නිකිණි අව අටවක පෝ දා
2024-08-26
ධර්මචාරී වීමට වීර්යය වඩමු
බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ වෙසෙන සමයේ ඡත්තපාණී නම් උපාසකයෙක් විය. හේ සැවැත්
නුවර විසූ උපාසක උපාසිකාවන් අතර ඉතා උසස් ය. ධර්මයෙහි හැසිරෙන්නේ ය. තුන්පිටකය මනාව
දන්නේ ය. ඇසූ දහම් අනුන්ට කියාදීමෙහි ද, දහම් ගැටලු විසඳීමෙහි ද සමත් ය. දිනක් මේ
උපාසක තථාගතයන් වහන්සේ වෙත එළඹි මොහොතක කොසොල් මහ රජු ද එහි ආවේ ය. බුදුරජාණන්
වහන්සේට වැඳ එකත්පස්ව සිටියේ ය.
රජ කෙනෙක් දුටු විගස ජනතාව ඔහුට ගෞරව දැක්වීම එකල සිරිතෙකි. බුදුරදුන් සමීපයේ සිටි
ඡත්තපාණී උපාසක ද රජු දුටුවේ ය. ඔහුට මෙවැනි සිතිවිලි ඇති විය.
"මාගේ බුදුපියාණන් වහන්සේ තුන්ලොවට ම උතුම් වන සේක. රජු නම් මේ පෙදෙසට උතුම් වන්නේ
ය. තථාගතයන් වහන්සේ ඉදිරියේ මා රජුට ගරු කොට නැඟී සිටියේ නම් එය තුන්ලොවට උතුම් වූ
බුදුරදුන්ට කරන නොසැලකීමකි"ලෙසිනි. ඒ අනුව ඔහු නිසොල්මන් ව හුන්නේ ය. මේ දුටු රජු
උපාසක ගැන නොමනාප වූයේ ය.
බුදුරජාණන් වහන්සේ රජුගේ සිතිවිලි දුටු සේක. උපාසකට රජුගෙන් වරදක් වූයේ නම් රජුට ද
අනර්ථ වේ යැයි සිතා රජු ඉදිරියේ ඡත්තපාණී උපාසකගේ ගුණ පැවසූ සේක. “රජතුමනි මේ උපාසක
තෙමේ ධර්මධර ය. නුවණින් මහත් ය. අනාගාමී ය. නිවනට නිසි ව සිටින්නේ යැ"යි දේශනා කළ
සේක.
බුදු මුවින් දේශිත ඒ උසස් ගුණ අසා රජුගේ නොමනාපය දුරු විය. දිනක් මඟ යන උපාසක දුටු
රජතුමා ඔහු සිය මාලිගයට කැඳවී ය. ඔහු ද ඉතා යටහත් ගති පාමින් ගරු බුහුමන් ඇති ව රජු
ඉදිරියේ විය. මේ දුටු රජු පුදුම ව එදා ගරු නොකරන්නටත්, මෙදා ගරු කරන්නටත් හේතු ඇසී
ය. උපාසක පවසන්නේ තුන්ලොවට අග්‍ර වූ බුදුපියාණන් ඉදිරියේ සිටින නිසා එසේ නොකළ බව ය.
මාලිගයෙහි බිසෝවරුන් ඇතුළු පිරිසට බණ දෙසන ලෙස උපාසකට ඇරයුම් ලැබුණි. එහෙත් තමන් ඊට
සුදුසු නොවන බවත්, සංඝයා වහන්සේ ම සුදුසු බවත් උපාසක පැවැසීය. ඒ බව බුදුරදුන්ට
සැලකොට ධර්මය දේශනා කරනු සඳහා අනඳ මහ තෙරුන් වහන්සේ රාජ මාලිගයට වැඩමවා ගත්හ.
දහම් දෙසූ අනඳ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සැලකොට සිටියේ මල්ලිකා දේවිය සකස්
කොට බණ ඇසූ සැටි සහ වාසභ ඛත්තියා දෙවිය සකස් කොට බණ නොඇසූ සැටි ය.
එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නො සකස් ව දහම් අසන අයට ඒ දහමෙන් වැඩක්
නැති බවත්, සුවඳ නැති මල් පළඳනාවක් මෙන් නිසරු බවත් ය.
එදා මෙන් අද ද බොහෝ දෙනා දහම් අසති. විශේෂයෙන් වස් කාලයේ ගමින් ගම වෙහෙරක් වෙහෙරක්
පාසා ධර්ම දේශනාමය පින්කම් සංවිධානය කෙරේ. බොදු උවසු උවැසියෝ දහස් ගණනින් ධර්ම
දේශනා ශ්‍රවණය කිරීමට වෙහෙරබිමට රැස්වෙති. විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද නිරන්තරයෙන්
ධර්ම දේශනා ප්‍රචාරය කෙරේ. ඒ දහම් දෙසුම් ශ්‍රවණය කරන තරමට දහමට අනුගත වන ප්‍රමාණය
අවම බව ඇතැම් විටෙක පෙනෙන්නට තිබේ. ඒ විවිධ පුද්ගල චර්යාවන් තුළ ප්‍රදර්ශනය වන
අදහැම්කම් දැකීමෙනි. කය, වචනය පවා සංවර කර ගත නොහැකි ව සමහරු තමන්ට ම අනර්ථ කර
ගනිමින් සමාජයට ද පිළිල වන අයුරු දෘෂ්‍යමාන ය. ඒ, දහම දැන ඉගෙන ගත්ත ද ඒ අනුව
නොපිළිපැදීම නිසා ය. බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ සිත්කලු වුව ද, මනා පැහැ
ඇති වුව ද සුවඳ නැති මල් පැළඳුමක් මෙන් නොපිළිපදින ධර්මය නිසරු වන බව ය. මොනතරම්
සිත් ගත්ත ද, වර්ණවත් වුව ද සුවඳ නැති මලෙහි අගයක් නොවේ. අපි එ මල් බුදුපුදට
නොගනිමු. ඒ නිදර්ශන දැන, අසන ධර්මය හොඳින් ග්‍රහණය කොට ජීවිතයට සම්බන්ධ කර ගන්නට
වීර්යය වඩමු. ධර්මයෙහි රැකවරණය ලැබෙනුයේ ධර්මයෙහි හැසිරෙන පුද්ගලයාට පමණි. |