සුවපත් මනසක් සුවබර දිවියක් -
18 කොටස:
පළමු ව තමන් තුළ
මෛත්‍රිය අත්දකින්න
දෙවනුව අන් අය හා බෙදා ගන්න
ආචාර්ය
හේනේපොල ගුණරතන මහ නාහිමි
නිරවුල් මනස ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට නිවැරැදි විසඳුම් ලබා දෙයි. එහෙත් කාර්ය බහුල
බව නිසා ම බොහෝ දෙනාගේ මනස නිරතුරුව ම ව්‍යාකූල ය. සිත පහසුවෙන් දියුණු කර ගැනීමට
භාවනාව උපකාරි වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙස වැඩිය නොහැකි ය. ලෝකයේ
භාවනාවට අවධානය යොමු කරන බොහෝ දෙනා ථෙරවාදී නිකායන්ගේ භාවනානුයෝගිත්වය මහත් සේ අගය
කරති. ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස
ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමි විසින් රචිත ර්ඪදඤටභතදඥඵඵ ඪද
නතචඪද ඡ්දඨතඪඵඩ (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති
අතර, අමෙරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ සියයක් ඉක්මවා අලෙවි වී ඇත.
උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සෑම පසළොස්වක පෝදාක ම බුදුසරණ පුවත්පතේ පළවන
අතර මේ එම ලිපි මාලාවේ
දහඅට වැන්නයි.
“මගේ සතුරන් හට ප්‍රීතිය හා සාමය අත්වේවා. ඔවුන් වෙත නපුරක් ළඟා නොවේවා!
දුෂ්කරතා ඔවුන් වෙත නොපැමිණේවා. සැමවිට ම ඔවුන් සාර්ථක වේවා. නොවැළැක්විය හැකි
ජීවිත අසාර්ථකවීම්, දුෂ්කරතාවලට හා ගැටලුවලට මුහුණ දී, ඒවායින් ජය ගැනීමට අවශ්‍ය
ඉවසීම, ධෛර්ය, තේරුම් ගැනීම හා අධිෂ්ඨානය ඔවුන්ට ලැබේවා” කියා ප්‍රාර්ථනා කරන්නේ
කෙලෙස ද යන්න ඔබ කල්පනා කරනු ඇත.
වේදනාවෙන් හා දුකින් මිදී, තමාට ම සාමය හා විමුක්තිය ලබා ගැනීම සඳහා භාවනාවේ
යෙදෙනවා සේ ම, මෛත්‍රී භාවනාව පුහුණු වනනේ සිත පවිත්‍ර කිරීම සඳහා බව ඔබ මතක තබා ගත
යුතු ය. පූර්ව නිගමනයෙන් හා වෙන්කර සැලකීමෙන් හෝ වෛරයෙන් හෝ තොරවූ මිත්‍රශීලී
බවකින් හැසිරිමට ඔබට හැකි වනු ඇත.
ඉතා ම ප්‍රායෝගික ව, අන් අයගේ වේදනාව හා දුක අවම කර ගැනීම සඳහා ඔබගේ මෙම ශ්‍රේෂ්ඨ
හැසිරීම උපකාරී වේ. අන් අයට උපකාර කළ හැක්කේ කරුණාවන්ත පුද්ගලයින්ට පමණි. කරුණාවන්ත
බව මෛත්‍රීය ක්‍රියාවට නැංවීමක් වන අතර, මෛත්‍රීය නොමැති පුද්ගලයින්ට තවත් කෙනෙකුට
උදව් කළ නොහැක. උතුම් හැසිරීම යනුවෙන් අදහස් කරනුයේ අතිශයින් ම සුහදශීලී ව
හැසිරීමයි. ඔබගේ සිතුවිලි, කථාව හා ක්‍රියාව යන සියල්ල හැසිරීමට අයත් වේ. ඔබගේ
හැසිරීම ප්‍රකාශ වන ත්‍රිවිධ ක්‍රම අතර පරස්පරයක් පවතී නම් එහි වරදක් ඇති අතර,
පරස්පරවිරෝධී හැසිරීම් උතුම් නොවෙයි.
අනෙක් අතට ගත්කල “සියලු සත්ත්වයෝ ප්‍රීතියෙන් වෙසෙත්වා! යනුවෙන් උතුම්
ප්‍රාර්ථනාවක් ඇති කර ගැනීම “මම ඔහුට වෛර කරමි” යන සිතිවිල්ලට වඩා ඉතාමත් යහපත් ය.
යම් දිනයෙක අපගේ උතුම් සිතිවිලි උදාර හැසිරීමකින් ප්‍රකාශ වනවා මෙන් ම ඊර්ෂ්‍යා
සහගත සිතිවිලි දුෂ්ට ක්‍රියාවකින් ප්‍රකාශ වනු ඇත.
අපේක්ෂා කරන ප්‍රතිඵල ලබා දීම සඳහා, ඔබගේ සිතිවිලි, කථාව හා ක්‍රියාව බවට පරිවර්තනය
වන බව සිහි තබා ගන්න. ක්‍රියාවට පරිවර්තනය වන කථාව ඔබට පැහැදිලි ව දැක ගත හැකි
ප්‍රතිඵල ලබා දෙයි.
ඔබ නිතර ම කථාකළ යුත්තේ හා ක්‍රියා කළ යුත්තේ මෛත්‍රීයෙන් යුතු එළැඹි සිහියකිනි.
මෛත්‍රීය පිළිබඳ කථා කරන ඔබගේ හැසිරීම එයට හාත්පසින් විරුද්ධ ආකාරයට සිදුවන විට,
ප්‍රඥාවන්තයින් ඔබට දෝෂාරෝපණය එල්ල කරනු ඇත. මෛත්‍රියෙන් යුතු එළැඹි සිහිය ඔබ තුළ
වර්ධනය වන විට ඔබගේ සිතිවිලි, වචන හා ක්‍රියාව කාරුණික, ප්‍රියමනාප, අර්ථවත්,
සත්‍යශීලී මෙන් ම ඔබට හා අන් අයට ප්‍රයෝජනවත් ද වෙයි. ඔබගේ සිතුවිලි, වචන හා
ක්‍රියාව ඔබට හෝ අන් අයට හෝ හානිදායක නම් ඔබ සත්‍ය වශයෙන් ම මෛත්‍රිය පිළිබඳ
සිහියෙන් සිටිනවා ද කියා ඔබගෙන් ම විමසන්න.
ප්‍රායෝගික වශයෙන් ගත් කල ඔබගේ සියලුම සතුරන් නිරෝගීමත් ව, සතුටින් හා සැනසිල්ලෙන්
සිටිත් නම් ඔවුන් තවදුරටත් ඔබගේ සතුරන් නොවේ. ඔවුන් ගැටලුවලින් වේදනාවෙන්, දුකෙන්,
පීඩාවෙන්, ස්නායු ආබාධවලින්, මානසික රෝගවලින්, බියෙන්, ආතතියෙන් හා කාංසාවෙන් මිදී
නිදහස් ව සිටී නම් ඔවුන් ඔබගේ සතුරන් වන්නේ නැත.
ඔබගේ සතුරන් කෙරෙහි ප්‍රායෝගික විසඳුම වන්නේ ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීමට උදව් වී,
ඔබට සාමයෙන් හා ප්‍රීතියෙන් ජීවත්වීමට මග පාදා ගැනීමයි. ඔබගේ සියලුම සතුරන්ගේ හිත්
මෛත්‍රියෙන් පුරවා, ඔවුන් සියලු දෙනාට ම සාමකාමී බවේ නියම අරුත තේරුම් ගැනීමට සලසා
දීමට හැකි නම් එමගින් ඔබට ද සාමකාමී ව සහ සොම්නසින් ජීවත්වීමට හැකි වෙයි. ඔවුන්
වඩාත් ස්නායුගත හා මානසික ආබාධවලින් පෙළෙන, බියෙන්, ආතතියෙන් හා කාංසාවෙන් ජීවත් වන
විට වැඩි වැඩියෙන් ගැටලු, වේදනාව හා දුක ලෝකයට ගෙන එනු ඇත. ඔබට දුෂ්ට, අයහපත්
පුද්ගලයකු, ශ්‍රද්ධාවත් පුද්ගලයකු කළ හැකි නම් එය ප්‍රාතිහාර්යයකි. අයහපත් සිතක්
යහපත් සිතක් බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රමාණවත් මෛත්‍රීය හා ප්‍රඥාව අපි තුළ ඇති
කර ගනිමු.
ඔබ යමෙකුට වෛර කරන විට, “ඔහු අවලක්ෂණ වේවා, ඔහු වේදනාවෙන් වැතිර සිටිත්වා, සෞභාග්‍ය
දුරු වේවා, ඔහු දුප්පත් වේවා, ඔහුට මිතුරන් නොලැබේවා, මරණින් මතු අපා දුකට
පත්වේවා,” යැයි ඔහු සිතනු ඇත. නමුත් සත්‍ය වශයෙන් ම සිද්ධවන්නේ ඔබගේ ම සිරුර හානි
කර රසායනික ද්‍රව්‍ය නිපදවා, ඔබට වේදනා ඇති කර හදගැස්ම හා ආතතිය වැඩි කර මුහුණේ
පෙනුම වෙනස් කර, කෑම අරුචිය ඇතිකර, නිදි නොලබා ඔබ ව ඉතා අවලස්සන කිරීමයි. ඔබගේ
සතුරාට පැතූ දේ ඔබට ද සිදුවෙයි. එමෙන් ම ඔබ සත්‍යය නොදකිනු ඇත. ඔබගේ සිත උතුරන ජලය
මෙනි. නැතහොත් ඔබ ඕනෑම රසවත් ආහාරයක් නීරස සේ දැනෙන සෙංගමාල රෝගියෙකු මෙනි. ඒ හා
සමානව ම, ඔබට අන් අයකුගේ පෙනුම, ජයග්‍රහණය හෝ සාර්ථකත්වය හෝ අගය කිරීමට නොහැකි
වෙයි. මෙම ස්වභාවය පවතින තුරු ඔබට හොඳීන් භාවනා කළ නොහැක.
එහෙයින්, ඔබගේ විධිමත් භාවනාව පුහුණු වීමට පෙර මෛත්‍රී භාවනාවේ යෙදෙන ලෙස අපි තදින්
ම නිර්දේශ කරමු. ඉහත සඳහන් ඡේදය ඉතාමත් සිහියෙන් යුතු ව හා අර්ථවත් ලෙස නැවත නැවතත්
කියන්න. එසේ පවසන අතර, පළමු ව ඔබ තුළ මෛත්‍රීය අත්දකින්න. පසුව එය අන් අය හා බෙදා
ගන්න. මක්නිසා ද? ඔබ තුළ නොපවතින දෙයක් අන් අය සමඟ බෙදා ගැනීමට ඔබට නොහැකි නිසා ය.
එනමුදු, මේවා ඉන්ද්‍රජාලික සූත්‍ර නොවන බව ද සිහියේ තබා ගන්න. ඒවාට තනි ව ක්‍රියා
කළ නොහැකි ය. ඔබ එලෙසින් ඒවා පාවිච්චි කිරීම, ඔබගේ කාලය හා ශ්‍රමය අපතේ හැරීමකි.
නමුත් ඔබ නියම අයුරින් මෙම කියමන්වලට සහභාගි වී ඔබගේ ශ්‍රමය සමඟ යෙදූ විට ඒවා ඔබට
සේවය සලසයි. වරක් උත්සාහ කර ඔබ ම එය දැක ගන්න.
භාවනා පුහුණුවේ දී ඔබ ගැටලුවලට මුහුණපානු ඇත. එය සැම කෙනකුට ම පොදු කරුණකි. එම
ගැටලු විවිධ ආකාරයෙන් පැමිණෙන අතර, ඔබටත් යම් ගැටලු මතු විය හැකි බව පමණක් නිසැක ව
ම කිව හැකි ය. මෙවැනි ගැටලු සමඟ ගනුදෙනු කිරීමේ ප්‍රධාන උපක්‍රමය නිවැරැදි ආකල්පයක්
ඇති කර ගැනීමයි. දුෂ්කරතා ඔබගේ පුහුණුවේ ම කොටසක් වන අතර, ඒවා මඟ හැරිය යුතු නැත.
අගනා ඉගෙනුම් අවස්ථා සලසන මෙම දුෂ්කරතා ප්‍රයෝජනයට ගත යුතු ය.
ප්‍රශ්නවලින් පැනයාමේ මෙන්ම ආශාවන් පසුපස හඹා යෑමේ හේතුවෙන් අප සියලු දෙනා ජීවිත
මඩගොහොරුවේ එරී සිටිමු. මෙවැනි තත්ත්ව විමසා බලා ඒවා සමඟ ගනුදෙනු කිරීමට හැකි
උපක්‍රමයක් ගොඩනඟා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම භාවනාව මඟින් අපට සපයා දෙනු ලබයි.
භාවනා පුහුණුවේ දී ඉස්මතු වන නොයෙක් මාදිලියේ බලාපොරොත්තු නොවූ අකරතැබ්බ බෙහෙවින්
ප්‍රයෝජනවත් ය. අප කටයුතු කරන්නේ එම ද්‍රව්‍යය සමඟයි. තරමක හෝ වේදනාවක් රහිත
වින්දනයක් මෙලොව නැත. ජීවිතය සොම්නස සහ කනගාටුවේ සම්මිශ්‍රණයකි. ඒවා අන්‍යොන්‍යව
බැඳී තිබේ. භාවනාව ද එසේ ම ය. යහපත් හා අයහපත් කාලයන් මෙන් ම ප්‍රමෝදජනක හා බියකරු
අත්දැකීම් ද ඔබට ලැබෙයි.
එබැවින්, ඔබ ගඩොල් බිත්තියක හැපුණා සේ දැනෙන හැඟීමක් දැනුණු විට පුදුමයට පත්විය
යුතු නැත. ඔබ සුවිශේෂී පුද්ගලයකු යැයි නොසිතන්න. අත්දැකීම් ඇති සෑම භාවනානුයෝගියකුට
ම පාහේ මෙවැනි බාධක තිබුණි. ඒවා නැවත නැවතත් මතුවනු ඇත. එවැනි දේ බලාපොරොත්තු
වෙනවා. මෙන් ම හසුරුවා ගැනීමට සූදානමින් සිටින්න.
ගැටලු හසුරුවා ගැනීමට ඇති ඔබගේ හැකියාව ඔබගේ ආකල්ප මත රඳා පවතියි. මෙම බාධක ඔබගේ
පුහුණුව වර්ධනය කර ගැනීමේ අවස්ථාවක් ලෙස සැලකිය හැකි නම් ඔබ සාර්ථක වනු ඇත. භාවනාවේ
දී මතුවන යම් ගැටලු නිරාකරණය කර ගැනීමට ඔබට ඇති හැකියාව, ඉන් ඔබ්බට ගොස්, ඉදිරි
ජීවිතයේ දී ඔබ ව පීඩාවට පත්කරන මහත් ගැටලු සමථයකට පත් කර ගැනීමට ඉඩ සලසනු ඇත.
භාවනාවේ දී මතුවන අත්දැකීම් මඟහැරීමට ප්‍රයත්න දැරීම, ජීවිතය දරා ගත නොහැකි යයි
සමහර විටකදී ඔබට ඇතිවන හැඟීම සනාථ කරයි.
අපගේ ජීවිතයේ එතරම් ප්‍රියජනක නොවන අංගයන්ට මුහුණදීමට ඉගෙන ගැනීම අත්‍යවශ්‍යය.
භාවනාවේ යෙදෙන්නන් ලෙස අපගේ රාජකාරිය වනුයේ තමන් සමඟ ම ඉවසීමෙන් කටයුතු කරන්නටත්,
දුක්ඛ දෝමනස්සයන් හා අඩුලුහුඬුකම් සහිත පුද්ගලයන් ලෙස තමන් දෙස අපක්ෂපාතී ව බැලීමට
හැකිවීමත් ය. අපට ම කරුණාවන්ත වීමට ඉගෙන ගත යුතු ය. අමිහිරි සිදුවීම් මඟහැරීම ඉදිරි
කාලයේ දී තමන්ට ම අකරුණාවන්ත වීමකි. තේරුම් ගැනීමට අපහසු ලෙස පෙනුන ද, කරුණාවන්තවීම
යනු පැනනඟින අප්‍රසන්නජනක තත්ත්වයන්ට මුහුණදීමට හැකි වීමයි.
ස්වයං යෝජනා කිරීම ගැටලු සමඟ ගනදෙනු කිරීමේ දී ජනප්‍රිය මානව උපක්‍රමයකි. එනම් කටුක
අත්දැකීමක් පැමිණිවිට එය සිදුනොවූ බව හෝ අප්‍රසන්න නොව ප්‍රසන්න අත්දැකීමක් බව ඔබට
ම ඒත්තු ගැන්වීමයි. නමුත් බුදුන් වහන්සේගේ ක්‍රමය මීට ඉඳුරා ම වෙනස් ය. එනම්
සැඟවීමක් හෝ වෙස් ගැන්වීමක් නොමැති ව එය ඉවත්වී යන තෙක්ම විභාග කිරීම උන්වහන්සේගේ
ඉගැන්වීමයි. නොපවතින හැඟීමක් ආදේශ කිරීම හෝ පවතින හැඟීමක් මඟ හැරීමට බුදුදහම උපදෙස්
නොදෙයි. ඔබ අසතුටින් නම් ඔබ සිටින්නේ අසතුටිනි. යථාර්ථය එයයි. බයෙන් නොහැකිලී ඍජුව
ම එදෙස බලන්න.
ඔබ නරක කාලයක් ගතකරන විට එහි නරක විමසා ඒදෙස සිහියෙන් යුතු ව බලා ප්‍රපංච අධ්‍යයනය
කර එහි ක්‍රියාකාරිත්වය ඉගෙන ගන්න. උගුලකින් ගැලවීමට නම් එය අධ්‍යයනය කර සාදා ඇති
ආකාරය ඉගෙන ගත යුතුයි. කැබැල්ලෙන් කැබැල්ල ගලවා ඉවත් කිරීමෙන් එය ඉගෙන ගැනීමට
පිළිවන. කැබලිවලට වෙන්වුණු උගුලකට ඔබ ව හසුකර ගත නොහැක. නිදහස ලැබීම එහි අවසන්
ප්‍රතිඵලයයි.
මෙය බුදුදහමේ ඉතාම වැදගත්වූත්, එහෙත් අඩුවෙන් ම අවබෝධ කර ගත්තා වූත් කරුණකි. බෞද්ධ
ධර්මය මතුපිටින් පමණක් උගත් පුද්ගලයෝ එය නිතර ම වේදනාව, මරණය, රෝගපීඩා වැනි දේට
මුහුණදීමට පොළඹවන, දුක වැනි කටුක අත්දැකීම් ගැන සැමවිට ම කතා කරන අශුභවාදී
ඉගැන්වීම් මාලාවක් ලෙස කඩිනම් තීරණයකට එළඹෙති.
බෞද්ධ චින්තකයෝ තමන් අශුභවාදීන් ලෙස නොසලකති. සැබැවින් ම එහි අනිත් පැත්තයි.
විශ්වයේ වේදනාව පවතියි. හැමවිට ම එය මඟ හැරිය නොහැක. එය සමඟ ගනුදෙනු කිරීමට ඉගෙනීම
අශුභවාදය නොව ඉතාමත් ප්‍රායෝගික ශුභවාදයකි. ඔබගේ සහකරුගේ හෝ සහකාරියගේ හෝ වියෝව
(මරණය) ඔබ බාර ගන්නේ කෙසේ ද? හෙට ඔබගේ මවගේ මරණය සිදුවුවහොත් එය ඔබට කෙලෙස දැනෙයි
ද? ඔබගේ සොයුරිය හෝ සමීප මිතුරෙකුගේ වියෝව ඔබට කෙලෙසක දැනේවී ද? එකම දිනෙක රැකියාව
අහිමිවී, තැන්පත් කර තිබූ ධනය හා දෙපා අහිමි වුවහොත් ඉතිරි මුළු ජීවිත කාලය ම රෝද
පුටුවකට වී ගෙවන්නට සිදුවන තත්ත්වයකට මුහුණදීමට ඔබට හැකි ද? සුව කළ නොහැකි
පිළිකාවක් ඔබට වැළඳුනහොත් එහි වේදනාව ඔබ හසුරුවා ගන්නේ කෙසේ ද? එලෙස එළඹෙන මරණය සමඟ
ඔබ ගනුදෙනු කරන්නේ කෙසේ ද? මෙවැනි අවාසනාවන්ත බොහෝ දේවලින් ඔබට ගැලවිය හැකි නමුදු
සියල්ලන්ගෙන් ම ගැලවිය නොහැක.
අප බොහෝ දෙනකු තමන්ගේ ජීවිතයේ යම් දිනෙක මිතුරන් හා නෑදෑයින්ගේ වියෝව අත්දකිනු ඇත.
අපි සැම රෝග පීඩාවන්ට ගොදුරු වෙමු. එමෙන්ම දිනෙක අප මිය යනු ඇත. මෙවැනි සිදුවීම්
තුළින් කනගාටුවීම හෝ ඒවාට විවෘතව මුහුණදීම කළ යුතු ව ඇත. තේරීම ඇත්තේ ඔබ අතේ ය.
වේදනාව නොවැළැක්විය හැකි නමුත් දුක එසේ නොවේ. වේදනාව හා දුක්වි¼දීම තත්ත්වයන්
දෙකකි. ඔබගේ වර්තමාන මානසික තත්ත්වයෙන් මෙවන් ශෝකජනක සිදුවීමකට මුහුණපෑමට සිදුවූ
විට ඔබ දුක් විඳීනු ඇත. වර්තමානයේ ඔබගේ මනස පාලනය කරන පුරුදු රටාවන් ඔබ ව දුකට කොටු
කළ විට එයින් ගැලවීම අපහසු ය. මෙවැනි පුරුදු රටාවන්ට සරිලන විකල්ප ඉගෙන ගැනීම සඳහා
ගත කරන කාලය ඉතා හොඳ ආයෝජනයකි. බොහෝ මනුෂ්‍යයින් වින්දනය වැඩි කර ගැනීම හා වේදනාව
අඩු කර ගැනීම සඳහා ඔවුන්ගේ මුළු ශක්තිය ම වැය කරති. මෙම ක්‍රියාව මුළුමනින් ම නතර
කළ යුතුයි කියා බුදුදහම නොපවසයි.
මුදල් සහ සුරැකියාව යහපත් දේ ය. හැකි සෑම විටම වේදනාව මඟ හැරිය යුතු ය. ඔබ සතු
සියලු වස්තුව අත හරින්න හෝ අනවශ්‍ය වේදනාව සොයා යන්න කියා හෝ කිසිවකු ඔබට නොකියයි.
නමුත් සමහර වේදනාවන් නොවැළැක්විය හැකි බැවින් එම අමිහිරි අත්දැකීම් සමඟ ගනුදෙනු
කිරීමට ඉගෙන ගැනීම සඳහා කාලය යොදවන ලෙස බුදුදහම ඔබට උපදෙස් දෙයි. ඔබ දෙසට ඇදී එන
වාහනයක් දුටු විට ඔබ එම මාර්ගයෙන් ඉවතට පනින්න. එහෙත් භාවනාව සඳහා ද කාලය යොදවන්න.
ඔබ නොදකින වාහනයෙන් බේරීම සඳහා ඔබ සූදානම් කරන එකම ක්‍රමය, අමිහිරි දේ සමඟ ගනුදෙනු
කිරීමට ඉගෙන ගැනීමයි.
ඔබගේ පුහුණුවේ දී බාධක හමුවෙනු ඇත. ඒ ශාරීරික, මානසික හා ආකල්පමය වශයෙනි. සියල්ලට ම
මුහුණ දීම කළ හැකි වන අතර, එකිනෙකට සුවිශේෂී වූ ප්‍රතිචාර තිබේ. ඒ සෑම එකක් ම ඔබ ව
නිදහස් කරන අවස්ථාවන් වෙයි.
පළමුවන ගැටලුව - ශාරීරික වේදනාව
කිසිවකු වේදනාවට කැමති නැති නමුදු, සෑම පුද්ගලයකුට ම කවර කලෙක හෝ වේදනාව දැනෙනු ඇත.
මෙය ජීවිතයේ ඉතා සුලභ අත්දැකීමක් වන අතර කවර ආකාරයකින් හෝ එය භාවනාවේදී ද මතුවිය
හැකියි.
වේදනාව හසුරුවා ගැනීම පියවර දෙකකින් සමන්විත ය. පළමුව හැකි නම් වේදනාව දුරු කර
ගන්න. අඩුතරමින් යම් කිසි ප්‍රමාණයකට හෝ වේදනාව අඩු කර ගන්න. තවමත් තරමකට ඉතිරි ව
තිබේ නම් එය ඔබගේ භාවනා අරමුණ ලෙස පාවිච්චි කරන්න. පළමුවන පියවර එය සමඟ භෞතික ව
ක්‍රියා කිරීමයි. වේදනාවට හේතුව හිසරුදාව, උණ හෝ සීරීමක් වැනි රෝගි තත්ත්වයක් නම්
භාවනාවට වාඩිවීමට පෙර අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. එනම් ඖෂධ පාවිච්චිය, ආලේපන තැවරීම
වැනි දේවල් ය.
වාඩිවී සිටින ඉරියව්ව හේතුවෙන් ඇතිවන වේදනාවන් ද ඇත. ඔබ කිසිදිනෙක එරමිණියා ගොතාගෙන
වාඩි වී නොමැති පුද්ගලයකු නම් එයට පුරුදු වීම සඳහා තරමක කාලයක් ගතවෙනු ඇත. සමහර
අපහසුතා නොවැළැක්විය හැකි තරම් ය. වේදනාව දැනෙන ස්ථානයට අනුව එයට ම සුවිශේෂී වූ
ප්‍රතිකාර ඇත. පාදයේ හෝ දණහිසේ වේදනාව දැනෙන විට ඔබගේ ඇඳුම් තද වැඩි ද කියා පරීක්ෂා
කරන්න. ඒවා ගොරෝසු රෙද්දෙන් මසා ඇත්නම් හෝ සිරුරට හිරවන සේ තිබේ නම් ප්‍රශ්නය එය
විය හැක. ඒවා මාරු කරන්න උත්සාහ කරන්න. ඔබ වාඩි වී සිටින කුෂන් කොට්ටය ද පරීක්ෂා
කරන්න. පුරවා තද කළ විට එහි උස අඟල් තුනක් පමණ විය යුතු ය.
මීළඟ කොටස
වප් පුර පසළොස්වක පෝදා කලාපයේ
|