[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දිවියට වින කරන මනාපයේ හා අමනාපයේ අවසානය

දිවියට වින කරන මනාපයේ හා අමනාපයේ අවසානය

අසුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියෙසු සුසංවුතං
භොජනම්භී ච මත්තඤ්ඤුං
සද්ධං ආරද්ධ වීරියං
තං වෙ තප්පසහති මාරො
වාතො සෙලං ව පබ්බතං

ජීවිතයේ කිසිම දවසක බියක් ඇති නොවූ මිනිස්සු අපි අතර ඉන්නවද? ඇත්තටම අපිට අනන්ත අප්‍රමාණ ව බිය ඇතිවෙනවා. ඒ වගේම තමයි කාගෙන්වත් බැණුම් අහපු නැති, තර්ජන ගර්ජනවලට මුහුණ නොපාපු, නින්දා අපහාස නොලබපු අය ඉන්නවද? ඇත්තට ම නැහැ.

අපි හැමෝ ම මේ දේවල්වලට මුහුණ පානවා. මෙහෙම වෙලාවට සමහර මිනිස්සු මුහුණ දෙන්නේ කොහොමද? සමහර මිනිස්සුන්ට බියක් ඇති වුණා ම, තැති ගැනීමක් ඇති වුණා ම නින්දා අපහාස කළා ම ඉවසගන්න බැහැ. විඳ දරාගන්න බැහැ. විඳ දරාගන්න බැරි වුණා ම ජීවිත හානි කර ගන්නවා.

බුදුහාමුදුරුවෝ මේ ගාථාවෙන් ඉගැන්නුවේ එක් කෙනෙක් ඇවිත් බිය වද්දන කොට නෙවෙයි. එක් කෙනෙක් ඇවිත් තර්ජන ගර්ජන කරන කොට නෙවෙයි. මහා භයානක මාර සේනාවක් ආවත්, ඒ මාර සේනාවටවත් බිය නැති ව, පරාජය වෙන්නේ නැති ව, ඉන්ද්‍රඛීලයක් සේ සෙලවෙන්නේ නැති ව ජීවිතය සකස් කර ගන්න පුළුවන් ධර්මයක්. බුදුහාමුදුරුවෝ ලස්සන උපමාවක් දෙනවා ‘තං වෙ නප්පසහති මාරො - වාතො සෙලංව පබ්බතං’ මහ විශාල ගල් පර්වතයක් සුළඟට සෙලවෙන්නේ නෑ වගේ ම මේ ගාථාවෙන් උගන්වන කරුණුූ පහ තමන්ගේ ජීවිතයට පුරුදු පුහුණු කර ගත්තොත් මාර සේනාවක් අපි ඉදිරියට ආවත් සෙලවෙන්නෙවත් නැති ව ඉන්න පුළුවන්.

මෙම ගාථාවෙන් බුදුහාමුදුරුවෝ අපට පළමුවෙන් ම ඉගැන්වූයේ ‘අසුභානු පස්සිං විහරන්තං’ තමන්ගේ ශරීරයට ඕනවට වඩා වැඩි ව, දැඩි ව ආශාවක්, ඇල්මක් තියාගන්න එපා කියලයි. අපි ශරීරයට ආශා කරන්න ඕන. ඒත් ඕනවට වඩා දැඩි ඇල්මක්, ආශාවක්, බලාපොරොත්තුවක් තියාගන්න හොඳ නැහැ. මම ඔබට එය තවත් විස්තර කරන්නම්. මේ ශරීරය හැදිල තියෙනවා කොටස් තිස් දෙකකින්. කෙස්වලින් පටන් අරගෙන යටිපතුල්වලින් අවසන් වෙන මේ කොටස් තිස් දෙක කටපාඩම් කරගෙන, එම කොටස් එකක් ගැන වෙන වෙන ම හොඳින් හිතන්න ඕන. එහෙම හිතන කොට මේවායේ තියෙන නියම ස්වභාවය ඒ කියන්නේ වෙනස් වන බව, කැඩෙන බිඳෙන බව අවබෝධ වෙනවා.

උන්වහන්සේගේ දෙවැනි උපදේශය “ඉන්ද්‍රියෙසු සුසංවුතං” අපට තියෙනවා. ඉන්ද්‍රියයන් හයක්. මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනසයි. මේ ඉන්ද්‍රියයන් හය අපි සංවර කර ගන්න ඕන. මේ ඉන්ද්‍රියයන් හයෙන් නිමිති අරගෙන මනාප සිතිවිල්ලක් ඇති කර ගන්න එපා. මොකද? මනාපයේ අවසානය රාගයයි. අමනාප සිතුවිල්ලක් ඇති කර ගන්නත් එපා. මොකද? සිතිවිල්ලේ අවසානය ද්වේෂයයි. එහෙම නම් අපි කොතැනට ද එන්න ඕන. උපේක්ෂාවටයි එන්න ඕන. උපේක්ෂාව කියලා කියන්නේ දැඩි මනාපයකුත් නැති ව, දැඩි අමනාපයකුත් නැති ව මධ්‍යස්ථ වුණා ම අපේ ඉන්ද්‍රියයන් හය කිසිම දේකින් වෙනස් වෙන්නේ නැහැ.

තුන්වැනි කරුණ ‘භොජනම්භි ච මත්තඤ්ඤුං’ කුසේ ප්‍රමාණය දැනගෙන ආහාර ගන්න ඕන. ඇත්තට ම අපි අවබෝධ කර ගන්න ඕන මොකටද කෑම කන්නෙ කියලා. ඒ තමයි ‘කායස්ස ඨිතියා යාපනාය’ මේ ශරීරයේ යැපීම හා පැවැත්ම සඳහා ම පමණයි. ඊට එහා මොකවත් ගැන හිතන්න එපා.

හතරවැනි කරුණ ‘සද්ධා’. ශ්‍රද්ධාව කියලා කියන්නේ විශ්වාසයට. මුලින් ම තමන්ට තමන් ගැන තියෙන විශ්වාසයට. ඊට පස්සෙයි තුනුරුවන් හා විශ්වාසයක් ඇති කර ගන්න ඕන. මොකද? තමන් ගැන තමන්ට ම විශ්වාසයක් නැත්නම්, එහෙම කෙනා කොහොමද තුනුරුවන් ගැන විශ්වාසයක් ඇති කර ගන්නේ. අපි මෙයට කියනවා ආත්ම විශ්වාසය කියලා. ආත්ම විශ්වාසය නැති කිසිම කෙනකුට බෞද්ධයෙක් වෙන්න බැහැ.

ශ්‍රද්ධාවෙත් අමූලික ශ්‍රද්ධාව හා ආකාරවතී ශ්‍රද්ධාව කියලා ප්‍රභේද දෙකක් තියෙනවා.

අමූලික ශ්‍රද්ධාව කියලා කියන්නේ මුල් නැති ශ්‍රද්ධාවටයි. මුල් නැති නිසා ශක්තිමත් නැහැ. මෙම ශ්‍රද්ධාව ස්ථීර නැහැ. මුල් නැති ගහක් පොඩි සුළගට වුණත් එහාට මෙහාට පැදිද්ලා සෙලවිලා බිම වැටෙනවා. ඒ වගේම මේ ශ්‍රද්ධාව තියෙන කෙනාත් එහාට මෙහාට පනිනවා. එක ස්ථාවරයක ඉන්න බැහැ.

ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ මුල් තියෙන ශ්‍රද්ධාවටයි. ගහක හොඳින් මුල් අල්ලලා තියෙනවා නම්, මහ සුළඟක් ආවත් වැටෙන්නේ නැහැ. ඒ වගේමයි ආකාරවතී ශ්‍රද්ධාව තියෙන කෙනාත් කිසිම වේලාවක වට්ටන්න බැහැ, වෙනස් කරන්න බැහැ.

පස්වැනි කරුණ, ‘ආරද්ධ වීරියං’ පටන්ගත්ත වීර්යය ඇති බව. මොකක්ද පටන්ගත්ත වීර්යය කියලා කියන්නේ.? යම් දෙයක් පටන් ගත්ත නම් ඒ දේ ඉවර වෙනකම් කරන්න පුළුවන් වෙන්න ඕන. මිනිස්සු හැමෝම එහෙම කරනවද? නැහැ. සමහරු දේවල් කොච්චර ඉහළින් පටන් ගන්නවද? බෙර ගහල, තොරණ ගහල, අමුත්තෝ ගෙන්නල, උත්සව තියලයි පටන් ගන්නේ. ඒත් ටික දවසකින් සේරම නතර වෙනවා. ඇයි එහෙම වෙන්නේ. මෙන්න මේ ආරද්ධ වීර්යය නැතිකම නිසයි. බෞද්ධයෙක් වුණා ම අනිවාර්යයෙන් ම ආරද්ධ වීර්යය තියෙන්න ඕන. මේ කාරණා පහ ඔය ජීවිතේට පුරුදු පුහුණු කර ගත්තොත් එක් අයෙක් දෙන්නෙක් නොවෙයි, මාර සේනාවක් ඔබට විරුද්ධ ව ආවත් කිසිදු බියක් තැති ගැනීමක් නැති ව මහා ඉන්ද්‍රඛීලයක් සේ නොසෙල්වී ඉන්න පුළුවන් වේවි.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 17 අඟහරුවාදා පූ.භා. 11.44 පුර පසළොස්වක ලබා 18 බදාදා පූ.භා. 08.06 ගෙවේ.
17 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]