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා එක්ව සාමණේර භික්ෂු පුහුණු වැඩමුළු සංවිධානය කිරීම,

භික්ෂු අධ්‍යාපනය නැංවීමට දිරිදීම, වාර්ෂික මැදින් මහා පෙරහර සංවිධානය කිරීම,

දස වසරක් පුරා සෑම පොහෝ දිනකම සර්ව රාත්‍රික පිරිත් දේශනාව පවත්වා ලංකාවාසීන්ට සෙත් පැතීම,

රජයේ රෝහල්වල නේවාසික රෝගීන් වෙනුවෙන් මාසික ව සෙත් පැතීමේ වැඩසටහන පැවැත්වීම සහ රෝගීන් උදෙසා මාසික ව මූල්‍ය පරිත්‍යාග කිරීම, ශ්‍රී දෙව්රම් වෙහෙර මහා පිරිවෙන පවත්වා ගෙන යාම තුළින් භික්ෂු සාරුප්පයෙන් හෙබි ප්‍රාචීන පණ්ඩිත උපාධිධාරි සඟ පරපුරක් බිහි කිරීමට කැපවීම,

සිරි සුමංගල මහා නා හිමි ධර්ම විද්‍යාලය (දහම් පාසල) පවත්වා ගෙන යාම උන්වහන්සේගේ ආගමික සමාජික සේවාවන්ගෙන් අතළොස්සක් පමණි.

බිනර අව අටවක

සැප්තැම්බර් 24 අඟහරුවාදා අ.භා. 12.45 අව අටවක ලබා 25 බදාදා අ.භා. 12.17 ගෙවේ.
24 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]