බ්‍රහ්මචාරී ජීවිතයේ සුවය

බ්‍රහ්මචාරී ජීවිතයේ සුවය

බ්‍රහ්මචාරී ජීවිතය නම් කම් සැපයෙන් වියුක්ත ජීවිතයක් ගත කිරීමයි. බ්‍රහ්මචාරී වචනයේ විරුද්ධ පදය වන්නේ අබ්‍රහ්මචාරී යන්නයි. එනම්, කාම සුවයයි. එම ජීවිතයේ නිතර දක්නට ලැබෙන්නේ රාගය, ද්වේෂය, මෝහය ආදී සිත කිලිටි කරන අකුසල් මූලයන් ය.

කිසිම මොහොතක සැනසීමක් දක්නට නොලැබේ. එහි නිරන්තරයෙන් පවතින්නේ අතෘප්තිය, අසහනය, පීඩනයට ආදී මනෝ භාවයන් ය. තමන්ටත් අනුන්ටත් අයහපතක් පිණිස ම කාම සුවය හේතු වන්නකි.

බුදුදහමට අනුව කාම සුවයෙහි ආදීනව ඉතා භයංකාර ය. කිසිදු වැඩකට නැති සත්ත්වයා නිරතුරුව ම දුකට ඇද දමන්නක් ලෙස කාම සුවය පෙන්වා දී ඇත. කාම සුවය උපමාවලින් පෙන්වා තිබීමෙන් ඒ බව මොනවට පැහැදිලි වේ. සිහිනයක්, ණයට ගත් දෙයක්, මස් නැති ඇට කැබැල්ලක්, සර්ප හිසක්, තණ හුලක්, මස් කපන කොටයක්, මස් කපන පිහියක් ආදී වශයෙන් කාම සුවය පවතින බව ඉන් පැහැදිලි කොට ඇත.

අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය – අංගාරං කාසුං ජලිතංව විඤ්ඤු” ආදී වශයෙන් කාම සුවය වනාහි දිලිසෙන ගිනි අඟුරු වළක් මෙන් නුවණැත්තන් අත්හරින බව ඉන් වැඩිදුරටත් පැහැදිලි වේ. ඒ අනුව විමසා බැලීමේ දී අබ්‍රහ්මචාරී ජීවිතයෙන් මිදීම සෑම පැත්තකින් ම සුවදායක වන්නේ ය.

ඒ සඳහා ධර්මයෙහි ශීලය සම්බන්ධ කොටගත් ඉන් මිදීමේ මඟ දේශනා කොට ඇත. පංචශීලය ගත්තත්, අෂ්ටාංග ශීලය ගත්තත්, දස ශීලය ගත්තත් ඒ හැම තැනකම අබ්‍රහ්ම චරියාවෙන් වෙන් වීමේ මඟ ශික්ෂාපද තුළින් ඉදිරිපත් කොට ඇත. එනම්,

“අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි”

පංචශීලය සාමාන්‍ය ජීවිතයේ සමාදන් වීමේ දී “කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි” වශයෙන් එම ශික්ෂා පදය සමාදන් වනු ඇත. ගිහියකු වශයෙන් සිය අඹු සැමියන් ඉක්මවා පර අඹු, පර සැමි සමඟ කම්සුව විඳීම වරදකි. පසිඳුරන් වරැදි ලෙස පිනවීම නොකළ යුතු බව ඉන් පැහැදිලි කොට ඇත.

සාමාන්‍ය ගිහි ජීවිතයේ තහනම් වන්නේ අයථා සේවනය පමණක් වුව ද පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් විසින් ස්ත්‍රී පුරුෂ සේවනයෙන් සහමුලින් ම වැළකිය යුතු ය. බ්‍රහ්මචරියා යනු එසේ විසීමයි. එම නම යෙදී ඇත්තේ බ්‍රහ්මයෝ කාම සේවනයෙන් සහමුලින් ම වැළකීම හේතුවෙනි. ඒ අනුව බ්‍රහ්මචාරිය යනුවෙන් නම යෙදී ඇත.

බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කළ හොඳම චරිත දෙක අපට හමුවන්නේ බෞද්ධ සාහිත්‍ය තුළිනි. එනම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි ජීවිතයයි. එය සංසාරේ පාරමිතාවන් සේ ඔවුන් දෙපළ සම්පූර්ණ කොට අප ගෞතම බුද්ධ ශාසනයේ මස්තකප්ප්‍රාප්ත කොටගත් දෙදෙනෙකි. ඔවුන්ගේ ගිහි ජීවිතය ඉතා පවිත්‍ර ය.

කාශ්‍යප මහරහතන් වහන්සේ ගිහි කල පිප්පලී නමින් නම් දැරීය. විවාහ ජීවිතයට කැමැත්තක් නොදැක්වුව ද මවුපියන් ඔහුට කුමාරිකාවක් රනින් නිමකොට ඊට සම වන රුවක් ඇති කුමරියක් සෙවීය. ඒ අනුව භද්‍රාකාපිලානි කුමරිය හමුවී ඇය පිප්පලී කුමරුට සරණ පාවා දුන්හ. නමුදු එම දෙදෙනා ම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළ දෙදෙනෙකි. සසර බොහෝ කාලයක් පටන් බ්‍රහ්මචාරී ජීවිතයක් පුරුදු පුහුණු කළ ඔවුන් දෙදෙනා එම ආත්මයේ දී ද බ්‍රහ්මචාරි ජීවිතයක් ගතකළහ.

විවාහ පත් වූ දින සිට කාමරයක් තුළ එක් ඇඳක මැදින් සුවඳ මල් දමකින් වෙන්කොට අල්ප වූ ද රාගික හැඟීමක් නැතිව මුළු ගිහි ජීවිත කාලය පුරාම කාමයන්ගෙන් වෙන් වී ජීවිතය ගත කළහ. මවුපියන්ගේ අභාවයෙන් පසු ඔවුන් දෙදෙනා ම බුදු සසුනට ඇතුළු වී මහණදම් පිරීය. ලෝකයේ එලෙස බ්‍රහ්මචාරී ජීවිත ගත කරන්නන් ඉතා අඩු ය. එසේ කළ හැක්කේ සසර පුරුදු පුහුණුූ කරන ලද බ්‍රහ්මචාරී ජීවිතයත් සමඟ ය. විවාහ ජීවිත ගත කරන ඕනෑම කෙනකුට පිප්පලී කුමරු හා භද්‍රාකාපිලානී කුමරියගේ ජීවිත කතාව කියවීම ඉතා වැදගත් වනු ඇතැයි සිතමි.

බ්‍රහ්මචාරී ජීවිත ගත කිරීමෙන් සත්ත්වයාට බොහෝ අනුසස් ලැබේ. අද බොහෝ දුරට “අබ්‍රහ්මචාරී වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනුවෙන් එය පෝයට පමණක් සීමා වී ඇත. එය නිතර සමාදන් වන අය ඉතා අල්ප ය. නමුදු එහි අනුසස් දන්නවුන් සැමදා වුව ද එම සික්ඛා පදය සමාදන් වී රකිනු ඇත.

අද පෝයට සිල් ගැනීම වුව ද වයෝවෘද්ධ මවුවරුන් ටිකකට පමණක් සීමා වී ඇත. සීලය රැකීමට කාලයක් අවශ්‍ය නැත. එය හැම මොහොතක ම ජීවිතයත් සමඟ පැවතිය යුත්තකි. සිත, කය, වචනය, සංවරභාවය, ඇතිවන්නේ සීලයත් සමඟ ය. පංචශීලයෙන් එහාට ගිය සිල් රැකීමට හැකි නම්, ජීවිතය තවත් නිවන් මඟට ළං වෙනු ඇත.

බුදු දහමේ අත්තිවාරම වූ ත්‍රිශික්ෂා සම්පූර්ණයෙන් වුව ද ශීලය පෙරටුගාමීව සිටී. ඒ අනුව බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීම නිවන් මඟට අත්වැලක් බව සිතට ගත යුතු ය. බ්‍රහ්මචාරි ජීවිතයක ප්‍රතිඵල සාංදෘෂ්ටික වශයෙන් ම ලැබෙන්නකි. ඒවා නම්,

විඳින්නට ඇති කරදරවලින් අත් මිදීම, නීරෝගි බව වැඩි දියුණු වීම, ශරීරය ඉක්මනින් දිරීමට පත් නොවීම, දීර්ඝායුෂ උපරිම අයුරින් විඳින්නට ලැබීම, මතක ශක්තිය වැඩිදියුණු වීම, සිහිය විකල් නොවී හොඳින් පිහිටීම, තේජස වැඩිදියුණු වීම, ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය ඉක්මනින් නොපිරිහීම, කායික ශක්තිය ඉක්මනින් හීන නොවීම, කායික වර්ණය වැඩිදියුණු වීම හා මරණින් මතු දිව්‍ය සැප සම්පත් ලැබීම ය.

යනාදී අනුසස් මෙලොව දී ම ලබා ගැනීමට පුළුවන. මුළුමනින් ම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට අපහසු නම්, යම් තරමකින් හෝ කම් සුවයෙන් ඉවත් වීම කළ යුතු ය. අද බොහෝ දෙනෙක් මගේ, මගේ යන ආකල්පයෙන් බැඳීම්, ගැටීම්, ඇලීම්වල නිමග්න ව සිටී. ආත්ම සංකල්පය තුළ සිරවී කිසිදු සැහැල්ලුවක් නැති තත්ත්වයට ජීවිතයන් පත් කොටගෙන ඇත.

එබැවින් අබ්‍රහ්මචාරී ජීවිතයෙන් මිදී බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කොට මෙලොව ජීවිතය සුව සේ ගෙවීමටත්, පරලොව ජීවිතයේ දුක් නැති කර ගැනීමටත් උතුම් නිවනින් සැනසීමටත් සිතට ගත යුතු ය.

නවම් අමාවක

මාර්තු 09 සෙනසුරාදා
අ.භා. 06.18 අමාවක ලබා
10 ඉරිදා අ.භා. 02.32 ගෙවේ.
10 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]