[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මෙත් සිත සදයි සත සෙත

මෙත් සිත සදයි සත සෙත

ඔබ රාත්‍රී නින්දට යෑමට පෙර ‘කරණීය මෙත්ත සූත්‍රයේ අදහස සිතට ගෙන සජ්ඣායනා කිරීමේ පුරුද්ද හෝ ඇති කර ගෙන තිබෙනවා ද? එසේ නැතිනම් ඒ පුරුදු ඇති කර ගන්න. ඒ පුරුද්ද තුළ ටිකෙන් ටික සිතෙහි මෛත්‍රී සිතිවිලි වැඩෙන්නට පටන් ගනු ඇත. ඉන් පසු සෑම දිනකම අවංක සිතින් සුළු වේලාවක් හෝ මෛත්‍රී භාවනාව වඩන්නට යොමු වෙනවා නම්, ඒ තුළ ඔබ ලබන සැනසීම ජීවිතයේ මෙලොව පරලොව දියුණුවට බොහෝ සෙයින් ම හේතුවනු ඇත.

මෙත් සිත පුදුමාකාර ය. එය සිතෙහි වැඩෙන්නට, වැඩෙන්නට සිත නිවෙන්නේ ය. ඒ වගේ ම සන්සුන් වන්නේ ය. සුවපත් වන්නේ ය. මෙත් සිත ඇති තැන වෛරයට, ක්‍රෝධයට, නොරුස්නා බවට, අමනාපයට ඉඩක් නැත. ඒ වගේ ම අසීමිත ලෝභය, අසීමිත රාගය, අසීමිත ආශාව ආදී කරදරකාරී සිතිවිලිවල පාලනයක් ඇතිවීම ආරම්භ වේ. ඒ ඔස්සේ සිත පිරිසුදු වේ. සිතක ඇතිවන මේ පිරිසුදු බව නිසා ලැබෙන අනුසස් එකොළහක් පිළිබඳ මෙත්තානිසංස සූත්‍රයෙහි පෙන්වා දී ඇත.

පළමු ලාභය සුව නින්දක් ලැබීමයි. සිතෙහි තරහකින්, වෛරයකින්, බලවත් ආශාවකින් හෝ බලාපොරොත්තු කඩවීමකින් වේදනාවක් දැනෙන මොහොතක සුව නින්දකට අවස්ථාව නො ලැබේ. නින්දට බාධා ඇති වේ. මහ රැයෙහි ද නිදි නොමැති ව විවිධ සිතිවිලි සිත පීඩාවට පත් කරයි. විවිධ කල්පනාවන් ඇති වේ. “ මේ ප්‍රශ්න මට හරි ම වදයක් මතක් වන විට නින්ද යන්නේ නැහැ“. ඇතැම් අය එසේ පවසන අවස්ථා බොහෝ ය. එහෙත් මෙත් සිතිවිලි පුරුදු කරන අයකුට සිතට නිතර ම පැමිණෙන්නේ ද මෙත් සිතිවිලි ම ය. සෑම දෙනා කෙරෙහි මෙන් ම, පැමිණෙන සියලු ගැටලු දෙස ද කරුණාවෙන් මෙන් ම සන්සුන් මනසකින් බැලීමට එවන් අයකුට හැකි වන්නේ ය.

මෛත්‍රිය පුරුදු නැති සිත, විමසා බැලීමකින් තොරව ඉක්මන් තීරණ ගනී. ඒ වගේ ම ඉක්මනින් කේන්තියට පත්වෙයි. ඒ තත්ත්වය කෙළවර වන්නේ ඇතැම් විට තමන්ගේ ජීවිතය මෙන් ම, අන් අයගේ ජීවිත ද විනාශ වීමෙන් විය හැකියි.

කුමන හෝ හේතුවක් නිසා තම සිත පීඩාවට ලක්වන විට එය හිසට බරක් යැයි නොසිතන කෙනෙක් නැති තරම් ය. ඒ අත්දැකීම ඔබට ද ආගන්තුක නොවිය හැකියි. එසේ වූවා යැයි ඒ බර බිමින් තබන්නට උත්සාහ ගන්නා අය නම් දුලබයි. බොහෝ විට අප සිතට ගන්නේ අනවශ්‍ය බරක් විය හැකියි. වියදමක් නොදරා ම ඒ බර බිමින් තැබිය හැකි වූව ද, ඊට උනන්දුවක් නො ගෙන ම බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ මැසිවිලි නගන්නටයි. ඒ තුළ ද නිර්මාණය වන්නේ බරක් ම මිස සැහැල්ලුවක් නොවන බව අවබෝධ කර ගත යුතුම යි.

මේ ආකාරයෙන් දුක් පීඩා විඳින අය අතර තවත් අපූරු පිරිසක් සිටී. ඒ පිරිස පවසන්නේ මෙවන් වදන් ය. ‘වෙනදාට නම් ඕනෑ ම දේකට මම ඉක්මනින් ම කලබල වෙනවා දැන් නම් එහෙම නැහැ“. මට දැන් ඉවසන්න පුළුවන් යන්නයි. මෙවැනි තැනකට සිත හදාගන්නට හැකි නම් මොනතරම් වටිනවා ද? ඒ සැහැල්ලු බව ජිවිතයට මොනතරම් සැහැල්ලුවක් ගෙන දෙනවා ද? මෙත් සිතිවිලි වැඩීමේ දෙවැනි ආනිශංසය නම් “සුව සේ නින්දෙන් පිබිදීමට හැකි වීම ය. සමහර අයෙක් උදෑසන නින්දෙන් පිබිදෙන්නේ ම දවසට ම දොස් තබමිනි. අමනාප සිතිවිලි ඇති කරගෙන දවස ආරම්භ කිරීමෙන් කාලය කා දමන අය මොනතරම් ද? එසේ ගෙවී යන කාලය ඇතුන්ලවාවත් ඇද්දවීමට නම් නො හැකි ය. අපට දවස අසුබ වන්නේ දවසේ වැරැද්ද නිසා නම් නොවේ. තමන්ගේ සිතේ ඇති කර ගත් වැරැද්ද නිසා ය. ඔබගේ ම යම් යම් ක්‍රියාවන් නිසා සුබ දවසක් බවට පත්කර ගැනීමට හැකි දවස අසුබ දවසක් බවට පත්කර ගන්නේ ඔබ විසින් ම ය. මෙලෙස සිදුවන්නේ සිත මෛත්‍රියෙන් බැහැර වූ විට ය. මෙත් සිත් ඇති තැන නපුරු හා පාපී සිහින නො පෙනීම තවත් ආනිශංසයකි. සිහින දකින්නේ අපගේ යටි සිත නින්දේ දී ක්‍රියාත්මක වීමෙනි. මෛත්‍රිය මැනවින් නො වැඩුණු සිත්වල ඇති වන දැඩි රාග, ද්වේෂ, මෝහ ආදී සිතිවිලි සිතේ තැන්පත් ව පවතියි. බොහෝ කෙනකුට මේවා නින්දේ දී ද මතු වන්නට පටන් ගනී.

නපුරු හා භයානක සිහින දැක බියට පත් වී නින්දෙන් පිබිදුණු විට ‘ඉතිපිසෝ ගාථාව‘ හෝ ‘කරණීය මෙත්ත සූත්‍රය‘ සජ්ඣායනා කොට නැවතත් නින්දට යන්නට යැයි පවසන්නේ මේ නිසයි. මෙත් සිතිවිලි ඇති කර ගැනීම මෙහි මූලික බලාපොරොත්තුවයි.

නින්දේ දී බිය වන, නපුරු සිහින දකින අයට ලබා දිය හැකි වටිනා ඖෂධය වන්නේ ‘කරණීය මෙත්ත සූත්‍රය‘ මැනවින් සජ්ඣායනය කර නින්දට යෑමයි. මෛත්‍රිය වැඩීම හේතුවෙන් ලැබෙන තවත් උතුම් ම ලාභයක් වන්නේ මිනිසුන්ට ප්‍රිය වීමයි. “මනුස්සානං පියෝහෝති“ යම් කෙනකුගේ සිත මෛත්‍රියට පුරුදුවීමෙන් සිතන හා දකින ආකාරය ද, කතා කරන වචනය ද, කරන ක්‍රියාව ද පවුලට මෙන් ම සමාජයේ අන් අයට කරදර හා පීඩා නොවන්නක් බවට පත්වෙනවා.

‘අන් අයට මොනවා වුණත් මට කමක් නැහැ‘. මගේ බඩ කට පිරෙනවා‘ ලෙස අයහපත් සිතිවිල්ලෙන් බැහැර ව, තමා වටා මෙන් ම සමාජයේ අන් අය ගැනත්, සිතන සත්පුරුෂ මනුෂ්‍යයෙක් බවට පත්වෙනවා.

කෙසේ හෝ අන්සතු යමක් කඩාවඩා ගැනීමට උත්සාහ නො කරන මනුෂ්‍යයෙක් බවට පත්වෙනවා.

සත්පුරුෂයා, ඇසුරු කරන අයගෙන් යමක් බලාපොරොත්තු නොවී, කුමක් හෝ උපකාරයක් ඔවුන් වෙනුවෙන් කිරීමට උත්සාහ ගන්නවා. මේ උතුම් මානුෂික ගුණාංග මනුෂ්‍ය ජීවිතය තුළ විද්‍යමාන වන්නේ මෛත්‍රිය සමඟයි. මෛත්‍රි සහගත ඒ පුද්ගලයා සමාජ ප්‍රියශීලි අයකු බවට පත්වෙනවා. ඒ වගේ ම ගුණ යහපත් කෙනෙක් ය යන අපූර්ව සහතිකය ද ලැබෙනවා. එවන් පුද්ගලයා මනුෂ්‍යයන්ට පමණක් නොවෙයි අමනුෂ්‍යයන්ට ද ප්‍රිය වනවා.

බිනර අව අටවක

සැප්තැම්බර් 24 අඟහරුවාදා අ.භා. 12.45 අව අටවක ලබා 25 බදාදා අ.භා. 12.17 ගෙවේ.
24 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]