[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දැවෙන තැවෙන සිත් නිවී පහන් වන ඓතිහාසික කන්දේ විහාරය

දැවෙන තැවෙන සිත් නිවී පහන් වන ඓතිහාසික කන්දේ විහාරය

කළුතර බේරුවල මනරම් කඳු ගැටයක පිහිටි ඓතිහාසික කන්දේ විහාර පින්බිම.

ඓතිහාසික ගලපාත රාජමහා විහාරස්ථානය මූලස්ථානය කර කන්ද උඩරට රාජසිංහ රජසමයේ ඉදිවූවකි. ඒ වර්ෂ 1734 දී පමණ බව ඉතිහාසයේ සඳහන් වෙයි.

ඓතිහාසික කන්ද විහාරයේ වැඩ සිට අපවත් වී වදාළ උඩුගම චන්ද්‍රසාර නාහිමියෝ ආරම්භක විහාරාධිපති හිමියන් ය. පසුව උන්වහන්සේගේ ශිෂ්‍ය කරපාගල දේවමිත්ත නාහිමියන් කන්දෙ විහාරස්ථානයේ මූලික පසුබිම ගොඩනඟා තිබේ. උන්වහන්සේගෙන් පසුව බෙන්තර සෝනුත්තර, මහගොඩ ධම්මදස්සි, මාලේවන සුමන, මාලේවන සීලවංශ, පින්නගොඩ අත්තදස්සි, පොතුවිල සරණංකර, හීනටියන්ගල ජිනාරාම, සහ වසර කීපයකට ඉහත අපවත් වී වදාළ බටුවන්හේනේ බුද්ධරක්ඛිත යන නාහිමිවරුන් එදා මෙදා තුර ඓතිහාසික කන්දෙ විහාරයේ සංවර්ධනය වෙනුවෙන් ඉමහත් සේවයක් කර ඇති යතිවරයාණන් වහන්සේ වූහ.


ඓතිහාසික කන්දේ විහාරාධිපති කොක්කාවිට විපුලසාර නාහිමි

වර්තමාන කන්දේ විහාරාධිපති හා අමෙරිකාවේ ප්ලොරිඩා බෞද්ධ මධ්‍යස්ථාන උභය විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කය හා බෙන්තරවළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක කොක්කාවිට විපුලසාර නාහිමියන් විහාරාධිපති ධුරය හොබවමින් අභිනව සංවර්ධන රැසක් සිදුකළ යතිවරයාණන් වහන්සේ ද වෙයි. දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ ජනතාවට ප්‍රිය උපදවන, සැදැහැවතුන්ගේ සිත් ඇදගන්නා අයුරින් සිදුකළ විහාර කර්මාන්තය මනරම් ය. විහාරයට පිවිසෙන ප්‍රධාන මාර්ගය දෙපස නුවර පෙරහර සහ ජාතක කතා මනරම් ව මූර්තිමත් කර තිබේ. අභිනව බුද්ධ මන්දිරය , බුදු පිළිම වහන්සේ වටා නිර්මාණය කර තිබෙන රන්වැට ආරක්ෂාවට සුවිශේෂී වීදුරු ආවරණයක් ද වේ. සඳකඩ පහණ, බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට සුවිසල් තෙමහල් තොරණ දුර්ලභ ගණයේ නිර්මාණ ය. අභිනව බුද්ධ මන්දිරය දෙපස මනරම් ව නිමවූ සිංහ රූප හා සැරියුත් මුගලන් පිළිම වහන්සේ මහත් වටිනාකමක් ගෙනෙයි.

මෙම බුදු පිළිම වහන්සේ ඉදිකිරීමේ පුරෝගාමීත්වය දැරූ යතිවරයාණන් වහන්සේ දෙනම වන අපවත් වී වදාළ බටුවන්හේනේ බුද්ධරක්ඛිත හිමි සහ යටදොළවත්තේ අරියවංශ යන හිමිවරු දෙනමගේ අනුරුව දෙකක් ද ඉදිකර තැන්පත්කර තිබීම උන්වහන්සේ දෙනමටත් කරන මහා ගෞරවයකි.

වත්මන් කන්දේ විහාරාධිපති නාහිමියන් වහන්සේගේ නිර්මාණ සහ සිතිවිලි මතින් මෙම සියලු සංවර්ධන කටයුතු සිදු කළ බව ද සිහිකළ යුතු ය. අනුශාසනා ගනු ලැබුවේ කොළඹ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ලේඛන ශූරි අරම ධම්ම තිලක නාහිමියන්ගෙනි.

වසර කිහිපයකට ඉහත දී අපවත් වී වදාළ කන්දේ විහාරාධිපති බටුවන්හේනේ බුද්ධරක්ඛිත සහ ක්ෂේත්‍රාරාම පරිවේණාධිපති යටදොළවත්තේ අරියවංශ යන හිමිවරුන් මූලික වී භූමි ස්පර්ශ මුද්‍රාවෙන් ඉදිකළ රියන් 107 ක් උසැති ආසියාවේ විශාලතම හිඳි බුදු පිළිම වහන්සේ නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ භාරදූර වගකීම වත්මන් විහාරාධිපති නාහිමියන් රුපියල් කෝටි 11ක් පමණ වන බරපැනක් වියහියදමින් සිදු කිරීමට කටයුතු කර වසර එකහමාරක් වැනි කාලයක දී එහි වැඩ කටයුතු අවසන් කිරීමට සමත් විය. සම්පූර්ණ ඉංජිනේරු තාක්ෂණය හා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දී තිබිණ.

ඓතිහාසික කන්දෙවිහාරයේ රන් ආලේපිත මෙම මනරම් බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ බුද්ධ මන්දිරය ඇතුළු විහාරාරාංගයන් මෙම 19 වැනි දින පස්වරුවේ මහා විහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය නියංගොඩ විජිත සිරි අනු නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සිදු කෙරිණි.

මෙම උතුම් පින්කමට පුණ්‍යාධාර ලබා දී දායකත්වය දැක්වූ බැතිමතුන් විශාල පිරිසක් ද වෙති.

මෙම පින්බර අවස්ථාවට වැඩම කළ ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු ගිහි පින්වතුන්, සැදැහැවතුන් උදෙසා පොසොන් පොහෝ දින, බුදු සරණ, පුවත්පත බෙදාදීමේ දායකත්වය බෙන්තොට ව්‍යාපාරික ගයාන් සිරිමාන්න මහතා විසින් දරන ලදී.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 21 සිකුරාදා පූ.භා. 07.32 පුර පසළොස්වක ලබා 22 සෙනසුරාදා පූ.භා. 06.38 ගෙවේ.
21 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]