නවම් අමාවක පෝ දා
2024-03-10 පෙර සූදානම
රෝගයකට ගොදුරු වීමෙන් පසුව ඊට ප්‍රතිකර්ම කරනවාට වඩා රෝගය වැළඳෙන්නට පෙර ඉන් ආරක්ෂා
වී සිටීම වඩාත් පහසු හා අර්ථදායී ම ක්‍රමය වන බව පුංචි දරුවකුට වුව තේරුම් ගත හැකි
දෙයකි. එහෙත් අපේ වැඩි පිරිසක් හුරු වී සිටින්නේ නොසැලකිල්ල නිසා තමන් විසින් ම
තමන්ට ලෙඩ දා ගනු ලැබීමට ය. එහි අනිසි විපාක තදබල ලෙස දැනෙන්නේ රෝගි වූ පසුව ය.
එකල්හි පසුතැවීම පල රහිත ය.
එමෙන් ම ස්ථාලය වසා දැමිය යුතු අශ්වයා පැන යන්නට පළමුව ය. අපේ ජීවිතයේ මේ හා සමාන
අවස්ථා බොහෝ උදා වේ. තවත් ලෙසකින් කියනවා නම් කරදරවල පැටලෙන්නට පෙර ඒ ගැන අවදියෙන්
සිටීමෙන් බොහෝ විපත් මඟ හැර සැනසීම ළඟා කර ගත හැකි වේ.
විශේෂයෙන් අපේ ළමා පරපුර සම්බන්ධ ව මේ පෙර විපරම ඉතාම වැදගත් වේ. තමන්ගේ තණ්හාධික
බලාපොරොත්තු මුදුන් පමුණුවා ගන්නට මේ නොදරුවන්ගේ ජීවිත බිලි ගැනීම සඳහා පෙනෙන,
නොපෙනෙන වෙසින් මත් රකුසා බලා සිටී. මේ රකුසා විවිධ වෙස්මාරු කරමින් ළමයාට සමීප වන
හෙයින් හඳුනා ගැනීම අසීරු ය. යම් හෙයකින් ළමයා මතට ගොදුරු වූයේ නම් ඔහු එතැනින්
ගලවා ගැනීම ඉතාම අසීරු ය.
මවකට, පියෙකුට තම දරුවා සම්පතකි. ඒ සම්පත රටට සම්පතක් වන්නේ ගුණ නැණ පිරි
පුරවැසියෙක් ලෙස සමාජගත වන්නේ නම් ය. කුඩා කාලයේ ම ජීවිතය අඳුරු කර ගත්තේ නම්
අනාගතයේ කෙසේ නම් ආලෝකයක් දකින්නද? පාසල් දරුවන් පවා මතට ඇබ්බැහි කරවා ඔවුන් කායික,
මානසික, රෝගීන් කරන්නට මාන බලන, ඒ සඳහා හැකි උපරිමයෙන් කැපවෙන බලවේගවලට හසු නොවන
ලෙස අපේ දරුවන් රැක ගත යුතු ම ය.
ජීවන අරගලයට උරදෙමින් ජීවත් වෙන්නට මුදල් ඉපයීම සඳහා ම කාලය ගෙවනු විනා දරුවන් ගැන
ඇස ගසා සිටින්නට බොහෝ මව්පියන්ට කාලය නැත. එහෙත් එය නිදහසට නම් කරුණක් වන්නේ නැත.
බොහෝ මව්පියන් කියන්නේ සියල්ල කරන්නේ දරුවන් නිසා බව ය. දරුවන්ගේ කුස පිරවීම,
අධ්‍යාපනය ලබාදීම යන කරුණු පමණක් මේ කියන සියල්ලට සීමා වන්නේ නැත. දරුවන් කියන කරන
දේ, ඇසුරු නිසරු කරන්නේ කවුද, යන්න නිරන්තර විමසීමට බඳුන් කළ යුතු ම ය. බොහෝ දරුවන්
නො මඟ යන්නේ, නරක ඇබ්බැහි වීම්වලට පුරුදු වන්නේ ඇසුර වැරදුණ තැන ය. බොහෝ මව්පියන්
නොදැනුවත්කම නිසා හෝ, දැන සිටිය ද නොසලකා හැරීම නිසා හෝ මේ ගැන අවධානය යොමු නොකරති.
මේ නසා අපේ ඇතැම් දරුවන් දැනටමත් මත් රකුසාට ගොදුරු වී තිබේ.
පසුගියදා පළවු පුවත්පත් වාර්තාවකට අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස්
පුනරුත්ථාපනය කිරීම සඳහා වන මධ්‍යස්ථාන 250ක ප්‍රමාණයක් මේ මස පිහිටුවීමට පොලිස්
දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර ඇති බව සඳහන් වුණි. දස දහසක පිරිසක් මේ මධ්‍යස්ථාන
මඟින් පුනරුත්ථාපනය කෙරෙන අතර ඔවුන්ගේ මූලික අරමුණ වනුයේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ
අඩුවයස් සහිත අය ප්‍රායෝගික හා විද්‍යාත්මක ක්‍රමවේදයකට එම පුරුදුවලින් මුදවා ගැනීම
ය. මෙය අගය කළ යුත්තකි. එහෙත් අපේ දරුවන් මෙසේ පුනරුත්ථාපනය කළ යුතු තැනට නොවැටෙන
ලෙස රැක ගැනීම මව්පියන්ගේ වගකීමකි. අපේ සංඝරත්නය ඇතුළු සියලු ආගමික නායකයින්, ගුරු
මව්පියවරු ද මේ ගැන අවදියෙන්, අවධානයෙන් සිටිය යුතු ය. ඒ අනාගතයේ අදුර දුරු කරනු
සඳහා ය. |