ජාතක කතා
සජීවි අත්දැකීමක් කර ගන්න
අභියෝග ඉදිරියේ
නොසැලීමේ ශක්තිය එතැන තිබෙනවා
දීපාල් සූරියආරච්චි
ජීවිතයේ හැලහැප්පීම්, ප්‍රශ්න, ගැටලු හමුවේ නොසැලී මුහුණ දෙන්නට ජීවිත පරිඥානය
අතිශයින් වැදගත්. කියවීම, බහුශ්‍රැත බව මෙහිදී සුවිශේෂයි. බෞද්ධ සාහිත්‍යයේ
විශිෂ්ටතම කියවීම ලෙස සම්භාවිත ජාතක කතා පොත් වහන්සේගේ වටිනාකම මෙහිලා මිල කළ
නොහැකියි. ජීවිතය ඉදිරියේ ජාතක කතාපොත සජීවි අත්දැකීමක් බවට පත් කර ගැනීමෙහිලා
පරිශීලනය කළ හැකි ‘ජාතක විදසුන’ ඉතා පහසු මාර්ගෝපදේශකයෙක්. මේ ඒ පිළිබඳ කර්තෘ
දීපාල් සූරියආරච්චි මහතා සමඟ කළ සාකච්ඡාවකි
ජාතක කතා පොත් වහන්සේට පිවිසුම් අත්වැලක් ලෙසින් "ජාතක විදසුන" පාඨකයා අතට
පත්කිරීමේ වෑයම තුළ ඔබ බලාපොරොත්තු වූයේ කුමක්ද?
අපි එදිනෙදා ජීවිතයේ දි මුහුණ දෙන ප්‍රශ්න, ගැටලු, අභියෝග අලුත් සේ අපට දැනෙනවා.
ඒත් ඒවා අලුත් නෑ. සමහර විට ඉදිරිපත් වන ආකාරය, සන්දර්භය වෙනස් වෙන්න පුළුවන්.
එහෙත් මූලික හේතූන් වෙනස් වන්නේ නෑ.
අප මේ තරම් සංකීර්ණ නොවූ කාලයේ සමාජයේ කියැවුණේ හය හතර දැන ගත්ත නම් ඇති කියලයි.
පවට ලජ්ජාව සහ විපාකයට බිය අප හඳුනාගෙන තිබුණේ ලෝක පාලක ධර්ම ලෙසයි. මහා ගැඹුරු
ධර්ම කරුණු ගිහියන් අතර කතාබහ නොවුණාට ඔවුන් ජීවිතය ගැන නුවණින් බලන්නට, සැනසීමෙන්
සිටින්නට උපකාර කර ගෙන තිබුණේ ජාතක කතායි. එහෙමත් නැතිනම් අනෙකුත් අටුවා කතායි.
තොරතුරු තාක්ෂණයේ වර්ධනය, විශේෂයෙන් ම ගූගල් වැනි සෙවුම් නිසා අද දැනුම අවශ්‍යවිට
ලබා ගැනීම සාමාන්‍ය වී තිබෙනවා. මෙය ඉංගී‍්‍රසියෙන් කිව්වොත්
In case වෙනුවට Just in Time ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ අනුව අවශ්‍ය වෙලාවට, අවශ්‍ය ජාතක කතාව හොයා ගන්න
ක්‍රමයකට මේ කතා ගොනු කරන්න පුළුවන් නම් කියා මට සිතුණා.
අද හාවර්ඩ් වැනි විශ්වවිද්‍යාලවල පටන් ලොව පුරා උසස් අධ්‍යාපන ආයතනවල ඉගැන්වීමේ
ක්‍රමයක් තමා කේස් ස්ටඩ් (case study). නැතිනම් කිසියම් සිද්ධියක්, කතාන්දරයක්
ආශ්‍රයෙන් මූලධර්ම පැහැදිලි කිරීම, එහෙම බලන කොට ඒ ක්‍රමයට තියෙන හොඳම උදාහරණය තමයි
ජාතක කතා.
මට පුළුවන් වුණා සියලුම ජාතක කතා ජීවිත සංසිද්ධි හා එවන් තේමාවන් 16කට ගොනු කරන්න.
ඒ ඒ තේමාව යටතේ එක් එක් ජාතක කතාව කවර අවස්ථාවකට වඩාත් ගැලපේ ද කියා සූචියක්
පිළියෙළ කළා.
අනතුරුව එම ජාතක කතාවේ මා හඳුනාගත් මූලික පාඩම සරල වැකි කිහිපයකින් පෙළගැස්වූවා.
නමුත් මේ, කතාවල සාරාංශය නොවෙයි. පාඨකයා අදාළ ජාතක කතාව වෙනම ම පරිශීලනය කළ යුතුයි.
මෙය සුචියක්, යතුරක්, නැතිනම් උපකාරක ග්‍රන්ථයක් හෝ කෝෂ ග්‍රන්ථයක් ලෙස හඳුන්වා
දෙන්න පුළුවන්.
ජාතක පොතෙහි සදාචාරාත්මක හා සංස්කෘතික වටිනාකම්, හරපද්ධතීන් පුද්ගල ජීවිතයේ
සාර්ථකත්වයට උපයෝගී කර ගැනීමේ හැකියාව කෙබඳු ද?
ජාතක කතා සර්වකාලීනයි. ගැඹුරෙන් පරීක්ෂා කරන කොට මෙම ජාතක කතා අසන්නා ඇද බැඳ තබා
ගන්නටත්, ගැඹුරු සාකච්ඡාවකට පොළඹවන්නත්, අනතුරුව ඒ තුළින් වඩාත් ඉහළ ජීවිත අවබෝධයකට
මඟ පෙන්වන්නත් සමත් බව පැහැදිලි වෙනවා.
බොහෝ කතාවලින් මිනිස් සන්තානය ක්‍රියා කරන ආකාරය ඉතා සියුම් ව විග්‍රහ කරනවා. සමහර
කතාවල ඒ යුගයේ සමාජ විශ්වාසයන් සහ අගය කිරීම් ගැබ්ව තිබෙනවා. උදාහරණයක් ලෙස බොහෝ
තැන්වල කාන්තාවගේ චපලත්වය සඳහන් වුවත් පිරිමින් ගැන එලෙස සඳහන් නොවීම දක්නට
පුළුවන්. නමුත් කාන්තාවන් ඉතා උපක්‍රමශීලී ව අභියෝග ජයගත් අවස්ථා ද දකින්නට
පුළුවන්. වැදගත් වන්නේ ඒ ඒ චරිත හසුරුවා ඇති ආකාරය ඔස්සේ මානව චර්යාවන්ට අවශ්‍ය මඟ
පෙන්වීම් ලබා ගැනීමයි.
සරල උදාහරණයක් ගනිමු. අද ඇබ්බැහිවීම් විශාල අභියෝගයක්. විවිධ මත්ද්‍රව්‍යවල පටන්,
අන්තර්ජාල ක්‍රියාකාරකම් දක්වා ඇබ්බැහිවීම අපට දකින්නට ලැබෙනවා.
වාතමිග ජාතක කතාවේ මුවා අල්ලා ගන්නට යොදා තිබෙන්නේ මී පැණි රසයට ඇබ්බැහි කර
ගැනීමෙන්. මෙම සිදුවීම ඇබ්බැහිවීම, පෙළඹවීම, ආරක්ෂාවීම, වළක්වා ගැනීම, අපරික්ෂාකාරි
වීම වැනි මාතෘකා ගණනාවක් පිළිබඳ අපගේ අවධානය යොමු කරවනවා.
ජාතක කතා තුළින් මිනිස් සිත හා ක්‍රියාකාරකම් පිළිබඳ කෙරෙන විග්‍රහය සර්වකාලීන
සමාජය ම නියෝජනය කරනවාද?
ඇත්තෙන් ම ඔව්. බොහෝ ජාතක කතා මිනිස් සිත් සතන් හැසිරෙන ආකාරය උගන්වනවා.
තවත් විටෙක ජීවිතයේ හැලහැප්පීම්වලට මුහුණ දෙන හැටි හඳුන්වා දෙනවා.
ගුවන් යානාවන්හි හදිසි අවස්ථාවල දී හොඳින් ම මුහුණ දෙන්නේ වැඩි ම වාර ගණනක් එවන් හෝ
ඒ හා සමාන හෝ පෙරහුරුවලට සහභාගි වී ඇති අය බව සොයාගෙන තිබෙනවා. ඒ අනුව මෙම ජාතක කතා
සහ ඒවායින් උගන්වන පාඩම් නිරන්තර ව සිහි ගන්වනවා නම්, ඊට සමාන ජීවන අවස්ථාවකට මුහුණ
දීමට අවශ්‍ය පරිචය කෙනකුට ලැබෙනවා.
දද්දභ ජාතක කතාව, හේතුව නොවිමසා කලබලවීමට උපදෙස් දෙනවා. එය අපට මොනතරම් අදාළ ද?
සිංහල සාහිත්‍යයේ මුදුන්මල්කඩ ලෙස සම්භාවනාවට පාත්‍ර වුව ද ජාතක කතා පොත් වහන්සේ
වර්තමානයේ ජනපි‍්‍රය කියවීමක් ලෙස නොදකින්නේ ඇයි?
මා අසා තිබෙන ලෙස රීස් ඩේව්ස් තුමා දැක තිබෙනවා ගාල්ල ප්‍රදේශයේ දී පිරිසක් පහනක්
වටා රැස්වී පොතක් කියවනවා. විමසා බැලුවිට ඒ ජාතක තතා පොතයි. බුදුදහම ඉගෙනීමටත්,
පසුව පාලි පොත් සමාගම පිහිටුවීමටත් ඔහුට බලපා තිබෙන්නේ මේ සිදුවීම යි.
පුරාණයේ සිට ජාතක කතා කියවීමේ කලාවක් ද බිහිවී තිබෙනවා. ඒ, අසන්නා ආකර්ශණය කර
ගන්නටයි. ඒ වගේම පන්සල් චිත්‍ර, තොරණ, විවිධ නාට්‍ය හා ගීත, කාව්‍ය, නවකතා, කෙටිකතා
ආදි සකල විධ සාහිත්‍ය නිර්මාණවලට මේ ජාතක පොත පදනම් වී තිබෙනවා.
අද වන විට සන්නිවේදන ක්‍රමවේදයන්ගේ මෙන් ම ශ්‍රාවක අවධානයේ සහ අවබෝධයේ විශාල
වෙනස්කම් සිදුවෙලා. මේ නිසා ජාතක කතා ඉදිරිපත් කිරීමේ ආකෘතියෙන් ඔබ්බට යා යුතුයි.
ජාතක කතා ආශ්‍රයෙන් බොහෝ ජීවන ගැටලුවලට මඟ පෙන්වන්න පුළුවන්. වැදගත්, ඒ ඒ අවස්ථාවට
වඩාත් ම ගැලපෙන ජාතක කතාව තෝරා ගැනීමත්, එය අද තිබෙන තත්ත්වයට ගැලපෙන ලෙස විශ්ලේෂණය
කිරීමට ඇති හැකියාවත් දියුණු කර ගැනීමයි.
තමන්ට ගැටලුවක්, අභියෝගයක් ආ විට මෙම සුචිය ප්‍රයෝජනයට ගෙන තමන්ට ගැලපෙන කතාව තෝරා
එය අවධානයෙන් කියවා අවශ්‍ය පාඩම මතු කර ගෙන ජාතක පොත සජීවී අත්දැකීමක් බවට පත් කර
ගත හැකියි.
එවැනි ජීවිත කියවීමකට ජාතක විදසුනෙහි උපයෝගිතාව ගැන කතා කළොත්?
ජාතක පොත නම් වු මෙම සදාතනික ජීවිත අත්වැල අදට ගැලපෙන ලෙස නිර්වචනය කර ගත යුතුයි.
වඩාත් නිර්මාණාත්මක ලෙස එම කතාවල ගැබ්ව ඇති මූලධර්මයන් තුළින් අද දවසේ ප්‍රශ්න,
ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කළ යුතුයි. මෙම පොත ම වුව ද මෘදුකාංග යෙදවුමක් බවට
පරිවර්තනය කර ගන්නට පුළුවන්.
පේ‍්‍රක්ෂකයාට ජාතක කතාවන්හි චරිත සමඟ ප්‍රතිචාර දක්වමින් භාවිත කළ හැකි සුහුරු
බැලුම්ගේ හෙට දවසේ පන්සල්වල බිහි විය යුතුයි. අද සිදුවීම්වලට ගැලපෙන ජාතක කතා
තෝරාගෙන ඒ තුළින් ජීවිත පාඩම් මතු කර ගැනීම දහම් පාසල් තුළ සිදුවිය යුතුයි. එවිටයි
ජාතක පොතේ තිබෙන සර්වකාලීන පණිවුඩය හෙවත් ඉසෙඩ් පරම්පරාවේ හා අල්ෆා පරම්පරාවේ අයට
සමීප කළ හැකි වන්නේ. මම උත්සාහ කළේ එලෙස අදට ගැළපෙන ලෙසට ජාතක කතා ඉදිරිපත්
කිරීමටයි.
රමණී සුබසිංහ |