අසිරිමත් දේශයක ඇරඹුම
මාදෝවිට වජිරබුද්ධි හිමි
ත්‍රිවිධ රත්නය ලක්වැසියන්ට හදුන්වාදීම, නිර්වාණ මාර්ගය පහදා දීම, ජීව , අජීව
පරිසරයේ නියමු සාධකය වටහා දීම,පින් පව් කුසල් අකුසල් පහදා දී සව් ලෝ සතුන්ට මෙත්තා,
කරුණා, මුදිතා , උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ තුළින් ඉස්මතු වන ශාන්ත රසය බෙදා දීම
මිහිඳු සංස්කෘතියේ පැහැදිලි සාධක විය.
ධර්මදේශනා මාලාවක් ඔස්සේ දන මන පුබුදුකළ මිහිදු මහරහතන් වහන්සේ බුද්ධිමත් මෙන් ම
බුද්ධි හීන ජනතාව ද එකසේ ආමන්ත්‍රණය කළ සේක. මජ්ඣිම නිකායේ චුල්ලහත්ථීලදෝපම සූත්‍රය
මිහිදු මාහිමි විසින් පළමු කොට දේවානම් පියතිස්ස රජදරුවන් ප්‍රමුඛ පිරිසට කරන ලද
ප්‍රථම ධර්ම දේශනාව වේ.
මෙම ධර්මය ශ්‍රවණය කළ හතළිස් දහසක් ජනතාවට ධර්මාභීසමය වූ බව මහා වංශයේ සදහන් වේ.
ත්‍රිවිධ රත්නය හඳුන්වා දීමත් බුද්ධ, ධම්ම, සංඝ යන එකී ත්‍රිවිධ රත්නය සතු සූවිසි
ගුණ සමුදාය පෙන්වා දීමත්, ත්‍රිවිධ රත්නය සරණ යාමට වඩා වෙනත් සරණක් නොමැති බව
පෙන්වා දීමත් මෙහි අභිප්‍රාය විය.
කුඩා ඇතකුගේ පියසටහන් තුලට ඕනෑම සත්ත්ව පාද සටහනක් ඇතුළත් වන්නා සේ, ත්‍රිවිධ රත්නය
සතු සූවිසි මහ ගුණ සමුදාය අතික්‍රමණය කළ හැකි වෙනත් බලවේගයක් නොමැති බව පෙන්වා දී
දේවානම් පියතිස්ස රජදරුවන් පුමුඛ පිරිස ලක්දිව ප්‍රථම උපාසක උපාසිකා පිරිස බවට පත්
කිරීම එම ධර්ම දේශනාවේ අභිප්‍රාය විය.එම සංකල්පය එලෙසම ඉෂ්ට විය.
ඉන්පසු අනුබුදු මිහිදු මාහිමියන් අපේක්ෂා කළේ මිනිස් සන්තානය මිත්‍යා සිතුවිලිවලින්
වළක්වා යහපත් සාධූ ජනක සිතුවිලිවලින් පූර්ණය කරවීමට ය. පාපකාරී සිතුවිලිවල අයහපත්
ආදීනව පෙන්වා දෙන අතර යහපත් පිවිතුරු සිතුවිලිවල ආනිශංස පෙන්වා දීම පිණිස සමචිත්ත
පරියාය සූත්‍ර ධර්මය දේශනා කළ සේක.මෙම ධර්ම දේශනාවල යහපත් ප්‍රතිඵල සමාජයට දායාද
කිරීමට නම් සමාජය තුළ ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික විප්ලවයක් සිදුවිය යුතු බව
මිහිදු හිමියෝ පසක් කර ගත්හ. සංඝමිත්තා තෙරණියගේ ආගමනය යහපත් ලෙස සැලසුම් වූයේ ඒ
අනුව ය.
ඒ අනුව ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කළ අතර, එය එදා අනුරාධපුර ජනතාව
මෙන් ම ලක්වැසි ජනතාව දුටුවේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමක් ලෙස ය.
සංඝමිත්තා තෙරණීය සමඟ දෙසියපනහක් වූ පිරිසක් ද, ලක්දිවට පැමිණි අතර ශ්‍රී මහා
බෝධියට උවටැන් කරන “ බෝධහාරක කුල ” වශයෙන් පැමිණි මෙම පිරිස අතර විවිධ කර්මාන්ත
නිපුනයන් පැමිණීම සංස්කෘතික සහ සාමාජික විපර්යාසයක් බවට පත්විය.
මෙම පිරිස පැමිණෙන විට මිහිදු මහ රහතන් වහන්සේ ජනතාවගේ චිත්ත සන්තානය ප්‍රබුද්ධ
මානසික මට්ටමකට පත්කර හමාර ය.
බාල පණ්ඩිත සූත්‍රයෙන් සිත කය වචන යන තිදොර ඔස්සේ අයහපත් වැඩ කරන කම්මැලි උදාසීන
පුද්ගලයා බාලයකු බව පෙන්වා දුන් මිහිදු මහ රහතන් වහන්සේ පණ්ඩිතයාගේ ලක්ෂණ ජනතාවට
පෙන්වා දෙමින් යහපත් වැඩ කරන, යහපත් සිතුවිලි සිතන, ධෛර්යවන්ත උදාර පුරුෂයා සමාජය
තුළ බැබළෙන ආකාරය පෙන්වා දුන්හ.
සංඝමිත්තා තෙරණිය සමග පැමිණි කර්මාන්ත නිපුණ පිරිස් ආශ්‍රය කරමින් තම ආර්ථීක
සමෘද්ධිය උදාකර ගැනීමට ලාංකික ජනතාව පෙළඹුණේ මෙවැනි ධර්ම දේශනාවල ප්‍රතිඵල
නිසාවෙනි. රන්රිදී, මුතුමැණික්, කුඹල්, පේෂකර්ම, උද්‍යාන, ගෘහ උපකරණ, මල් ලියකම්,
සම්වැඩ ආදී කර්මාන්ත රුසක නිපුණයෝ ලාංකික ජනතාව සමඟ සම්මිශ්‍රණය වූහ. ලාංකික ජනතාව
කෘෂිකර්මය පදනම් කොටගත් ජීවන රටාවකට යොමු වූහ. මෙසේ ශ්‍රී ලාංකික ජනතාව ආර්ථීක,
සාමාජික සමෘද්ධිමත් බව දායාද කර ගනිද්දී කිසිවෙකුත් බුදු සමයට හෝ එහි ඉගැන්වීම්වලට
විරුද්ධ නොවීම විශේෂත්වයකි.
පණ්ඩුල බ්‍රාහ්මණයා වැනි සංස්කෘත උගත් බ්‍රාහ්මණීක පවුල් විශාල සංඛ්‍යාවක් රජරට අවට
ජීවත් වූ අතර, ඔවුන් සියල්ලෝ ම බුදු දහමට අනුගත වූහ. |