[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දිවි මඟ සරසන දයා කරුණා ගුණය

දිවි මඟ සරසන දයා කරුණා ගුණය

මල් සුවඳින්, සිල් සුවඳින්, පරිසරය ම සුගන්ධවත් ය. ඒ වෙසක් පුන් පෝ දිනයයි. ලුම්බිනියේ සාලවනයේ බෝසත් කුමරු බිහි වූයේ මෙවන් පින්බර දිනයක ය. එවන් උතුම් දිනයක බුද්ධගයාවේ ඇසතු බෝධි මූලයේ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. සදහම් අමාවෙන් ලෝ සත නිවා සැනසූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ උපවත්තන සල් උයනේ පිරිනිවන් ලද සේක.

"අග්ගෝ හමස්මි ලෝකස්ස” සිංහ නාදයත්, ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත්වී ශ්‍රී මුඛයෙන් දෙසූ ‘අනේක ජාති සංසාරං’ බුදු වදනත්, පන්සාළිස් වසක් මෙලොව, පරලොව දිනන මඟ කියාදී ’ වයධම්මා සංඛාරා අවසන් සම්බුදු වදනත් මේ තුන්ලොවට ප්‍රකාශිත විය. සාධු, සාධු, සාධු

සිදුහත් කුමාරයා සුවිශේෂි හැකියාවන්ගෙන් යුක්ත දරුවෙකි. දරුවකු නිසි වයසේ අධ්‍යාපනය ලැබිය යුතුය. මවුපියෝ ඒ පිළිබඳ වගකීම භාරගෙන කැපවීමෙන් කටයුතු කළහ. සිදුහත් කුමාරයාට සිය පියා අධ්‍යාපනය ලබා දෙන්නේ ගුරුවරයා මාළිගාවට ගෙන්වා ගැනීමෙනි. එසේ කරනු ලබන්නේ බමුණන්ගේ අනාගත වාක්‍ය සැලකිල්ලට ගැනීමෙනි. කුමරු ගිහිගෙය හැර යාම වැළැක්වීමට පිය රජුට අවශ්‍ය විය. එබැවින් කුමාරයා ශිල්ප උගත්තේ තමාගේ මාළිගයේ දී ම ය. දුනු ශිල්ප, කඩු ශිල්ප ද, ඇත්, අස්, රිය හැසිරවීම ආදිය පිළිබඳ ව ද මේ කාලය තුළ දී රජකුමරු ඉතා ඉක්මණින් ප්‍රවීණත්වයක් ලබා ගත්තේ ය.

බොදු දරුවන් ලෙස අප මේ කරුණු පිළිබඳ සැලකිල්ලට ගත යුතු ම ය. අප කළ යුත්තේ අපට ලැබී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන අත් පත් කර ගැනීමට යොමුවීමයි. ඉගෙනුම ලබන කාලයේ ඒ සඳහා උපරිමයෙන් ම කැපවිය යුතුය යන්න එයින් අදහස් කෙරේ. පාසල් දිවියේ ද ලබා ගත යුතු උදාරම දැනුම, කුසලතා, ආකල්ප හා ජීව යහපුරුදු වඩා වර්ධනය කර ගැනීමට කටයුතු කිරීම අපගේ වගකීමකි. මේ වගකීම සිදුහත් කුමාර චරිතයෙන් ශිෂ්‍යයාට වටහාගත හැකි ආදර්ශයකි.

සිදුහත් බෝසතාණෝ සිය “අධිෂ්ඨානය” ජය ගැනීමට නිතර ම කැපවීමෙන් කටයුතු කළහ. ලොවට අග්‍රවීමට, ජ්‍යෙෂ්ඨවීමට, ශ්‍රේෂ්ඨවීමට ජීවිතයේ විවිධ අවස්ථාවල කාලවකවානුවල අත්පත් කර ගත යුත දක්ෂතා කුසලතා නිපුණතා අත් පත් කර ගත යුතු ය. ඒ සඳහා කායික, මානසික ඒකාග්‍රතාවක් අවශ්‍යය. එහෙයින් බෝසතාණන් වහන්සේ ළදරු අවධියේ පටන් නිරන්තරයෙන් මනස ඒකාග්‍රතාවට පත් කර ගැනීමට කැපවීමෙන් ක්‍රියා කර ඇත. පියා ඇතුළු පිරිස වප් මඟුල් මංගල්‍යයට සහභාගි වනු දුටු බෝසත් ළදරුවා භාවනා පිළිවෙත් පුරන්නට වූ බව සඳහන් වේ.

තබාගත් අධිෂ්ඨානයට අනුව ජයග්‍රහණය ලබා ගන්නට අවශ්‍යය. කැපකිරීම් කිරීමට සිත, කය දෙකෙහි නීරෝගීතාව, සුවතාව අවශ්‍ය වේ. සිත සංවර වූ විට ප්‍රඥාවෙන් හා බුද්ධියෙන් ගන්නා තීරණ නිවැරැදි වේ. කරන කටයුතු සාර්ථක ව නිම කළ හැකි ය. බාධා හමුවේ නොසැලී ඉදිරියට යෑමට මඟ පෙනේ. එහෙයින් අධිෂ්ඨාන කළ අරමුණට ළඟා විය හැකි ය.

වර්තමානයේ විවිධ මාර්ග ඔස්සේ සංකීර්ණත්වයට හා වෙහෙසට පත්වන්නා වූ ඔබේ සිත නිවා ගැනීමට සරල හෝ භාවනාවකට සිත පුහුණු කර ගන්නට අධිෂ්ඨාන කර ගත හැකි ය. එමඟින් ඔබේ කායික හා මානසික සුවය ලැබී, ඔබේ අරමුණු සාර්ථක කර ගත හැකි ය.

එමෙන් ම ශිෂ්‍ය ජීවිතයේීි නොපනත්කම් නොකරන්නට වගබලා ගත යුතු ය. දෙව්දත් කුමරුගෙන් පීඩාවට පත් හංසයා සිදුහත් කුමරු විසින් සුවපත් කරනු ලබන්නේ දයාව ප්‍රකට කරමිනි. කුඩා වුවත් සිදුහත් කුමරු මෙහිදී විනිශ්චයක් ලබා ගැනීම සඳහා යොමු වන්නේ, යුක්තිය වෙනුවෙන් තමාගේ කාර්යභාරය ඉටු කිරීම සඳහා ය. මෙයින් විදහා දැක්වෙන්නේ බෝසත් ළමා සිතක පහළවන කාරුණික ස්වභාවය යි.

අද සමාජයේ දරුවන් ද බෝසත් ගුණයන්ගෙන් යුක්ත කාරුණික දරුවන් වන්නේ නම් කොතරම් අගනේ ද?

සිදුහත් කුමාරයාට විවාහ යෝජනා ඉදිරිපත් වු අවස්ථාවේ ඔහු ශිල්ප නොදන්නකු සේ හඳුන්වා දෙන්නට ඥාතීන් ගත් වැරැදි උත්සාහය ව්‍යර්ථ කරන්නට ඉදිරිපත් වීම අභියෝගවල දී නොබියව ඉදිරිපත් වීමේ හැකියාව පෙන්නුම් කරන්නකි. හැකියාව තිබියදීත් අභියෝග භාර නොගැනීම පිළිබඳ කතා ඇතිවූ කල අවස්ථාවට හා ස්ථානයට උචිත පරිදි තම ශිල්ප දැක්වීම සිදුවන්නේ නම් ඊට පසුබට විය යුතු නොව්. එය සිදුහත් කුමාරයාගේ විශිෂ්ට ලක්ෂණයකි. එහි ප්‍රතිඵලය ශිල්ප දැක්වීමයි.

අපේ දරුවන් බොහෝ අවස්ථාවල අභියෝග භාර ගැනීම හා ඒවාට මුහුණ දීම මඟහරින අවස්ථා ඇත. යහපත් බෝසත් දරුවකු හැටියට ඇතිවන ගැටලුවක දී අභීත ව යුක්තිගරුක ව නැඟී සිටීමට ඉදිරිපත් වීමට ඇති හැකියාව ප්‍රදර්ශනය කළ යුතු ය. එසේ වූ විට බෝසත් චරිතයෙන් ප්‍රකට කෙරුණු අභියෝග භාර ගැනීම හා ඒවාට සාර්ථක ව මුහුණ දෙන ආකාරය අප ජීවිතයට ගළපා ගත්තා වේ.

බෝසත් චරිතයෙන් අප ජීවිතයට ගත හැකි ආදර්ශ අපමණ ය. එම අපමණ ආදර්ශ මඟින් කිහිපයක් හෝ අප සිසු ජීවිතයට ලබා ගන්නේ නම්, ඉතා වටිනා අඩිතාලමක් වේ.

බිනර අව අටවක

සැප්තැම්බර් 24 අඟහරුවාදා අ.භා. 12.45 අව අටවක ලබා 25 බදාදා අ.භා. 12.17 ගෙවේ.
24 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]