සසර මඟ මිදෙන මඟ ...

සසර මඟ මිදෙන මඟ ...

මානෙල්වත්ත, කැලණිය
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ,
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ,
ඩබ්.ඒ. ෂම්මි නදීෂානි
(මනෝ උපදේශිකා)

යමෙක් ගිහිගෙන් නික්ම, පැවිදි දිවියට පත්ව, චූල . මධ්‍ය, මහා සීල ගුණයෙන් බුදුන් වැඩි මඟ වඩින්නේ නම් ප්‍රධන් වීර්ය වඩවා සිත සමාධි කොට ගෙන චිත්ත සමථයකට පත්වේ නම්, හෙතෙම ඉහත දැක්වූ බ්‍රහ්මජාලයන්ගෙන් විනිර්මුක්ත වනු ඇත. ක්ලේශයන්ගේ වේදනාව ද, උපත ද, අස්තාංගමය ද ආශ්වාදය ද, ආදීනවය, ද නිස්සරණය ද දැන තෘෂ්ණාවෙන් මිදේ නම් හෙතෙම බ්‍රහ්මජාලයෙන් පිරි විලෙන් ගොඩ එනු ඇත

සුනිල දිය දහර පිරි විලක් සුපැහැදිලි ය. දක්ෂ කේවට්ටයෙක් හෝ කේවට්ටයකුගේ අතවැසියෙක් හෝ සියුම් සිදුරු ඇති දැලකින් යුක්ත ව මද දිය ඇති විලකට බැසගත් කල්හි ඔහුට මෙසේ සිත් වේ.

මේ දිය විලෙහි යම්කිසි මහත් ප්‍රාණීහු වෙද්ද ඒ සියල්ලෝ දැල ඇතුළත කරන ලද්දාහු ,එහි බැඳුණාහු, කිඳෙන්නාහු, ඉල්පෙන්නාහු ය. එයින් නික්ම වූවාහු ජලාභ්‍යන්තරයේ ගත වුවන් කිදෙන්නාහු, ඉල්පෙන්නාහු ය. එලෙසින් ම යම් ශ්‍රමණ කෙනකු හෝ බ්‍රාහ්මණ කෙනෙකු නා නා විධ දෘෂ්ටි ප්‍රකාශ කරන්නාහු ද ඒ සියල්ලෝ ම දෙසැටක් වස්තුවෙන් දැලෙහි ඇතුළත කීඳෙන්නා හා ඉලිප්පෙන්නා වූවන් බඳු ය .බුදුන් වහන්සේ වනාහි මේ දෙසැටක් වස්තූන්ගෙන් මිදුණාහු ය. සිඳීනා ලද බව තෘෂ්ණාවෙන් යුත් කයෙන් යුක්ත වූහ. යම්තාක් කය පවතී ද ඒතාක් තථාගතයාණන් වහන්සේ දෙව් මිනිස්සු දකිති. ප්‍රතිසන්ධියක් නොමැති වූ විට දෙව් මිනිසුන් තථාගතයාණන් වහන්සේ නොදකිති.

පෘථග්ජන ඔබ අප ඉහත දක්වන ලද සුපැහැදිලි විලෙහි කිඳෙන්නා වූ ඉල්පෙන්නාවූ මහත් ප්‍රාණීන් බඳු ය. දෙසැටක් බ්‍රහ්මජාලා තුළ කිඳීම හේතුවෙන් බව තෘෂ්ණාව උපද්දවන්නවුන් ය. ජාලයන්හි පැටලි පැටලී සංසාර ගමනේ සැරිසරන්නෝ ය. බ්‍රහ්මජාල සූත්‍රයේ දී මෙසේ වදාළහ.

යමෙක් බුදුන් වහන්සේගේ ගුණ කියයි. යමෙක් අගුණ කියයි. එවන් මොහොතක බුද්ධ දේශිතය වූයේ එසේ කියනා ගුණ හෝ අගුණ තමාට අදාළ නොමැති බව ය. එය අල්පමාත්‍ර, හීනමාත්‍ර, ආචාරමාත්‍ර වුවක් බවත් ය. එසේ කියන ගුණ අතරින් ගෞතමයෝ ප්‍රාණඝාතයෙන් වැළකුණහ. ප්‍රාණඝාතයට බිය හා ලජ්ජා වූහ. පණ ඇති සියලු සතුන්ට හිතානුකම්පා විය .තවද දුන් දෙය පමණක් ගත්තාහ. අදින්නාදානයෙන් වැළකුණහ. බ්‍රහ්මචාරී විය. දුරාචාරයෙන් තොරවූහ. මෛථුන්‍යයෙන් වැළකුණහ. සත්‍යම පැවසූහ .ලෝකයා මුළා නො කළහ. පිසුණු වදන් බිඳවනු රිසියෙන් කිසිසේත් නො කීහ. සමඟි වූවන්ට අනුබල දුන්හ. මුසාවාදයෙන් වැළකුණහ. තථාගතයාණන් වහන්සේගේ වචනය මෘදු විය. මිහිරි විය. ප්‍රිය හා මන දොළ වැඩූහ. අභිවෘද්ධිය සලසමින් උපමා සහිත ව ධර්ම විනය පමණක් වදාළහ.

වෘක්ෂලතා ඡේදනයෙන් ද, රාත්‍රී භෝජනයෙන් ද, වැළකුණු උන්වහන්සේ මනුලොව ගීතය වැලපීමක් ලෙස ද සිනහව විකට රංගනයක් ලෙස ද දේශනා කළහ. මාලා ගන්ධ විලේපන නොරිස්සූ උන්වහන්සේ රන්, රිදී හා උස් අසුන්, ධනධාන්‍ය, ස්ත්‍රී, දැසි- දස් ආදී සැප යැයි අප දන්නා සියලු සැප අත්හළහ . ගෞතමයාණන් වහන්සේ එළු, තිරළු, කුකුල්, හුරන්, ඇත්, අස්, ගව, කෙත් වතු ,දූත ගමන් හා වෙළඳාමෙන් තොර වුහ. එම සැපත් සියල්ල අත්හළ බැවින් උන්වහන්සේට සිඳීම්, බිඳීම්, වදදීම්, බැඳීම් ,වස්තු පැහැරීම් කිරීමේ අවශ්‍යතාවයක් ද නොවීය. ඒහෙයින් උන්වහන්සේ රහසින්වත් පව් නොකළ බවට ගුණයක් ප්‍රකට විය. බුදුන් වහන්සේ යථාවාදී තථාකාරී තථාකාරි යථාවාදිී ගුණයෙන් යුක්ත වූ බැවින්ඒ් කිසිවකින් හිස උදුම්වා නො ගත්හ. ඒම ගුණයන් බ්‍රහ්මජාල සූත්‍රය තුළදී මෙසේ දීර්ඝ ලෙස ගෙන හැර දක්වනු ලැබේ.

මන්ද සමහරක් පිනැති බමුණෝ සැදැහැයෙන් දෙන ලද බොජුන් වළඳා මේ ඉහත කී ලක්ෂණවලින් විනාශ කිරීම් කරනා බැවිනි.

තවද බුදුරජාණන් වහන්සේ ආහාරසන්නිධිය ,පාන සන්නිධිය ,වස්ත්‍ර සන්නිධිය, යාන වාහන ආදී ආමිසය තබා ගෙන රැස් කිරීමෙන් ද නච්ච ගීත රඟමඩලු ආදියෙන් ද කෙළි සෙල්ලමෙන් ද දුරස් වූ අතර පඬු පෙවූ ඝන සිවුර පමණක් දරා විභූෂණයෙන් ද දුරුවූහ.

මේ අතර පහත් කතා හා වියවුල් කතාවෙන් උන්වහන්සේ බැහැර වූහ. උන්වහන්සේ ධර්මයට පමණක් දූතයකු වූ අතර තිරස්චීන දූත සේවාවල නොයෙදුණු අතර තිරස්චීන යාග හෝම, ශාස්ත්‍ර, විද්‍යා, යන්ත්‍ර, මන්ත්‍ර ආදියෙන් ද වැළකුණහ . ලාමක මිථ්‍යා විද්‍යාවෙන් ජීවිකාව සවිකර නොගත් අතර රාජ සැලකිලි බලාපොරොත්තුවෙන් ද තොරවිය.

චන්ද්‍ර , සූර්ය, තාරකා ගමන පිළිබඳ නොසෙවූ උන්වහන්සේ තම සසර ගමන කෙටි කර ගන්නා මග පමණක් දෙසූහ . එයට අව්ව ,වැස්ස, පින්න, දුර්භික්ෂ,රෝග බිය ගැටලුවක් කර නොගත්හ. භූත ,භූරි, වාස්තු ,බලි, විරේචනා දී ....මිථ්‍යා ජාලයන්ගෙන් තමන් වහනසේගේ සිත කය මුදවා ගත් උන්වහන්සේ ශාස්වත,අශාශ්‍වත, උච්ඡේද, ලෝකායත, අමරා වික්ඛෙීපාදි දෘෂ්ටීන් සියල්ලක් හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ ම නොසැළී සිටියහ.

සත්ත්වයෝ භවයෙන් බවයට යත්, හැසිරෙත්, චුත වෙත්, යළි උපදිත්. නමුදු එහි නිමාවක් වන්නට නම් කාමාදි කිසි ධර්මයක් උපාදානය නොකොට එහි නොඇලීම තුළ ඉන් මිදීමේ මඟ බව අවබෝධයෙන් ම දැක්වූහ.

මනෝමය වූ ත් ප්‍රීතිය වැළඳීම් කොට ඇත්තාවු ත් ස්වභාවය ඇත්තා වූ ත් ආකාශ චාරී, බ්‍රහ්ම, දිව්‍ය ආදී කිනම් ඉසුරක් ලැබ ඉපදුණ ද ඉන් චුත ව මනු ලොව හෝ අපාගත දිවියකට කෙදිනක පැමිණෙනු ඇත.

ඉදින් යමෙක් ගිහිගෙන් නික්ම, පැවිදි දිවියට පත්ව, චූල .මධ්‍ය, මහා සීල ගුණයෙන් බුදුන් වැඩි මඟ වඩින්නේ නම් ප්‍රධන් වීර්ය වඩවා සිත සමාධි කොට ගෙන චිත්ත සමථයකට පත්වේ නම්, හෙතෙම ඉහත දැක්වූ බ්‍රහ්මජාලයන්ගෙන් විනිර්මුක්ත වනු ඇත.

ක්ලේශයන්ගේ වේදනාව ද, උපත ද, අස්තාංගමය ද ආශ්වාදය ද, ආදීනවය, ද නිස්සරණය ද දැන තෘෂ්ණාවෙන් මිදේ නම් හෙතෙම බ්‍රහ්මජාලයෙන් පිරි විලෙන් ගොඩ එනු ඇත.

සවැදෑරුම් ස්පර්ශ ආයතනයන්හි ආදීනවය ශීල, සමාධි, ප්‍රඥාව ඔස්සේ දැක සිඳීනා ලද තෘෂ්ණා ඇති කල්හි අපට ද කායඡේදයෙන් පසු ජීවිතය ප්‍රතිසන්ධි රහිත වන බැවින් නිර්වාණය අත්විඳිය හැකි වනු ඇත. මෙසේ මිථ්‍යා බ්‍රහ්මජාලයෙන් මිදුණු සම්බුද්ධ ධර්මය අර්ථ ජාල වේ .ධර්මජාල වේ. සංග්‍රාම විජය ද වෙයි. එබැවින් එ දවස බ්‍රහ්මජාලය වදාරන කල්හි ද මෙම ධර්මය අසා දසදහශ්‍රී ලෝක ධාතුවම කම්පිත වූ යේ රහසින්වත් පව් නොකරන්නා වූ බුදුන් වහන්සේගේ ප්‍රකට ගුණ මහිමය නිසාවෙනි .

ඉදින් මෙවන් ගුණ පිරි සාමඤ්ඤඵලයක් ලබා ගැනීමට ඔබට සිත් වේ නම් මේ මිනිස් භවයේ ඔබ ලබන සොඳුරුතම ආධ්‍යාත්මික අග්‍රඵලය එය ම වන්නේ ය.

ඉදින් ඒ බැව් වඩාත් පැහැදිලි කරමින් යාග හෝම වැනි මිථ්‍යා ජාලයන්ගේ පැටලෙමින් තව තවත් භවය දීර්ඝ කර ගැනීම, තව තවත් සසර දිග්ගස්වා ගැනීමක් හා දුකින් දුකට පත්වීමක් බවත් අන්ධකාරයේ අතපත ගෑමක් බවත් සාමඤ්ඤ ඵල සූත්‍රයේ දී ඉතා පැහැදිලිව දේශනා කළ බුදුන් වහන්සේ දානයන් අතරින් වඩාත් උතුම් ම දානය සාමඤ්ඤ ඵලය හෙවත් පැවිදි භාවයට පත්ව රහත්ඵලයට පත්වීම හා නිවන අවබෝධය ලබා ගැනීම බවත් ඉතා මනාකොට වදාළ සේක.

ඉදින් මේ මායා ජාලයන්ගෙන් පිරි ලෝකය පිළිබඳ මනා වැටහීමක් ලබා දෙන බ්‍රහ්මජාල සූත්‍රය තුළින් ඔබට මේ ලෝකයේ ඇති විෂමතාවන් මනාව අවබෝධ කර ගැනීමේ භාග්‍ය උදාවී ඇත .එය අවබෝධ කර ගැනීමෙන් බුදු ගුණ හා සසඳා බැලීමේ දී එම ගුණයන් අල්පමාත්‍ර වේ යැයි බුදුන් වහන්සේ දෙසුයේ නම් ඔබ යා යුතු මඟ ඔබට ම තෝරා බේරා ගැනීමේ ප්‍රඥාව ඉන් උදාවනු ඇත. ලෝකය මෙබඳු යැයි බුදුන් වහන්සේ උපමා සහිත ව වදාළහ .නිර්වාණය මෙබඳු යැයි ද උපමා සහිත ව වදාළහ. එහෙත් අප ගැල් පුරවා ගෙන, කදමලු බැඳගෙන භාරය රැගෙන යන මේ ගමන තුළ ඉහත දක්වන ලද ගුණයන්ගෙන් අල්ප මාත්‍රයක් හෝ පවතින්නේ ද ?

බක් අව අටවක

මැයි 01 බදාදා පූ.භා. 05.48 අව අටවක ලබා 02 බ්‍රහස්පතින්දා පූ.භා. 04.02 ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

Full Moonපසළොස්වක

මැයි 23

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]