[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු දහම ජීවිතයේ සැබෑ ස්වභාවය දැකීමටයි

සම්බුදු දහම ජීවිතයේ සැබෑ ස්වභාවය දැකීමටයි

දහම ඉගෙනීමට හොඳම කාලය තරුණ අවධියයි. කුඩා කල මවුපිය ගුරුවරු ආදී වැඩිහිටියන්ගේ අවවාද ඔස්සේ හැදුණු වැඩුණු ඔබ තරුණ වයසේ දී තනිව තීරණ ගන්නවා. ඒ අනුවයි අනාගත ජීවිතය තීරණය වන්නේ. බුදු දහම ඔබට ආරාධනා කරන්නේ, ඔබ තුළ සිටින ඔබ කවුදැයි හොඳින් හඳුනාගෙන සතුටින් නිවැරැදි ව ජීවත් වන්නටයි.

වර්තමානයේ අපි මුහුණ දී සිටින්නේ ආර්ථික, දේශපාලනික හා සාමාජීය ආදී ලෙසින් ව්‍යාකූලත්වයට පත්ව ඇති තත්වයකට ය. මෙවන් පරිසරයක් තුළ කායිකවත්, මානසිකවත් පීඩාවන්ටලක්ව ඇත්තේ තරුණ පිරිසයි. තරුණ දරුවන් නිතර කතා කරන වචන පෙළක් නම් සමාජ අසාධාරණය, විරැකියාව, තරගකාරීත්වය, සුදුස්සන්නට සුදුසු තැන නොලැබීම, ජීවත්වීමට කරන අරගලය හා අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිත බව ආදියයි.

මෙවන් ව්‍යාකූල පරිසරයක් තුළ මනස සන්සුන් ව පවත්වා ගැනීමේ මඟක් තරුණ හිතකට අවශ්‍යයයි.

“ඒ මොහොතෙහි අරමුණ දැන එහි පිහිටා සිටිමින් නුවණින් මෙනෙහි කිරීම, තමා තමන්ට දක්වන හිතවත් බව සියලු දෙනා කෙරෙහි පවත්වන්නට උත්සාහ කිරීම” යන කරුණු දෙක කෙරෙහි නිතර සිත යොමු කිරීම ඉතා වටිනවා.

තමන් නිරත ක්‍රියාවෙහි සිත පවත්වා ගෙන සිහිනුවණින් විමසා බලමින් එහි යෙදීම එදිනෙදා ජීවිතය සන්සුන් ව පවත්වා ගැනීමට මහත් සේ උපකාරී වෙනවා. “මම දන්නේ නැහැ මට මොනව වෙලා ද කියා. සිතට කිසිම සැනසිල්ලක් නැහැ.” තමන්ට තමන්ගේ සිත පාලනයක් නැති තැන තමන්ට මහත් පීඩාවක් දැනෙනවා. එවැනි අයගේ මෙවැනි ප්‍රකාශ ඔබ කොතෙකුත් අසා ඇති. පාලනයක් ඇති සිත නිශ්චල ගැඹුරු ජලාශයක් වගෙයි. ශාන්තයි. එවන් සිතක් තුළ බොහෝ තරුණ දරුවන් පවසන පාළුව, තනිකම, කාංසිය හා කැළඹුණු බව අඩුයි.

තමන්ගේ සිත සන්සුන් කර ගැනීමට ඇති හොඳම මඟක් ආනාපානසති භාවනාව. නිතර “ආනාපාන සතිය වඩන්නට පුරුදු පුහුණු වීම ඉතාමත් වටිනවා. එය දවසකට කීප වතාවක් සන්සුන් ව කළ හැකි නම් මහත් සැහැල්ලුවක් සිතට දැනෙනවා. ඔබ පාසලේ, කාර්යාලයේ, නිවසේ ආදී ලෙසින් කොහේ සිටියත් අඩුම වශයෙන් මිනිත්තුවක් හෝ දෙකක කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්න. එනම් දීර්ඝ ව ආශ්වාස කරන විට දීර්ඝව ආශ්වාස කරමි'යි. සිහිනුවණින් සිදු කරන්න. ප්‍රශ්වාස කරන විට ද එසේ සිහිණුවණින් සිහි කරන්න. එවිට පඤ්ච ඉන්ද්‍රියයන්ගේ අරමුණු ගනිමින් ඒවා සමඟ පොරබදිමින් මහත් සේ වෙහෙසටත්, පීඩාවටත් පත්ව සිටින සිතට විවේකයක් ලැබෙනවා.

විවිධ අරමුණු අල්ලා ගනිමින්, ඒවාට කැමැතියි කියමින් ආශාව, බලාපොරොත්තු, රාගය ආදියෙන් ද, අරමුණුවලට අකමැතියි සිතමින්, තරහව, වෛරය, පලිගැනීම හා ළතැවීම් ආදියෙන් ද නිමාවක් නැති ව වෙහෙසෙන සිත සන්සුන් වෙනවා. විවිධ අරමුණුවල හැලහැප්පීමකින් තොර ව එක අරමුණක සිත පවත්වා ගැනීමට මේ භාවනා ක්‍රමය මහත් සේ පිහිට වෙනවා. අධ්‍යාපනය සම්බන්ධ ව, රැකියාව හෝ නිවසෙහි යම් ගැටලු අවස්ථාවන් නිසා, සිත කලබල වේ යැයි දැනේ නම්, සන්සුන් ව ආනාපාන සතිය වඩන්න. සිත සන්සුන් වී ඔබට “පහසුවක්” දැනෙයි. එවන් අවස්ථාවේ දී ගැටලු දෙස බලන්න. සන්සුන් මනසින් නිරවුල් තීරණ ගැනීමට හැකි වේවි. තරහව, අමනාපය, ආශාව වැනි සිතිවිලි සමඟ ගන්නා බොහෝ තීරණ, තම සිත පමණක් නොව තමන්ගේත් තමන් වටා සිටින අයගේත් ජීවිතවලට පවා හානි ගෙන දෙන්නට පුළුවන්.

කැමැති යමක් නොලැබීම නිසා හෝ අකැමැති යමකට මුහුණ පෑම නිසා හෝ ඇතිවන අප්‍රසන්න අරමුණූ දිගින් දිගට ම සිතින් අල්ලාගෙන වේදනාවන් විඳීමට වඩා ඒවා අත්හරින්න පුරුදු වෙන්න. තරහව, අමනාපය, බලාපොරොත්තු කඩවීම හෝ පි‍්‍රය විප්‍රයෝගය වැනි පීඩාකාරී සිතිවිල්ලක් පහළ වූ විට එම සිතිවිල්ල ස්ථිර ව නොපවතින බවත්, එය නොපෙනී සිතින් ඉවත් ව යන බවත් දකින්නට සිත පුරුදු කරන්න. මෙලොව වශයෙන් සියලු පණ ඇති හෝ පණ නැති හෝ වස්තූන් මෙන් ම සිතිවිලි ද අනිත්‍ය බව දකින්නට කල් ඇතිව සිත පුරුදු කිරීම නිසා ගැටලු පැමිණෙන විට පුරුදු කරන ලද සිත ක්‍රියාත්මක වෙනවා. තරුණ සිතේ “හයිය” ජීවිතයේ සැබෑ මනුෂ්‍යකම මතු කරමින් ප්‍රබෝධමත් ව ජීවත්වන්නට යොමු වෙන්න.

කලබලකාරී ජීවන රටාවක් තුළ, තරගකාරී සමාජ වටපිටාවක් සමඟ ජීවත්වීමේ දී සන්සුන් මනසකට “සතිය” මහත් සේ ප්‍රයෝජනවත් වෙනවා. එසේ ම මෛත්‍රිය ද ජීවිතය සතුටින් හා ප්‍රබෝධවත් ව පවත්වා ගැනීමට මහත් සේ උපකාරී වෙනවා. අමනාපය, තරහව, ඊර්ෂ්‍යාව, සැකය හා අවිශ්වාසය දුරු කර ගැනීමට ඇති උතුම් ඖෂධයක් නම් මෛත්‍රී සිතක් පුරුදු කිරීමයි.

සමහර තරුණ දරුවන් ඉතාම ආවේගකාරීයි. සමහරු පුංචි දේටත් කේන්ති ගන්නවා. තවත් සමහරුන්ට තමන්ගේ ම වටිනා ජීවිතය පිළිබඳ අවබෝධයක් නෑ. තවත් අය මවුපිය ගුරුවරු, වැඩිහිටියන් කිසිවකුටත් ගරු කරන්නේ නෑ. දඩබ්බරයි. තවත් සමහර කෙනෙක් ඉහළ ඉගෙනීමක්, රැකියාවක් ලැබෙන විට තමන් සියල්ල දන්නවා'යි සිතමින් කිසිවකුත් පවසන යමක් අසන්නට අකැමැති හිස් මාන්නයක් ඇතිකර ගන්නවා. මේ කුමන තරාතිරමක පුද්ගලයකුට වුව ද මෛත්‍රිය වඩන්නට පුරුදුවීම මහත් වූ මානසික සුවයක් බව දැනෙනු ඇති.

සමහර තරුණ දරුවන් “භාවනා” යැයි වචනය ඇසූ සැනින්, අපට ඕවට වේලාවක් නැතැයි කියන්නට තරම් ඉක්මන් වෙනවා. කලබලකාරී පරිසරයක දී පමණක් නොවෙයි. දවසේ සියලු අවස්ථාවන්හි දී ම මෛත්‍රී සිතිවිලි මත පිහිටා සිතන්නට, ඒ සිතින් ක්‍රියා කරන්නට, පුරුද්දක් ඇති කර ගන්න. ඒ සඳහා පුහුණු වන්න. දවස ආරම්භයේ දී ම, සුබ සිතිවිල්ලකින් දවස අරඹන්න. එවැනි සිතිවිලි ඇති කර ගැනීමට උත්සාහ කිරීම පළමු පියවරයි. මම සුව සේ වෙසෙම්වා,” “මට සුබ දවසක් වේවා”, කොපමණ වැඩ හා සිතේ කරදර තිබුණත්, ඒවා ගැන දුක් වීමෙන් සිදුවන්නේ, මානසික ගැටලුව තව තවත් වැඩිවීමක් මිස අඩුවීමක් නම් නොවෙයි.

මේ නිසා සිත සන්සුන් කර ගෙන දවස ආරම්භ කිරීමෙන් දවස හොඳින් පවත්වා ගන්නටත්, ඇති කරදර ගැන නිරවුල් මනසකින් බලා නුවණින් කටයුතු කිරීමටත් අවස්ථාව ලැබෙනවා. ආරම්භයක් ලෙසින් දවසකට මිනිත්තු කීපයක් මෙසේ පුරුදු කරන්න. "මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් විපත් නැත්තෙක් වෙම්වා, සුව සේ වෙසෙම්වා. මේ ලෙසින් මවුපිය, ගුරුවරු, හිතවන්ත හා සියලු දෙනා කෙරහි ම මෛත්‍රී සිත පතුරුවන්න". තමන් හඳුනන්නේ නැති කෙනකුට හා සියලු දෙනාට හොඳක් වේවා'යි සිතන්නේ ඇයි දැයි ඔබ සිතන්නට පුළුවනි. අපි සියලු දෙනා මේ ලෝකයේ, රටේ, ගම තුළ එකිනෙකා හඳුනන්නේ නැති නමුත් අප සියලු දෙනා ජීවත්වන්නේ සියලු දෙනාගේ ම සහයෝගයෙන් බව ඔබට සිතන්නට පුළුවනි. උදාහරණයක් ලෙස ගමේ පාන් බේකරිය දින කීපයක් වසා තැබුවොත්, ගමේ වැඩි පිරිසක් කරදරයට පත්වෙනවා. මෙයින් ඔබට වැටහෙනවා නේද කරදරවලින් නිදහස් ව ජීවත්වීමට හැම දෙනාගේ ම සහයෝගය අවශ්‍ය බව. මනුෂ්‍යයන් වන අපට පමණක් නොවෙයි, තිරිසන් සත්වයන්ට පවා කරුණා මෛත්‍රිය පැතිරූ බුදුරදුන්ගේ මඟ අපිත් ගමන් කරමු. “ආත්මාර්ථකාමීත්වය” ක්‍රමයෙන් අඩුකොට දැඩි තෘෂ්ණාව, අමනාපය ආදී සිත රිදවන හැඟීම්වලින් සිත නිදහස් කර ගැනීමට උත්සාහ ගැනීම බුදුරදුන් වදාළ සද්ධර්මයයි.

තරුණ ජීවිත සැබෑවට ම තරුණ විය යුතු යි. ජීවිතය දෙස යථාවබෝධයෙන් බලා තරුණකමින් ප්‍රයෝජන ගත යුතුයි. ලෞකික ජීවිතයේ පී‍්‍රතිවන්ත බව පිණිස නුවණින් විමසා කටයුතු කරමින් නිසි අධ්‍යාපනයක් ලැබීමටත්, ධාර්මික ව ධනයක් සොයා ගැනීමටත් උත්සාහවත් වීම යහපත්. මනා චිත්ත සංයමයකින් කටයුතු කිරීමෙන්, චරිතය නොමගට ඇදී යෑමෙන් වළක්වා ගත හැකියි. කල්‍යාණ මිත්‍ර සේවනය ඉතාම වැදගත්. බොහෝ දෙනාගේ චරිත සංවර්ධනයට හිත මිතුරු ආශ්‍රය බෙහෙවින් උපකාරී වෙනවා.

බුදු දහමේ උගන්වන අවවාදය “අත්ත දීපා විහරථ අත්ත සරණ අනඤ්ඤ සරණ” තමා තමාට පහනක් වන්න. තමාට මෙන් ම අන්‍යයන්ටත් පිහිටක් වෙන්න. දහමට ළං වූ තාරුණ්‍ය හරිම අලංකාරයි.

නිකිණි අව අටවක

අගෝස්තු 26 සඳුදා පූ.භා 03.42 අව අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02.23 ගෙවේ.
 26 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]