එදා බුදුරදුන් දුටු අනාගත භය

එදා බුදුරදුන් දුටු අනාගත භය

බුදු සසුනෙන් ලබා ගත යුතු ඉතා උසස් වූ ධ්‍යාන මාර්ග ඵලයන්ගෙන් එකකුදු ලබා සිටින අය මෙකල ඉතා දුර්ලභ බව කවුරුත් දන්නා කරුණකි. ලබා සිටින අය තබා ඒවා සොයන, ඒවා ලැබීමට උත්සාහ කරන අය ද මෙකල සුලභ නැත. බුදු සසුනට ගරු කරන, බුදු සසුනෙහි දියුණුව පතන සැම දෙනා විසින් ම එය දත යුතු ය. ඒ කාරණය බුදුරජාණන් වහන්සේ විසින් ම අනාගත ලෝකය දෙස බලා දේශනා කොට ඇත. අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ තතිය අනාගත භය සූත්‍රයේ එම කරුණු දැකිය හැකි ය.

මහණෙනි, මේ කාලයේ හට නොගත්තා වූ අනාගත භය පහක් මේ සසුනෙන් මතු කාලයේ දී ඇති වන්නේ ය. ඒවා තේරුම් ගෙන, ඒවා දුරු කිරීමට උත්සාහ කළ යුතු ය.

මහණෙනි අනාගත කාලයෙහි කාය භාවනා නැත්තා වූ, සීල භාවනා නැත්තා වූ, චිත්ත භාවනා නැත්තා වූ, ප්‍රඥා භාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. ඔවුහු අන්‍යයන් උපසම්පදා කරන්නාහු ය. ඔහුහු තමන්ගේ ගෝලයන් අධිශීලයෙහි, අධිචිත්තයෙහි, අධිප්‍රඥාවෙහි පිහිටුවන්නට නොහැකි වන්නාහු ය. එබැවින් ඒ ගෝලයෝ ද කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා නැත්තෝ වන්නාහ. ඔවුහු ද අන්‍යයන් උපසම්පදා කරන්නාහ. ඒ ගෝලයන් ද අධිශීලයෙහි අධිචිත්තයෙහි, අධි ප්‍රඥාවෙහි පිහිටවීමට නොසමත් වන්නාහ. එබැවින් ඔවුහු ද කාය, සීල, චිත්ත, ප්‍රඥා භාවනා නැත්තෝ වන්නාහ. මහණෙනි, මෙසේ සමථ විදර්ශනා ධර්මය නැසීමෙන් විනය නැසීම වේ. විනය නැසීමෙන් ධර්මය නැසීම සිදු වේ. මෙය මතු කාලයේ වන්නා වූ පළමු අනාගත භයයි.

මහණෙනි, අනාගත කාලයෙහි කාය භාවනා, ශීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. ඔවුහු අන් භික්ෂූන්ට නිගා දෙන්නාහ. ඔවුහු ඒ ගෝලයන් අධිශීලයෙහි, අධි චිත්තයෙහි, අධි ප්‍රඥාවෙහි පිහිටුවන්නට නොසමත් වන්නාහ. ඔවුහු ද කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා නැත්තා වූ අන්‍යයන්ට නිගා දෙන්නාහ. ඒ ගෝලයන් ද අධිසීලයෙහි, අධි චිත්තයෙහි, අධි ප්‍රඥාවෙහි, පිහිටවන්නට සමත් නොවෙති. ඔවුහු ද කාය, සීල, චිත්ත, ප්‍රඥා භාවනා නැත්තෝ වෙති. මහණෙනි මෙසේ සමථ විදර්ශනා සංඛ්‍යාත ධර්මය නැසීමෙන් විනය නස්නේ ය. විනය නැසීමෙන් ධර්මය නස්නේ ය. මෙය මතු කාලයෙහි පහළ වන්නා වූ දෙවැනි අනාගත භය වන්නේ ය.

මහණෙනි අනාගත කාලයෙහි කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා නැත්තා වූ භික්ෂූහු ඇතිවන්නාහ. කාය, සීල, චිත්ත, ප්‍රඥා භාවනා නැත්තාවු ඒ භික්ෂූහු අභිධර්ම කතා, වේදල්ල කතා, කියන කල්හි අනුන්ගේ ගුණවල සිදුරු දැක්වීම, අනුන්ට නිග්‍රහ කිරීම් ආදි වශයෙන් පාපයට බැස සිටීමෙන් ධර්මය තේරුම් නොගනිති. මහණෙනි මෙසේ සමථ විදර්ශනා සංඛ්‍යාත ධර්මය නැසීමෙන් විනය නැසීම ද විනය නැසීමෙන් ධර්මය නැසීම ද වේ. මෙය ද අනාගත කාලයේ පහළ වන්නා වූ තුන්වැනි අනාගත භය වන්නේ ය.

මහණෙනි, අනාගත කාලයෙහි කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. කය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා නැත්තා වූ ඒ භික්ෂූහු තථාගත භාෂිත වූ, ගැඹුරු වූ, අර්ථ ඇත්තා වූ ලෝකෝත්තර ධර්මයන් දක්වන්නා වූ ස්කන්ධාදී ධර්ම පිළිබඳ වූ ඒ ධර්මයෝ වෙත්ද? ඒ ධර්මයන් කියන කල්හි නො අසන්නාහ. ඒවාට කන් නොදෙන්නාහ. ඒවා තේරුම් ගැනීමට නොසිතන්නාහ. ඒ ධර්මයන් උගත්හ. පද්‍ය බන්ධනාදී වශයෙන් කවියන් විසින් සම්පාදනය කරන ලද්දා වූ චිත්‍රාක්ෂර, චිත්‍ර ඛ්‍යඤජන විසින් කරන ලද්දාවූ යම් සූත්‍රයන් වෙත් ද ඒවා අසති. ඒවාට කන්දෙති. ඒවා දැන ගැනීමට සිත් යොදති. ඒවා උගත යුතු, භාවිත කළ යුතු දේ හැටියට සලකති. මහණෙනි, මෙසේ ධර්මය නැසීමෙන් විනය නස්නේ ය. විනය නැසීමෙන් ධර්මය නස්නේ ය. මෙය අනාගතයෙහි ඇතිවන හතරවැනි භය වන්නේ ය.

මහණෙනි, අනාගත කාලයෙහි කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා නැත්තා වූ භික්ෂූහු ඇති වන්නාහ. කාය, සීල, චිත්ත, ප්‍රඥා භාවනා නැත්තා වූ එම ස්ථවිර භික්ෂූහු චීවරාදී ප්‍රත්‍යයන් වැඩි කර ගැනීම පිණිස පිළිපදින්නෝ වන්නාහ. ශාසනය ලිහිල් කොට ගන්නෝ වන්නාහ. නීවරණ වැඩීමෙහි පෙරටුව ගමන් කරන්නෝ වන්නාහ. විවේකය ගැන අතැර දැමූ බලාපොරොත්තු ඇත්තෝ වන්නාහ. නොපැමිණියා වූ ධ්‍යාන විදර්ශනා මාර්ග ඵලයන්ට පැමිණීමට, නොලැබූ ධ්‍යානාදිය ලැබීමට, ප්‍රත්‍යක්ෂ නොකළ දෑ ප්‍රත්‍යක්ෂ කිරීමට වීර්ය නොකරන්නාහ.

මෙසේ ධර්මය නැසීමෙන් විනයේ නැසීම වේ. විනය නැසීමෙන් ධර්මයේ නැසීම වේ. මහණෙනි දැනට නොපහළ වූ මේ පස්වැනි අනාගත භය මතු කාලයේ දී පහළ වන්නේ ය. මහණෙනි එය තොප විසින් දැන ගත යුතු ය. දැන ගෙන එය ප්‍රහාණය කිරීමට උත්සාහ කළ යුතු ය.

මහණෙනි දැනට නොහට ගත්තා වූ මෙම අනාගත භය පහ මතු කාලයේ දී ඇති වන්නාහ. තොප ඒවා තේරුම් ගත යුතු ය . තේරුම් ගෙන ඒවා ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ කළ යුතු ය.

මෙහි කාය භාවනා යනු කය පිළිබඳ වූ විදර්ශනාව ය. සීල භාවනා යනු සිල් පිරිසුදු කිරීම ය. චිත්ත භාවනා යනු සමාධි භාවනාව ය. ප්‍රඥා භාවනා යනු විදර්ශනා වැඩීම ය.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා දැනට වසර දෙදහස් පන්සිය හැට හතක් ගෙවී ගොස් ය. එදා බුදුරජාණන් වහන්සේ දුටු ඒ අනාගත භය වර්තමාන ශාසනයේ මුල් බැස ගොස් තිබෙන අයුරු මැනවින් දැකිය හැකි ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ යුතුකම සහ වගකීම විය යුත්තේ එම භය පහ තේරුම් ගෙන ඒවා ප්‍රහාණය කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් වීර්යය වැඩීමයි.

නවම් අමාවක

මාර්තු 09 සෙනසුරාදා
අ.භා. 06.18 අමාවක ලබා
10 ඉරිදා අ.භා. 02.32 ගෙවේ.
10 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]