[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අනුසස් ලැබෙන පිරිත් සජ්ඣායනය

අනුසස් ලැබෙන පිරිත් සජ්ඣායනය

මිළිඳු රජු යනු ගී‍්‍රක රජෙකි. නාගසේන තෙරුන් වහන්සේ යනු එවකට වැඩසිටි කථිකත්වයට දක්ෂ තර්ක විතර්ක බිඳිය හැකි මහරහතන් වහන්සේ නමකි.

"මිළිඳු රාජ ප්‍රශ්නය" නමැති ග්‍රන්ථය පුරාවට මිළිඳු රජු විසින් අසන ප්‍රශ්නවලට නාගසේන මහරහතන් වහන්සේ දුන් පිළිතුරු ඇතුළත් ය. මිළිඳු රජතුමා ප්‍රශ්න නඟන්නට දක්ෂ ය. ඒ ප්‍රශ්න උදාහරණ සහිතව විසඳීමට අපගේ නාගසේන මහරහතන් වහන්සේ අති දක්ෂ ය. මිළිඳු රාජ ප්‍රශ්නය නමැති උතුම් ග්‍රන්ථයේ නාගසේන මහරහතන් වහන්සේ පිරිත ගැන ඇසූ ප්‍රශ්නයත්, ඊට තෙරුන් වහන්සේ ලබා දුන් පිළිතුරත් මෙසේ සඳහන් වෙනවා.

"ස්වාමීනි නාගසේන මහරහතන් වහන්ස භාග්‍යවතුන් වහන්සේ වදාළා නේද අහසේ හෝ මහමුහුදේ හෝ පර්වතයක් මැද වුවද මෙබඳු තැනක් නැත. ඒ කෙබඳු තැනක් ද? මරණින් ගැලවීම පිණිස තැනක්."

"එසේය මහරජතුමනි, මරණින් ගැලවීම පිණිස තැනක් මේ කොයි ස්ථානයකවත් නැහැ."

නමුත් ස්වාමීනි, එසේ වදාළ බුදුරජාණන් වහන්සේ ම නැවතත් ආරක්ෂක පිරිත් ලෙස රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, අංගුලිමාල පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය ආදි පිරිත් ධර්මයන් නියම කරන ලද්දේ නේද?

"එසේය, මහරජ, ඒ පිරිත් නියම කරන ලද්දේ ද? අපගේ බුදුරජාණන් වහන්සේ විසින්ම යි. එයින් ජීවිතයට ආරක්ෂාව සැලසෙනවා."

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, කොයි තැනක සිටියත් මරණින් ගැලවීමක් නැත්නම් මොකටද ආරක්ෂක පිරිත්, ඒක ස්වාමීනි අපට පිළිගන්නට බැහැ.

එවිට මහරහතන් වහන්සේ මෙසේ වදාළා.

"රජතුමනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ නියම කරන ලද්දේ ආයුෂ අවසන් වූ කෙනකුට මොන පිරිත කිව්වත් එයින් ප්‍රයෝජනයක් කොයින් ද? නමුත් ආයුෂ ඉතිරි වූ අකුසල කර්මයකින් නො වැසී ඇති තැනැත්තාගේ ආරක්ෂාව උදෙසා බුදුරජාණන් වහන්සේ ආරක්ෂක පිරිත් පැනවූයේ."

"ඉතින් ස්වාමීනි, ඔහුගේ ආයුෂ අවසන්ව නැත්නම්, මොකටද ඔහුට තවත් ආරක්ෂක පිරිතක්."

"මහරජතුමනි, යම් කෙනෙක් ගේ ජීවිතයක් බෙහෙත්වලින් ආරක්ෂාවන හැටි ඔබතුමා දැකලා නැද්ද? මරණාසන්න පුද්ගලයෙක්ට දක්ෂ වෛද්‍යවරු වෙදකම් කොට ඔහු සුවය ලබනවා ඔබතුමා දැකලා ම නැද්ද?"

ස්වාමීනි, බේත් හේත්වලින් වළක්වා ගත හැකි මරණ අපි කෙ තරම් නම් දැක තිබෙනවා.

මහරජ ඒ වගේමයි පිරිත කියන්නේ බෙහෙතක්. හරියට අසනීපයක් වැළඳීගෙන එනකොට බෙහෙත් බීලා ඒ අසනීපය සුවපත් කරන්න පුළුවන්. පිරිත කියන්නේ නොයෙක් නොයෙක් උපද්‍රවලට එක්කරා විදිහක ඖෂධයක්. පිරිත ඒ ලෙස තේරුම් ගන්න.

නාගසේනයන් වහන්ස, වෛද්‍යවරු එක එක උපක්‍රමවලින් බේත් කරනවා. ලෙඩාට බේත් පානය කරන්න, ආලේප කරන්න දෙනවා අපට දකින්නට ලැබෙනවා. නමුත් පිරිතේ එහෙම කිසිදු උපක්‍රමයක් නැහැනේ. පිරිතේ එහෙම ආලේප කිරීමක් තැවරීමක් නැහැනේ.

"රජතුමනි, එය තේරුම්ගත යුත්තේ මේ ආකාරයට යි. යමෙක් පිරිත් දේශනා පවත්වන කල්හී ශබ්දය ඇසෙනවා. දිව වියළෙනවා. සිත පෙරළෙනවා. (පිරිත සජ්ඣායනා කරද්දී සිත වෙනතකට ගියොත් පිරිත වරදිනවා) උගුර ද ආතුර වෙනවා. එබඳු වුවන් පිරිත් පවසන කල්හී සියලු රෝග සංසිඳෙනවා. එහෙමයි මහරජ පිරිත කෙනකුගේ ජීවිතයට ආලෝකයක් වන්නේ" කියා නාගසේන මහරහතන් වහන්සේ වදාළා.

එහෙනම් පිරිතක ආශිර්වාදය ලැබීමට පිරිත සජ්ඣායනා කළයුතුම වෙනවා. පිරිතක් අසාගෙන සිටීමෙන් පිරිතේ ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. පිරිතේ ආනුභාවයෙන් සියලු අන්තරාවෝ පහවී යනවා.

"රජතුමනි පිරිත් ධර්මයන් සජ්ඣායනා කරනා කල්හි පිරිතෙන් ආරක්ෂාව ලබනා තැනැත්තාට යම් දෂ්ට කරනු කැමැති සර්පයා පවා දෂ්ට නො කරයි. සර්පයා විවර කළ මුඛය වසා ගනියි. සොරුන් මුගුරක් ඔසවා මරණයට පත් කිරීමට සැරසෙයි. නමුත් පිරිතේ බලය නිසා මුගුර විසි කොට පේ‍්‍රමයෙන් වැළඳ ගනී. කිපුන හස්ථියා ළඟට පැමිණ නවතී. දැල්වෙන මහා ගිනි කඳ පවා ළඟට විත් නිවේ. කැඩුණු හලාහලප විෂ පවා බෙහෙතෙක් බවට පත්වෙයි. ආහාරයක් ලෙස එය දිරවා යයි. සතුරෝ මිතුරෝ වෙයි. මේ පිරිතෙත් ආනුභාවය යි."

එනිසා දිනයක් ආරම්භ වීමේදී කෙටියෙන් හෝ ආරක්ෂක පිරිතක් කියන්නට පුරුදු වෙන්න. ඒ වගේම දවසක් නිමා වන විටත් පිරිත් ටිකක් කියන්න පුරුදු වෙන්න.

බිනර අව අටවක

සැප්තැම්බර් 24 අඟහරුවාදා අ.භා. 12.45 අව අටවක ලබා 25 බදාදා අ.භා. 12.17 ගෙවේ.
24 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]