අංගුලිමාල ස්ථවිර ගාථා ...

අංගුලිමාල ස්ථවිර ගාථා ...

ශ්‍රමණ, ඔබ යන්නේ ම සිටියෙමි යි කියහි. සිටි මා නො සිටියාහු යැයි ද කියයි. ශ්‍රමණ, මේ කරුණ ඔබෙන් විචාරමි. ඔබ කෙසේ සිටියෙහි ද? මම කෙසේ නො සිටියෙම් වේ ද?

අංගුලිමාල, මම හැම කල්හි සියලු සතුන් කෙරෙහි දඬුමුගුරු හැර පියා සිටියෙමි. නුඹ වනාහි ප්‍රාණීන් කෙරෙහි කරුණා විරහිත ව ලේ තැවරුණු අත් ඇති ව වසන්නෙහි ය. එහෙයින් මම සිටියෙමි. නුඹ නො සිටියෙහි.

ලෝකයා විසින් පුදන්නා වූ මහර්ෂි වූ ශ්‍රමණයන් වහන්සේ කලෙකින් මට හිත පිණිස මහා වනයට වැඩි සේක. මම ඔබ වහන්සේ ගේ ධර්මයෙන් යුක්ත වූ ගාථාව අසා දහසක් පව් හැර දමන්නෙමි.

මෙසේ කියා අංගුලිමාල සොර කඩුව හා සෙසු ආයුධ ද වනයෙහි මහා වළක දැමී ය. බුදුරදුන්ගේ පා සඟල වැන්දේ ය. එහි දී ම පැවිද්ද ඉල්ලුවේ ය.

දෙවියන් සහිත සත්ත්ව ලෝකයට මහා කාරුණික වූ ද, මහර්ෂි වූ ද, බුදුරජාණන් වහන්සේ “එව මහණැ” යි එදා ඔහුට වදාළහ. එය ම ඔහුගේ භික්ෂුභාවය විය.

යමෙක් පළමු ව ප්‍රමාදී ව, පසු ව අප්‍රමාද වේ ද, හෙතෙම වලාවෙන් මිදුණු සඳ මෙන් මේ ලොව බබුළුවයි.

යමකු විසින් කරන ලද පව්කම් කුසලයෙන් වසනු ලැබේ ද, හෙතෙම වලාවෙන් මිදුණු සඳ මෙන් මේ ලොව බබුළුවයි.

යම් තරුණ භික්ෂුවක් බුදුසසුනෙහි (ත්‍රිවිධ ශික්ෂාවෙහි) යෙදුණේ නම් හෙතෙම වලාවෙන් මිදුණු සඳ මෙන් මේ ලොව බබුළුවයි.

මාගේ සතුරෝ ද මා ඇසූ ධර්ම කතාව අසත්වා, මාගේ සතුරෝ ද බුදුසසුනෙහි යෙදෙත්වා, යම් සත්පුරුෂ කෙනෙක් උතුම් ධර්මය අනුගමනය කෙරෙත් ද, මාගේ සතුරෝ ද ඔවුන් ඇසුරු කෙරෙත්වා!

මාගේ සතුරෝ ක්ෂාන්තිවාදීන්ගේ මෛත්‍රිය ප්‍රශංසා කරන්නවුන් ගේ ධර්මය සුදුසු කල්හි අසත්වා! එය ම අනුගමනය කරත්වා.

ඒ මාගේ සතුරා කිසිකලෙක මා නසන්නේ නැත. අන් කිසිවකු හෝ නො නසන්නේ ය. හෙතෙම පරම ශාන්තියට පැමිණ තැති ගන්නවුන් (පුහුදුන් අය) හා රහතුන් වහන්සේ ද රකින්නේ ය.

දිය ගෙන යන්නෝ කැමැති තැනට දිය ගෙන යති. හීවඩුවෝ ඍජු කොට ඊතල සාදා ගනිති. දැව වඩුවෝ කැමැති පරිදි දැව නමති. නුවණැතියෝ තමන් ( සිත) දමනය කෙරෙති.

සමහරු කෙවිටෙන් ද, අංකුසයෙන් (හෙණ්ඩුවෙන්) ද, කසයෙන් ද දමනය කරත්. මම වනාහි කැවිටි නැති, ආයුධ නැති බුදුරදුන් විසින් දමනය කරන ලද්දෙමි.

හිංසක වූ මට පෙර ‘අහිංසක’ යි නමක් විය. අද මම සත්‍ය වශයෙන් ම අහිංසක වූවෙමි. මම කිසිවකුට හිංසා නො කරමි.

පෙර මම ‘අංගුලිමාල’ නම් ප්‍රසිද්ධ සොරෙක් වීමි. කාමෝඝයෙන් (කාමරාග නමැති ගලා යන සැඩ දියපහරින්) ගසාගෙන ගිය මම බුදුරදුන් සරණ ගියෙමි.

පෙර අංගුලිමාල යි ප්‍රසිද්ධ වූ මම ලේ තැවරුණු අත් ඇත්තෙක් වීමි. සරණාගමනයෙහි අනුසස් බලන්න. මා විසින් තෘෂ්ණාව සපුරා විනාශ කරන ලද්දේ ය.

දුගතියට පමුණුවන එබඳු බොහෝ පව්කම් කිරීමෙන් රැස් කළ අකුසල කර්මවිපාක විනාශ කොට මාර්ගඵල සම්පත් ලබා නිර්වාණ සුවය ස්පර්ශ කළ මම ණය නැති ව සිවුපසය වළඳමි.

නුවණ නැති බාල ජනයෝ ප්‍රමාදයෙහි නැවත නැවත යෙදෙති. නුවණැති තැනැත්තා ශ්‍රේෂ්ඨ ධනයක් මෙන් අප්‍රමාදය රකියි.

ප්‍රමාදයෙන් කල් නො යවන්න. කම්සැප වැළඳීම ද නො කරන්න. අප්‍රමාද පුද්ගලයා පරම සුවයට (නිවනට) පැමිණේ.

මාගේ පැමිණීම යහපත් ය. නිරර්ථක වූයේ නැත. මාගේ පැවිදිවීමේ සිත යහපත් ය. වැරැදි නිවැරැදි යි විභාග කරන ලද ධර්ම අතර යමක් ශ්‍රේෂ්ඨ නම් ඒ නිවනට පැමිණියෙමි.

මාගේ පැමිණීම යහපත් ය. අයහපත් නො වේ. මාගේ පැවිදිවීමේ සිත යහපත් ය. ත්‍රිවිද්‍යාව පිළිවෙළින් ලබන ලදී. බුදුරදුන්ගේ අනුශාසනාව පිළිපදින ලදී.

ආරණ්‍යයෙහි, රුක්මුල්හි හා පර්වත ගුහාවන්හි විසූ මම තැතිගත් සිතින් යුක්ත ව එදා සිටියෙමි.

සැප සේ නිදමි. සිටිමි. සැප සේ දිවි ගෙවමි. මරහුගේ අත්පසින් බැහැර වූයෙමි. පුදුමයෙකි. ශාස්තෘන් වහන්සේ ගේ අනුකම්පාව ලදිමි.

පෙර බ්‍රාහ්මණ ජාතික වීමි. මවුපිය දෙපසින් පරිශුද්ධ වීමි. ඒ මම අද සුගත වූ ධර්මරාජ වූ ශාස්තෘන් වහන්සේ ගේ පුත්‍රයෙක් වෙමි.

තෘෂ්ණාව ප්‍රහීණ කළෙමි. උපාදාන රහිත වෙමි. ඉඳුරන් මැනවින් සංවර කොට වසමි. දුක් මුල් විනාශ කොට මා විසින් ආස්‍රවක්ෂය නම් වූ නිවන ලද්දේ ය.

මා විසින් ශාස්තෘන් වහන්සේ ඇසුරු කරන ලදහ. සම්මා සම්බුදු රදුන්ගේ අනුශාසනාව කරන ලදී. ගරු භාරය (කෙලෙස් බර) බහා තබන ලදී. තෘෂ්ණාව නසන ලද්දේ ය.

මෙසේ ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ වදාළහ.

නවම් අමාවක

මාර්තු 09 සෙනසුරාදා
අ.භා. 06.18 අමාවක ලබා
10 ඉරිදා අ.භා. 02.32 ගෙවේ.
10 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]