[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් අව අටවක පෝ දා 2024-05-01

සැනසීමේ මඟ හඳුනාගනිමු

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුර පසළොස්වක පෝ දිනය උදාවන්නට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. සුවහසක් බොදු ජනතාව තම ශාස්තෘවරයාණන් උදෙසා ආමිෂමය හා ප්‍රතිපත්ති පූජාවෙන් පූජෝපහාර දක්වන්නට දැන් සිට ම සූදානම් වෙති. එය අගය කළ යුතු සද්කාර්යයකි. එසේ වුව ද බුදුරජාණන් වහන්සේ සරණ ගිය බෞද්ධයාට ධර්මානුකූල මඟට පිවිස ප්‍රතිපත්ති පූජාවෙන් උන්වහන්සේට පූජෝපහාර දක්වන්නට විශේෂිත වූ දිනයක් ඇවැසි නැති බව ද සිහි තබා ගත යුතු ය. සරල ව කියනවා නම් එක් විශේෂිත දිනයකට පමණක් තථාගතයන් වහන්සේ උදෙසා පූජෝපහාර දැක්වීම ප්‍රමාණවත් නැත. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය, උතුම් සංඝරත්නය සරණ ගිය දා සිට ම ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීම යි, බෞද්ධයාගේ සැබෑ ස්වභාවය විය යුතු වන්නේ. බෞද්ධයා සෑම මොහොතක ම බෞද්ධ ප්‍රතිපදා මඟෙහි ගමන් කරන, ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක් බව සෑම මොහොතක ම සිහියේ සනිටුහන් කර ගනිමින් ඒ අනුව ජීවිතය පැවැත්විය යුතු ය.

මෙතෙක් තම ජීවිතයේ ප්‍රමාදිබවක් වූයේ නම් එය මඟ හැර අප්‍රමාදී වන්නට එළඹෙන වෙසක් පුන් පෝ දිනය හෝ ආරම්භයක් කර ගත හැකි ය. ඒ, ජීවිතයට වටිනාකමක්, අර්ථයක් දෙන්නට ඒ උතුම් දිනය සුවිශේෂී වන බැවිනි.

සැනසුම සොයා බොහෝ දේ කළ ද සැබෑ සැනසීම ඇත්තේ ශී‍්‍ර සද්ධර්ම මාර්ගයෙහි ම බව තවමත් බොහෝ බෞද්ධයිනට වැටහී නොමැති බව පසක් වන්නේ විවිධ ජීවන සංසිද්ධීන් හා සමඟ ගලපා බැලීමේ දී ය. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, දුක, සැප යන අටලෝ දහම මේ ලෝකයේ ජීවත්වන සියල්ලන්ට ම පොදු ය. කිසිවකුට එයින් නිදහස් වන්නට නොහැකි ය. එහෙත් ලාභයේ දී, යසසේ දී, ප්‍රශංසාවේ දී, සැපයේ දී උදම් වන, අලාභයේ දී, අයසේ දී, නින්දාවේ දී, දුකේ දී කම්පාවට පත්වන පුද්ගලයන් අතර බෞද්ධයා සුවිශේෂී වන්නේ මේ ලෝක ධර්මතා හමුවේ ඔහු නො සැලෙන බැවිනි. මේ අනුව තමන් සැබෑ ලෙසම ධර්ම මාර්ගයේ ගමන් කරනවා ද යන්න තමන්ට ම අවබෝධ කර ගත හැකි ය. තමන් තවමත් ඒ තැනට සිත පුරුදු කොට නැති නම් මේ වෙසක් සමයේ ඒ සඳහා අප්‍රමාදිවීමට අධිෂ්ඨානයක් ඇති කර ගත හැකි ය.

බොහෝ දෙනෙක් සැනසීම අහිමි කර ගන්නේ ලෝභ, ද්වේෂ, මෝහ යන කෙලෙස් ධර්ම තම චිත්ත සන්තානය තුළ බහුල කර ගැනීම නිසා ය.

ලෝභය වැඩි වන තරමට ගොඩ ගසා ගැනීමට ද උනන්දුවන පුද්ගලයා එහි ම අන්ධ වූයේ නම්, ධනය රැස් කිරීමෙහි ලා නොකළ යුතු දේත් කරන්නට පැකිළෙන්නේ නැත. අපි කියවා තිබෙන අදින්නපුබ්බක වැනි දැඩි මසුරු ගති ඇත්තෝ මේ සමාජයේ ද ඕනෑ තරම් දකිමු. බෞද්ධ නාමයෙන් පෙනී සිටින අය ද ඒ අතර වෙති. ධර්මානුකූල පුද්ගලයා පවට ලජ්ජා වේ. බිය වේ. ඔහු යුතුකම්, වගකීම් පැහැර නො හරී. මේ වෙසක් සමයේ අපි සැබෑ ධර්ම මාර්ගයට පිවිසෙන්නට අප්‍රමාදී වෙමු. ඒ බුදුරදුන් වෙනුවෙන් කරන සැබෑ පූජෝපහාරය යි.

බක් අව අටවක

මැයි 01 බදාදා පූ.භා. 05.48 අව අටවක ලබා 02 බ්‍රහස්පතින්දා පූ.භා. 04.02 ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

Full Moonපසළොස්වක

මැයි 23

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]