[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

පින් දීමේ පින මඟහැර නොගන්න

තමා විසින් යහපත් ක්‍රියාවක් සිදුකිරීමෙන් රැස් කර ගන්නා වූ පින තවත් කෙනකුට අයිති කිරීම, පින් අනුමෝදන් කිරීම යනුවෙන් හඳුන්වයි. එය ප්‍රාප්ති දාන පින්කම ලෙස ද ව්‍යවහාර කෙරේ. අතින් අත ගෙන යම් ද්‍රව්‍යයක් දීමෙන් පින් ලැබෙනවා සේ ම, සිතකින් සිතකට තරංග මඟින් සිදුකෙරෙන පින් දීමෙන් ද පිනක් අත්වන්නේ ය. මෙය සිතින් සිතා වචනයෙන් කීමෙන් සිදුකෙරෙන ක්‍රියාවකි. මා සිදු කරගත් පින අසවලාට අනුමෝදන් වේවා’යි කිව යුතු ය. එසේම එම පින් ලබන අයගේ නම් කියා අනුමෝදන් කිරීම වඩාත් උචිත වන්නේ ය. මෙසේ පින් අනුමෝදන් කිරීමේ දී පින් බලාපොරොත්තුව සිටින සත්වයින් සතුටින් ඒවා ලබා ගනී. උදාහරණයක් ලෙස කිවහොත් කුසගින්නේ සිටින කෙනකුට ආහාරයක් ලැබීමෙන් සතුටු වන්නා සේ ය. ගිනි අව්වේ පිළිස්සෙන කෙනකුට සෙවණක් ලැබුණා සේ ය. නිතර දෙවේලේ පින් අනුමෝදන් කිරීම සිදු කළත් අප රැස් කර ගත්තා වූ පිනෙන් අල්ප මාත්‍රයකුදු අඩු නොවන්නේ ය. ලොවෙහි ඇති අනිකුත් සියලු දෙයක් ම, ඇඟිලි දෙකට අල්ලා යමක් දීමෙන් හෝ එක්තරා ප්‍රමාණයක් අඩු වන්නේ ය. එසේ කලක් නොකඩවා දීමෙන් සම්පූර්ණයෙන් ම වුව ද අඩුවිය හැකි ය. පින් දීමෙන් ඊට ප්‍රතිවිරුද්ධ දෙය ම වන්නේ ය. එනම් පින් තවත් කෙනෙකුට දෙන විට ලබන පුද්ගලයාට පින් ලැබෙනවා වගේ ම දෙන පුද්ගලයාට ද පින් දෙන වාරයක් පාසා පින් වැඩි වන්නේ ය. කල්පනා කර බලන විට මේ මහා පුදුම දෙයකි. එක් පහනකින් පහන් දාහක් පත්තු කළත් පළමු පහනේ ආලෝකය අඩු නොවන්නා සේ ම සෙසු පහන් එම අවට තැබීමෙන් තව තවත් ආලෝකය වැඩි වන්නා මෙනි. චේතනාහං භික්ඛවේ කම්මං වදාමී යන බුද්ධ වචනය අනුව කර්මයක් සිදුවන්නේ නියම ලෙස සම්පූර්ණ වීමෙනි. එසේ සම්පූර්ණ වූ චේතනාවන් පහළ වන හැම මොහොතක ම කර්ම රැස් කෙරෙයි. ඒ අනුව අසවලාට පින් අනුමෝදන් කරමි... යන සිත පහළවීම පුණ්‍ය චේතනාවකි. එසේ පහළවන හැම විට ම තමාට එකතු වන්නේ පින් සිතුවිලි ය. ඒවා මානසික ව සිදුකෙරෙන පින් ලෙස පසුව සැප විපාක සඳහා හේතු වන්නේ ය. මේ අනුව පින්දීම සෙසු දන්දීමක් හා සමාන වන්නේ ය. එහෙත් වෙනත් පරිත්‍යාගයන්ට වඩා පහසුවෙන් කළ හැකි මහා පින්කමකි. වෙනත් පින්කම්වලට මෙන් මහන්සි විය යුතු නැත. වියදම් දැරිය යුතු නැත. නිදිමැරිය යුතු නැත. බොහෝ දෙනා රැස් කර ගත යුතු නැත. ඒ අනුව පින්දීමේ පින්කම ඉතා පහසුවෙන් සිදු කළ හැකි ය.


නිකිණි අව අටවක

අගෝස්තු 26 සඳුදා පූ.භා 03.42 අව අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02.23 ගෙවේ.
 26 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]