[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - 06: රාගී සිත හීලෑ කරන නවසීවථික භාවනාව

පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - 06:

රාගී සිත හීලෑ කරන නවසීවථික භාවනාව

ප්‍රධාන භාවනාවට පෙර කළ යුතු චතුරාරක්ඛ භාවනාවේ බුදුගුණ, මෛත්‍රී, පිළිකුල් සහ මරණ සති භාවනා හතරේ යෙදුණු මට මගේ සිත සන්සුන් ව, ශාන්ත ව, ප්‍රධාන භාවනාවේ යෙදීම සඳහා සුදුසු පසුබිමකට පත් ව ඇති අයුරු දැනිණ.

බුදුරජාණන් වහන්සේ අපට කියාදුන් භාවනා රැසකි. එයින් මා තෝරාගත යුත්තේ මගේ චරිතයට ගැළපෙන භාවනාවකි. පෙර බුදුපියාණන් වහන්සේ වැඩ සිටි සමයේ නම් මගේ චරිතයට ගැළපෙන භාවනා මට තෝරා දෙන්නේ මාගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේ විසින් ම ය. එහෙත් දැන් මට ම මට සුදුසු භාවනාව තෝරා ගැනීමට සිදු වී තිබේ.

රාහුල පොඩි හාමුදුරුවන්ට ආනාපානසති භාවනාව කමටහනක් ලෙස දුන්නේ සැරියුත් මහ රහතන් වහන්සේ ය. රාහුල හිමියෝ දහතුන් වසරක් ම ආනාපානසති භාවනාවේ යෙදුණහ. එහෙත් සමාධියට පත් වීමටවත් නොහැකි විය. දිනක් බුදුරජාණන් වහන්සේ සමඟ රාහුල හිමියෝ පිණ්ඩපාතයේ වැඩියහ. එදා කාම විතර්ක සහිත රාහුල හිමියන්ගේ සිත බුදුරජාණන් වහන්සේට පෙනිණ. උන්වහන්සේ රාහුල හිමියන්ට ධාතු මනසිකාර භාවනාව ඉගැන්වූහ. එදා ම රාහුල හිමියෝ රහත් බවට පත් වූහ. කලින් උන්වහන්සේ ආනාපානසති භාවනාවේ යෙදුණේ චරිතයට ගැලපෙන්නේ කුමන භාවනාව දැයි තෝරා නොගෙන ය. කාම විතර්ක, රාග සිතිවිලි බහුල සිතකට ගැලපුණේ ධාතු මනසිකාර භාවනාව ය.

මේ කතා පුවත මට මා කළ යුතු භාවනාව කුමක් දැයි කියා දුන්නේ ය. මගේ චරිතය ද රාග සිතිවිලි බහුල, ආසාවන් පසුපස හඹා යන එකකි.

ආරාමයට එන තරුණියකට මගේ ඇස වහා ඇදෙයි. සිත සුඛ වින්දනයක යෙදෙයි. ආසාවන් සිත පුරා පැතිරෙයි. කන ඒ තරුණියගේ හඬට ඇදෙයි. සිත සුඛ වින්දනයක යෙදෙයි. ආසාවන් සිත පුරා පැතිරෙයි. නාසය, දිව, සම, සිත යන මේ ඉන්ද්‍රියන් ද අරමුණු සමග ගැටී සිතේ ආසාව, රාගය පුරවයි.

මම මගේ චරිතය රාග චරිතයක් ලෙස හඳුනාගනිමි. රාග චරිතයක් ඇත්තකුට සිත හීලෑ කළ හැක්කේ පිළිකුල් භාවනාවෙනි. අනිත්‍ය අවබෝධ කරවන භාවනාවකිනි. මා ඒ සඳහා තෝරාගන්නේ නවසීවථික භාවනාවයි.

තමාගේ හෝ අනුන්ගේ හෝ ශරීරයක් පිළිබඳ ව ආශාවක් ඇති කරගත්, රාග සිතින් යුතු භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ නවසීවථික භාවනාවේ යෙදෙන්නට උපදෙස් දෙති. එකල මළ සිරුරු ආදාහනය හෝ භූමදානය නොකොට සොහොන් බිමේ දමා එන්නට මිනිස්සු පුරුදු ව සිටියහ. ඒ මළ සිරුරු ක්‍රමයෙන් ඉදිමී, නිල් වී, මස් දිය වී, අතිශය පිළිකුල් සහගත තත්ත්වයකට පත් වන හැටිත්, ශරීරයේ පැවැති වායෝ ධාතුව බාහිර වායෝ ධාතුවටත්, තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුවටත්, ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුවටත්, පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවටත් පත් වන හැටිත්, ඒ වෙනස් වීම තුළ අනිත්‍යය ම දක්නට ලැබෙන හැටිත් අවබෝධ වීමෙන් කලකිරීම සිත තුළ ඇති වේ. කලකිරීම තියුණු වීමෙන් අත්හැරීම ඇති වේ.

නවසීවථික භාවනාව මගේ චරිතයට ගැලපෙන භාවනාව ලෙස මා තෝරාගත්තේ මා පි‍්‍රය කළ කාන්තා රූපවලට අවසානයේ දී මුහුණ පෑමට සිදුවන ඉරණම අපි‍්‍රය සහගත වන හෙයිනි.

මේ භාවනාවේ යෙදීමට පෙර පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු හතර, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය සහ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය පිළිබඳ දැනුමක් ලබා ගත යුතු වේ. මේ දැනුමෙන් තොර ව නවසීවථික භාවනාවේ යෙදිය නොහැකි ය.

භාවනාවට පෙර දැන ගත යුතු කරුණු වප් පුර පෝදා පුවත්පතින් කියවමු

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 17 අඟහරුවාදා පූ.භා. 11.44 පුර පසළොස්වක ලබා 18 බදාදා පූ.භා. 08.06 ගෙවේ.
17 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]