[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දියුණුවේ හිණිමඟ දූරදර්ශී නායකත්වය යි

දියුණුවේ හිණිමඟ දූරදර්ශී නායකත්වය යි

බුදුහිමියන් ජීවමාන ව වැඩ විසූ කාලයේ මගධ රාජ්‍යයේ පාලකයා වූයේ අජාසත්ත රජුයි. අසල්වැසි රටක් වූ වජ්ජි රාජ්‍යය තමන්ගේ පාලනයට නතු කර ගැනීමට අජාසත්ත රජුට අවශ්‍ය වුණා. මේ සඳහා ඔහු තමන්ගේ ප්‍රධාන අමාත්‍යවරයා වූ වස්සකාර හරහා බුදුහිමියන්ගෙන් උපදෙස් පැතුවා.

තමන් හමුවට ආ වස්සකාර අමාත්‍යවරයාට බුදුහිමියන් පැවසුවේ වජ්ජි රාජ්‍ය පාලනය කළ ලිච්ඡවී රජ දරුවන් අනුගමනය කරන සත් විධ ක්‍රමවේදය තිබෙන තෙක් ඔවුන් පරාජය කළ නොහැකි බවයි.

වස්සකාර අමාත්‍යවරයා මේ සත් විධ ක්‍රමවේදය කුමක්දැයි විමසා සිටියා. එයට පිළිතුරක් ලෙස බුදු හිමියන් ‘සප්ත අපරිහානිය ධර්ම ලෙස හැඳින්වෙන එම සත්විධ ක්‍රමවේදය දේශනා කරනු ලැබුවා.

මෙම ක්‍රමවේදය සාර්ථක රාජ්‍ය පාලනයක් සඳහා පමණක් නොව ඕනෑම සමාගමක, ආයතනයක, සමිතියක මෙන් ම පවුලක සාර්ථකත්වය සඳහා වර්තමානයේත් බෙහෙවින් වැදගත් වෙනවා.

සාමූහික අදහස් ඉතාම වටිනවා

ජයන්ත පෞද්ගලික සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයෙක්. ඔහු එම තනතුරට පත් වුණේ මීට වසර 5කට පමණ පෙරයි. ඒ වන විට පාඩු ලබමින් තිබු එම ආයතනය පසුගිය අවුරුද්දේ ලැබූ ලාභය රුපියල් මිලියන 300ක්. ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේ ජයන්ත නායකයකු ලෙස අනුගමනය කළ ක්‍රමවේදය යි. ආයතනයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ඇතුළත් වන කළමනාකරන කමිටුවක් නිර්මාණය කළ ජයන්ත සතියකට වරක් ඔවුන් සමඟ රැස්වී සාකච්ඡා කළේ තම ආයතනය ලාභ උපයන ආයතනයක් බවට පත් කර ගන්නේ කෙසේද යන්නයි. මෙම රැස්වීම පැයක් ඇතුළත අවසන් කිරීමට ජයන්ත වග බලා ගත්තා.

මෙම රැස්වීමේ දී එක් එක් කමිටු සාමාජිකයන්ගෙන් මතුවු අදහස් හා යෝජනා සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීම මඟින් සමාගමේ ආදායම දිනෙන් දින වැඩිවෙන්නට පටන් ගත්තා.

කණ්ඩායම් හැඟීම ඕනෑ

රණසිංහ මහතා එක්තරා අමාත්‍යාංශයක ලේකම්වරයෙක්. ඔහු සෑම විටම වැඩ කළේ අන්‍යොන්‍ය සබඳතාව වර්ධනය වන අයුරින්. යම් වැදගත් තීරණයක් ගන්නා අවස්ථාවල දී ඒ ගැන අතිරේක ලේකම්වරු සහ සහකාර ලේකම්වරු සමඟ සාකච්ඡා කිරීම රණසිංහ මහතාගේ පුරුද්දක් වුණා. එසේ ම දවස ආරම්භයේ දී ම සමඟ විනාඩි කිහිපයක් දුරකතනයෙන් සම්බන්ධ වීමට අමතක නොකළ රණසිංහ මහතා දවස අවසානයේ වැඩ අවසන් කිරීමට පෙර නැවතත් ඔවුන් සමඟ සම්බන්ධ වුණා. මේ නිසා ම තමන්ගේ අමාත්‍යංශයට අදාළ වැඩ කටයුතු ඉතා ඉහළින් නිම කිරීමට හැකියාව ලැබුණා. එසේම ඔහුට කිසිවකුගේ බලපෑමට යටත් නොවී කටයුතු කිරීමටත් සියල්ලන්ගේ ගෞරවාදරයට පත් වීමටත් හැකි වුණා.

නීති රීතිවලට පටහැනි වෙන්න එපා

නිලන්ත බහු ජාතික සමාගමක විධායක අධ්‍යක්ෂවරයෙක්. දිනක් ඔහුට පෙනී ගිය කරුණක් වූයේ තම සමාගමේ ප්‍රධානතම පාරිභෝගික සමාගමක් ලබා ගන්නා බඩු ප්‍රමාණය සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවයි. මේ පිළිබඳ සොයා බැලීමේ දී අදාළ අලෙවි කළමනාකරු පැවසුවේ අදාළ සමාගමේ ඇණවුම් කිරීමේ නිලධාරියා තමන් ඇණවුම් කරන බඩු සඳහා කොමිස් මුදලක් ඉල්ලන බවයි. නමුත් මේ බහු ජාතික සමාගමේ නීති රීතිවලට අනුව එවැනි කොමිස් මුදලක් දීම නීතියට පටහැනියි. මේ ගැන තමන්ගේ කළමනාකරණ කමිටුව සමඟ සාකච්ඡා කළ නිලන්ත තීරණය කළේ තම සමාගමේ ආදායමට කෙතරම් බලපෑමක් එල්ල වූවත් එවැනි නීති විරෝධී කටයුතු කිරීමෙන් වැළකිය යුතු බවයි.

මේ තීරණය නිසා සමාඟම කෙටිකාලීන පසුබෑමකට ලක් වූ වත් එයින් සමාගමේ කීර්ති නාමය වැඩි දියුණු වූ නිසා වැඩි කල් නොගොස් සීඝ්‍ර දියුණුවක් ලැබුවා. මේ සඳහා හේතු වූයේ ආයතනයේ නීති රීතිවලට එකඟ ව ඔවුන් කටයුතු කිරීමයි.

ආචාරශීලි වීම අත්‍යවශ්‍යයි

සිරිසේන මහතා මන්ත්‍රීවරයෙක් ප්‍රදේශයේ වැඩිහිටි ගොවින් පිරිසක් තමන්ට වගා කිරීමට අවශ්‍ය ජලය නොලැබුණු නිසා පෙළපාළියකින් ප්‍රාදේශීය සභාවට පැමිණ සිටියා. සේවකයා ඒ ගැන පොලීසියට දැනුම් දෙන්න දැයි විමසා සිටියා. එසේ නොකරන ලෙස පැවසූ සිරිසේන මහතා තම මන්ත්‍රී පිරිස සමඟ වැඩිහිටි ගොවීන් ඉදිරියට ගොස් ඔවුන්ට ආචාර කොට ඔවුන්ගේ ගැටලුව විමසා සිටියා. ගැටලුවට සාවධාන ව සවන් දුන් සිරිසේන මහතා එම ගැටලව විසඳන ලෙස අදාළ නිලධාරීන්ට නියම කළා. සිරිසේන මහතා ඇතුලු මන්ත්‍රී කණ්ඩායම සෑම ඡන්දයක දී ම වැඩි ඡන්ද විශාල ප්‍රමාණයක් ලබා ගනිමින් ප්‍රාදේශීය සභාවට තේරී පත් වුණා.

කාන්තාවන්ට ගරු කරන්න

සුනිමල් ඇඟලුම් කම්හලක ප්‍රධාන විධායක නිලධාරියෙක්. ආයතනයේ සේවිකාවන්ට වැඩිපුර මුදලක් ගෙවා ඔවුන් රෑ වන තෙක් සේවයේ යෙදවීමෙන් තම ඉලක්කයට යා හැකි ය යන නිෂ්පාදන කළමනාකරුගේ යෝජනාවට අනුව කටයුතු කිරීමට සුනිමල් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධරීන් සියලු දෙනා තීරණය කළා. නමුත් එම සැලැස්ම කර්මාන්ත ශාලාවේ සේවිකාවන්ට දැනුම් දීමෙන් පසු සේවිකාවන් කිහිප දෙනෙක් ඒ ගැන තමන්ගේ අකැමැත්ත ප්‍රකාශ කළා. නිෂ්පාදන කළමනාකරුගේ තීරණය වූයේ වැඩිදෙනාගේ කැමැත්තට අනුව වැඩ කළ යුතු බවත්, එසේ අකැමැති අය සේවයෙන් ඉවත් කරන බවත් ය.

කෙසේ හෝ මේ සිද්ධිය ගැන සුනිමල්ට දැන ගන්නට ලැබුණා. සුනිමල් රෑ බෝ වන තෙක් සේවයේ නියැළීමට අකැමැති වූ සේවිකාවන් තමන්ගේ කාර්යාලයට ගෙන්වා ඔවුන් ඒ සඳහා අකැමැති වන්නේ ඇයි දැයි විමසා සිටියා. එක් අයකුට කුඩා දරුවෙක් සිටින නිසාත්, තව කෙනකුට තම නිවසට යාම සඳහා කැලෑ බද පාරක ගමන් කළ යුතු වීම නිසාත්, තවත් කෙනකුට තම මව අසනීප ව සිටින නිසාත් වැනි හේතු තිබුණා. මෙම පිළිතුරුවලට හොඳින් සවන් දුන් සුනිමල් ඔවුන්ගේ හේතු සාධාරණ බව තමන්ගේ නිලධාරීන්ට පැහැදිලි කර දෙමින් සේවකයින්ට හිරිහැරයක් සිදු නොවන අයුරින් ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීමට පහසුකම් සපයා දෙන ලෙසට උපදෙස් දුන්නා. සුනිමල්ගේ මෙම ක්‍රියා කලාපය කර්මාන්ත ශාලාවේ සියලු දෙනාගේ පැසසුමට ලක් වුණා.

සිරිතට විරිතට මුල්තැන

ජයසිංහ මහතා එක්තරා රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂ ජනරාල් වරයෙක්. තමන්ගේ පිළිගැනීමේ කතාවේ දී ම පැවසුවේ තමන්ට පෙර එම නිලය දැරූ අධ්‍යක්ෂවරයා ආයතනයට කළ සේවය තමන් දන්නා බවත්, ඔහු ආයතනය සඳහා කළ කාර්ය ආයතනයේ ප්‍රගමනයට හේතු වී ඇති බැවින් ඔහු කිසිදු ක්‍රමවේදයක් වෙනස් නොකරන බවයි. නමුත් පවතින තත්ත්වය හොඳින් විශ්ලේෂණය කර බලා එය ඊට වඩා දියුණුූ තත්වයකට ගෙන ඒම සඳහා ඉදිරියේ දී කටයුතු සූදානම් වෙන බවත් ජයසිංහ මහතා එදින පැවසුවා.

තමන් කී ආකාරයට ම කටයුතු කළ නිසා ජයසිංහ මහතා මේ වන විට ආයතනයේ සියලු ම සේවකයින්ගේ සිත දිනා ගත් ඉතා ජනපි‍්‍රය පුද්ගලයෙක් බවට පත්වී අවසානයි. එයට හේතු වූයේ ඔහු ආයතනයේ එතෙක් පැවති යහපත් සිරිත් විරිත් අනුගමනය කරමින් ඒවාට ගරු කිරීමයි.

ආගම් භේද එපා

සෝමරත්න මහතා කිතුණු භක්තිකයෙක්. එහෙත් තම කාර්යාලයට පැමිණෙන සියලුම ආගම්වලට අයත් වන පූජ්‍ය පක්ෂයට අවශ්‍ය සේවය ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කොට තිබුණා. මේ නිසා ම සෝමරත්න මහතා සියලු දෙනා අතර ඉතා ජනපි‍්‍රය මෙන් ම සියලු දෙනාගේ ගෞරවයට ලක් වූ චරිතයක් වුණා.

ඉහත සඳහන් කළ උදාහරණවලට අනුව ‘සප්ත අපරිහානිය ධර්මයන් අපි නියෝජනය කරන ආයතන සාර්ථක ව පවත්වා ගෙන යමින්, තිරසාර ගෞරවයට ලක් වෙමින් කටයුතු කිරීමට ඉතා වැදගත් වන බව හිතට ගනිමු.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 17 අඟහරුවාදා පූ.භා. 11.44 පුර පසළොස්වක ලබා 18 බදාදා පූ.භා. 08.06 ගෙවේ.
17 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]