කාලයට ගොදුරක් නොවී කුසලයෙහි අප්‍රමාදී වන්න

කාලයට ගොදුරක් නොවී කුසලයෙහි අප්‍රමාදී වන්න

අප ලොව්තුරා බුදුන් වහන්සේ බෝසත් අවධිය තව්තිසා දෙව්ලොව වැඩවසන කල්හි සිට කාලය පිළිබඳව අවධාරණය කළ උතුමෙකි. උන්වහන්සේගේ මනුෂ්‍ය ලොව පහළ වීම ද අහම්බෙන් සිදුවූවක් නොව, එය කාලය. දීපය, දේශය, කුලය, මව යන පස්මහ බැලුම් බලා දේවාරාධනාවෙන් සිදුවූවකි.

බුදුරජාණන් වහන්සේ නමක් හැම කල්හි පහළ නොවෙති. උන්වහන්සේ පහළවන්නා වූ බුද්ධෝත්පාද කාල සීමාවන් පවතී. එම කාලසීමාවල දී දාර්ශනිකයන් සතර දිශාවන්හි පහළවීම ද සිදුවනු ඇත. නිදර්ශන ලෙස ගෞතම බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමරු ලෙසින් උපත ලබන කාලයේ දී භාරතයේ ෂඩ් ශාස්තෘවරු ද, යුරෝපයේ දාර්ශනිකයින්ගේ ද, පහළවීම් අසන්නට ලැබුණු සමයක් විය. (ක්‍රි.පූ. 6 වැනි සියවස) සිදුහත් කුමරු කුඩා කාලයේ පටන් ඒ ඒ අවධීන්ට උචිත වූ ශිල්ප, ශාස්ත්‍ර, හරඹ, කලා, වේද ආදිය ද, විනෝදාංශයන්හි ද නිරත වූ අතර, සොළොස්වියේ දී විවාහ දිවියට එළැඹිණ. ගිහි දිවිය සක්විති රජකු සේ ගත කළ සිදුහත් කුමරු, වයස අවුරුදු විසිනවයේ දී ගිහිගෙයින් අභිනිෂ්ක්‍රමණය කරන ලදී. ඒ හුදු පරාර්ථකාමී මෙහෙයක් උදෙසා ය.

එතැන් පටන් ‘කිං ගවේෂි‘ වූ සිදුහත් බෝසතාණෝ විවිධ වූ ගුරුවරුන් යටතේ තම කාලය ගත කරන ලද්දේ ලෝකය පිළිබඳ යථාවබෝධය ලබා ගැන්ම උදෙසා ය. ඉන් ඵල නො ලද එතුමා අත්ථකිලමතාව තුළින් ඉතා අති දුෂ්කර කාලසීමාවක් පුරා වසර හයක කාලසීමාවක් ගත කරන ලද්දේ ද පෙරකී කාරණය උදෙසාම ය. ඒ මත ක්‍රියාකිරීමෙන් ද යථාවබෝධය ලැබිය නොහැකි බව මනාව ප්‍රත්‍යක්ෂ කරගත් උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාගත ව තම කාලය තිර අදිටනින් යුක්ත ව ගත කරන ලද්දේ සත්‍යාවබෝධය ලැබීම උදෙසා ම ය.

මැදුම් පිළිවෙත අනුගමනය තුළ සත්‍යාවබෝධයට ළඟා වූ බෝසතාණෝ සපථ කර ගන්නා ලද්දේ නිවන සාක්ෂාත් කර ගත්තේ නම් සසර කෙටි කර ගත හැකි බව ය. එනම් දීර්ඝ කාලයක් සසර සැරීම යනු අර්ථ විරහිත තත්ත්වයක් බවත්, කෙටි කාලයක් තුළ දී සසරින් එතෙර විය හැකි නම් එය තමාගේ උපාය කෞශල්‍යය මත ලබනා පරම සුඛයක් යන යථාවබෝධය ලැබ ගත්හ. ආර්ය අෂ්ටාංගික මඟත්, ත්‍රිශික්ෂාවත් වර්ධනය ඔස්සේ නිවනට පහසු මඟක් දැක්වූ බුදුන් වහන්සේ කාලය හා පුද්ගලයා අතර ඉතා ගැඹුරු සබඳකමක් දැක්වූහ.

කාලය වනාහී සත්ත්වයාගෙන් වෙන් නොවූ අවියෝජනීය ධර්මතාවකි. මිනිස් ජීවිතය හා නිබඳ ව බැඳී පවතින සංකල්පයකි. නූතන කළමනාකරණයේ දී කාලය භෞතික සම්පතක් ලෙස සලකනු ලැබේ. නූතන මනුෂ්‍ය ජීවිත මෙන් ම අවශ්‍යතා ද සංකීර්ණ වී ඇත. එවිට අසීමිත අවශ්‍යතා ඉටුකර ගැනීම උදෙසා පවතින කාලය මදි යැයි අපට සිතෙනු ඇත. එබැවින්, නූතන කළමනාකරණයේ දී කාලය ප්‍රසාරණය කළ යුතු වේ. බෞද්ධ කළමනාකරණයේ දී කාලය සංකෝචනය කරනු ලැබේ ලෙස දැක්විය හැකි ය.

නිසි ලෙස කාලය කළමනාකරණය නො කිරීමේ දී සත්ත්වයා කාලයට ගොදුරක් සපයා දීමක් සේ කාලයට බිලි වේ. නමුත් නිසි ලෙස අමුණා කාලය කළමනාකරණය තුළ ජීවියා කාලයට ගොදුරක් නොවේ.

විශුද්ධි මග්ගයේ දී කාලය අවධි දහයක් යටතේ බෙදා දක්වනු ලැබේ.

මන්ද දසකය උපතේ සිට අවුරුදු 10 දක්වා

කිඩ්ඪ දසකය අවුරුදු 11 - 20 දක්වා

වණ්ණ දසකය අවුරුදු 21 - 30 දක්වා

බල දසකය අවුරුදු 31 - 40 දක්වා

ප්‍රඥා දසකය අවුරුදු 41 - 50 දක්වා

ප්‍රතෙක දසකය අවුරුදු 51 -60 දක්වා

පබ්බාර දසකය අවුරුදු 61 - 70 දක්වා

වක්ක දසකය අවුරුදු 71 - 80 දක්වා

මෝහමුහ දසකය අවුරුදු 81 - 90 දක්වා

සායන දසකය අවුරුදු 91 - 100 දක්වා

මෙසේ කාලය අවධි ලෙස බෙදා දක්වා ඇත්තේ කාලයේ ඇති වැදගත්කම අවධාරණය පිණිස ම ය. මෙමගින් පුද්ගලයාට තමා ගත කරමින් සිටිනුයේ කුමන අවධිය දැයි අවබෝධය ලැබීමෙන් තමන්ට එම කාල වකවානුවල කළ, නො කළ දෑ පිළිබඳ මනා වැටහීමක් ලැබීම තුළ යහපත්, අයුරින් තම ජීවිතය හැඩගස්වා ගත හැකි වේ.

නිදර්ශනයක් ලෙස අවුරුදු 11 - 20 ත් යනු දඟකාර, කෙළිලොල්, ක්‍රීඩාශීලි අවධිය යි. මේ අවධියේ පසුවන්නන් එම කිඩ්ඩ දසකය එසේ ක්‍රියාශීලිව ගතකළ යුතු ය. (සිදුහත් චරිතය ද ඒ සේ විය.) ඒ තුළින් කායික හා මානසික යන දෙඅංශයේ ම වර්ධනය සිදුවනු ඇත. මවුපියන්ගේ ඉටු නොවූ බලාපොරොත්තු පූර්ණත්වය උදෙසා දරුවන්ගේ ක්‍රීඩා දසකය විනාශ කිරීම ඔවුන්ගේ අනාගතය උදෙසා කරනු ලබන සාපරාධයකි. මන්ද ඒ දසකය නැවත ආපසු ලබා ගත නොහැකි කාලයකි. එබැවින් ඒ ඒ අවධීන්ට සුදුසු පරිදි කාලයෙන් ඵල ප්‍රයෝජන ගත යුතු ය. කාලය නම් සාධකය කල්දැමීම පහසු ය. එහෙත් ගෙවී ගිය කාලය නැවත කිසිදා ලබා ගත නොහැකි ය. එබැවින් කාලය අතීත, වර්තමාන, අනාගත කාල නිර්ණ ත්‍රිත්වයක් පනවා ඇත. අතීත කාලයට මුසු වූ සියල්ල ස්මරණ පමණි. ඒවා තුළට පිවිසීම කළ හැක්කේ මනසින් පමණි. කාලය ගෙවී ගොස් ඇත.

අනාගත යනු නො එළැඹි තත්ත්වයකි. බලාපොරොත්තු හා අපේක්ෂා තබා ගත හැකි ය. ඒවා ඉටු කර ගැනීමට වෙහෙසිය හැකි ය. වර්තමානය යනු තමන්ට මේ මොහොතේ කායිකව ක්‍රියාත්මක වී සිදු කළ හැකි, ඵල නෙළා ගත හැකි කාල පරාසයකි.

බුද්ධ දේශනාව වනුයේ ගෙවුණු අතීතයත්, නො එළඹුණු අනාගතයත් ගැන නො සිතා වර්තමානය ඥානාන්විත ව ප්‍රයෝජනයට ගැනීම ප්‍රඥාවන්ත ක්‍රියාවක් බව ය. එනම් ලෞකික මෙන්ම ලෝකෝත්තර යන දෙ අංශයෙන්ම යහපතක් වන, දියුණුවක් වන ලෙස සිය කටයුතු කළමනාකරණය කර ගත යුතු බවත් ය.

විශේෂයෙන් මෙවන් බුද්ධෝත්පාද කාලයක උපත ලැබීම තුළ ධර්මය ඇසීමේ භාග්‍ය නිසාවෙන් දිගු වූ සසර කෙටි කර ගැනීමට උත්සාහයක නිරතවීම ද කාලෝචිත ය. සියලු බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව ය. එනම් ලොව ඇති සියලු ප්‍රපචයන් කාලයත් සමඟ වෙනස් වේ. සෑම කල්හි පවතින්නක් නොමැත. සාපේක්ෂ වූ ධර්ම නෛරාත්මයන් වෙනස්වීමට භාජනය වී විනාශ වනු ඇත. ජීවිතය, මරණය ඇසුරු සැණින් විය හැකි ය. අවසන් බුද්ධ වචනය වනුයේ ද,

අප්පමාදෝ අමත පදං –  පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති –  යෙ පමත්තා යථාමතා

එනම් කාලයෙන් ප්‍රයෝජන නො ගෙන යහපතෙහි, කුසලයෙහි වැඩ නො කළාහු ප්‍රමාදයෝ ය. ඔවුන් ජීවත් වුව ද මිය ගියවුන් වැනි ය. අප්‍රමාදීව කුසලයේ යෙදුනවුන් මිය ගිය ද ජීවත් වන්නන් වැනි ය. ඔවුහු දෙලොව ම දිනුවන් වේ.

කාලය ඉතා සියුම්ව ගලා යයි. පුද්ගල ස්වභාවය/ සිතිවිලි කාලය තුළ වෙනස් වීම ද සියුම් ව සිදු වේ. එබැවින් සිත, කය, වචනය සංවරය තුළ පාලනය වූ භික්ෂු දිනචර්යා කාලසටහන වන අරුණට පළමුව පිබිදීම, පිරිසිදුවීම, ඇමදීම, තෙරුවන් වැදීම, ප්‍රත්‍යාවේක්ෂ කිරීම, වත් කිරීම, භාවනා කිරීම. අප්‍රමාදීව ක්‍රියා කිරීම වත්මන් සමාජයට ආදර්ශයක් වනු ඇත.

නවම් අමාවක

මාර්තු 09 සෙනසුරාදා
අ.භා. 06.18 අමාවක ලබා
10 ඉරිදා අ.භා. 02.32 ගෙවේ.
10 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]