[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර පුර පසළොස්වක පෝ දා 2024-09-17

බොදු කතගේ චරිතාදර්ශය

සම්බුදු සසුනේ උතුම් පැවිදි බව ඉල්ලා වෙහෙසකර ව්‍යායාමයක නියැළුණ අප මහා බෝසතාණන් වහන්සේගේ සුළු මව, මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සිය උත්සාහය මල්ඵල ගන්වා ගන්නී, භාරතීය කාන්තාව බමුණු මත හමුවේ තාඩන පීඩනයන්ට මැදිව කටුක දිවියකට උරුමකම් කියන මොහොතක ය. එදා බිනර පුර පසළොස්වක පෝ දා සම්මා සම්බුදු රජාණන් වහන්සේ පැන වූ ගරු ධර්ම අටක් හිස් මුදුනින් පිළිගනිමින් ඕ තොමෝ සම්බුදු සසුනේ විමුක්තිය ලබන්නී, උතුම් රහත් බවට ද පත් වූ සේක.

බොදු කතට ඒ චරිතාදර්ශය මොන තරම් නම් සමීප විය යුතු ද? ඒ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය ප්‍රමුඛ මහරහත් තෙරණිවරුන්, භික්ෂුණීන් වහන්සේ සේ ම සම්බුදු මඟ ගිය ගුණබර උපාසිකාවන් ද ආදර්ශයට ගෙන තම දිවි මඟ ඔපවත් කර ගන්නට මේ පුන් පෝදා සිට හෝ අධිටන් කර ගන්නේ නම් එය භික්ෂුණී ශාසනය ඇරඹීමට මුල් වී කාන්තාවට ද ලෝකෝත්තර සුව සලසා දුන් ඒ මහ රහත් තෙරණියට කරන නමස්කාර පූර්වක ගෞරවෝපහාරයක් ම වන්නේ ය.

උතුම් කාන්තා රත්නයක් යන නාමය සෑම කාන්තාවකට ම ලද හැකි ය. එහෙත් සියලු කාන්තාවෝ එතැනට පත් නොවෙති. සරලව කියනවා නම් උතුම් කාන්තා රත්නයක් වීමේ සුදුසුකම් නො ලබති. ඒ සුදුසුකම් නම් ගුණ ධර්ම ය.

වටිනා සළු පිළියෙන් සැරසුණේ නැතිව ද කාන්තාව බබළවන්නට ඒ ගුණ ධර්ම සමත් ය. ඒ බව ඇය තේරුම් ගත යුතු කුඩා වියේ දී ම ය. ඇයට ඒ ආදර්ශය දිය යුතු අම්මා ය. අම්මා දයා ගුණයේ ප්‍රතිමූර්තිය වන කල ඇය වටා හැදෙන වැඩෙන දියණිය ද ඒ ගුණ උකහා ගනු ඇත.

අප බුදුපියාණන් වහන්සේ මව, මහා බ්‍රහ්මයාට උපමා කොට වදාළේ ඇය සතු ව මහා බ්‍රහ්මයා සතු ගුණ පවතින බැවිනි. ඒ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාව යි. මවකට සිය දරුවා තරම් වටිනා සම්පතක් නැති බව අවිවාදිත ය. එහෙත් ඇය සැබෑ මවක් වන්නේ ඒ දරුවාගේ ප්‍රාණය මෙත් සිතින් රැක ගන්නා සේ සියලු දරුවන් කෙරෙහි ම ඒ මෙත් සිත දක්වන්නී නම් ය. ඒ ආදර්ශය තුළ ලස්සන වන්නේ ඇයගේ ම දියණියන්ගේ ගතිපැවතුම් ය.

අනුන්ගේ දුකේ දී සංවේදී වන, උපකාරී වන අම්මා දකින දියණියක් තවත් කෙනකුගේ දුකක දී, කරදරයක දී පිටුපාන්නේ නැත. මුදිතා ගුණ ඇති අම්මා, ජීවිතයේ දුක් කරදර සේ ම සැප සතුට ද උපේක්ෂාවෙන් දරා ගන්නා අම්මා සිටින පවුලේ දියණිවරු, පුතනුවරු ගුණ ධර්මයන්ට සමීප වේ.

බොදු පවුලක කාන්තාව පරිත්‍යාගශීලී ය. දාන මානාදී පින්කම් හි නිරත ය. ඇය සිල්වත් ය. කය, වචනය, සංවර කර ගන්නා ඇය ජීවිතයේ කුදු මහත් අභියෝග හමුවේ සිත ද දියුණු කර ගන්නට අනලස් වේ. ප්‍රඥාව දියුණු කර ගන්නට ද වීර්යය වඩන්නීය. ඒ බෞද්ධ ප්‍රතිපදාව යි. එවැනි කාන්තාවක් කාන්තා රත්නයක් යන නාමයට නිතැතින් ම සුදුසුකම් ලබයි. මේ ජීවිතය ද දිනා පරලොව ද දිනන්නී ඇය යි. ඇයගේ දරුවන් ද ඒ හා සමඟ ම ජීවිතය දිනයි. මේ උතුම් පෝදා ඒ උතුම් දහම් මඟ යමින් නමට කාන්තාවක් නොවී, උතුම් කාන්තා රත්නයක් වීමට අධිටන් කොට ඒ සඳහා වීර්යය වඩමු.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 17 අඟහරුවාදා පූ.භා. 11.44 පුර පසළොස්වක ලබා 18 බදාදා පූ.භා. 08.06 ගෙවේ.
17 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]