හැමදාම සතුටින් ඉන්න ලද දෙයින් සෑහෙන්න

හැමදාම සතුටින් ඉන්න ලද දෙයින් සෑහෙන්න

සිත පුදුමාකාර ය. ඉවසිල්ලෙන් සිත ගැන අවධානයෙන් පසුවනවා නම් සිත ගැන බොහෝ දේ උගත හැකි ය. සාමාන්‍යයෙන් සිතේ ස්වභාවය නම් යමක් ලැබෙන තුරු හොඳ ලෙස දැනීම ය. ලැබීමෙන් පසු, තමන්ට අයිති වුණාට පසුව ඒ සිත ම තවත් අලුත් දෙයක් ඉල්ලනවා. යම් දෙයක් ලබන්නට පෙර, එය තමන් සතු කර ගන්නට පෙර එනම්, රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශයේ සිට පුද්ගලයෙක් මුණගැසීම, වස්තුව ලබා ගැනීම, ධන ධාන්‍ය හිමි කර ගැනීම, ඇඳුම් – පැළඳුම් යාන වාහන ආදී වශයෙන් තමන් සතු කර ගන්නා තුරු සිතට බලවත් ඕනෑකමක් වේ. ඒ දේ දකින්න, ඒ දේ දැනෙන්න, ඒ දේ ළං කර ගන්න. ඒ ගැන සිත සිතා සිත මොනතරම් බලාපොරොත්තු ගොඩනඟනවා ද?

එහෙත් සිතේ ඊළඟ ස්වභාවය වන්නේ, යමක් තමන් සතු වූ පසුව තමන්ට අයිති වූ පසුව ටික වේලාවකින්, ටික දවසකින් තවත් අලුත් දෙයක්, අලුත් පෙනුමක්, අලුත් හඬක්, අලුත් රසයක්, අලුත් ස්පර්ශයක්,අලුත් සිතිවිලි ඉල්ලීම ය. සාමාන්‍ය ස්වභාවය මෙය නම් අප කුමක් ද කරන්නේ.

අපි මෙතැන දී ආධ්‍යාත්මික කියන වචනයට අවධානය යොමු කරමු. ඔබ යමක් ලබන්නට පෙර බොහොම ඇල්මෙන් බලාපොරොත්තු වූ පුද්ගලයන් හෝ යම් වස්තුවක් හෝ තමන්ට අයිති වූ පසුව එය සාමාන්‍ය කෙනෙක්, සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. සාමාන්‍ය දෙයක් බවට පත් වුණාට පසුව තමන්ට ලැබුණ දේ, ළඟ තියෙන දේ ප්‍රමාණවත් යැයි සිතන්නට සිත පුරුදු කළ යුතු වනවා. අලුත් පුද්ගලයෝ සොයන්න, ළං කර ගන්නට උත්සාහ නො කරන තැනට ආධ්‍යාත්මික ශක්තියක් මතු කර ගන්නට ඕනෑ. අපි එයට කියනවා ජීවිතයේ සත්පුරුෂකම මතු කර ගන්න පුළුවන්කම තිබෙන්න ඕනෑ කියලා.

“මම” කියන මමත්, ස්ථිර, සදාකාලික නොවන ලෝකයක මට හමු වූ පුද්ගලයන්, මා සතු වූ වස්තුව සදාකාලික වන්නේ කෙසේ ද? එසේ නම් අපට හමු වූ අය අප ලබා ගත් දේ සමඟ ලද දෙයින් සතුටුව ඒ තුළින් සිතේ සතුට වෙමු උපදවා ගෙන අපි ජීවිතය පවත්වමු. එසේ නොවුණොත් අලුත් රූප, අලුත් ආඝ්‍රහන,අලුත් ස්පර්ශ ලබන තුරු හොඳයි. ලැබුණාට පසුව ඒක එපා. අලුත් දෙයක්, අලුත් දෙයක් කියා සොයා ගෙන ගිහිල්ලා කවදා ද නිමාවක් දකින්නේ. එයට කියන්නේ අතෘප්තිකර ආශාව කියලයි. හරියට මහ සාගරයට මොනතරම් ජලය වැටුණත් සීමාවක් නැහැ වගේ.

ගින්දරට මොනතරම් ගස්, දර කපල දැම්මත් පිළිස්සීමේ කෙළවරක් නැහැ වගේ. අභාවිත සිතකට , එසේත් නැති නම් අපි කියන පෘථග්ජන සිත්වලට මොනතරම් ලැබුණත් සීමාවක් නැහැ. එහෙම නම් ඔය සාමාන්‍ය කියන සිත, පෘථග්ජන කියන සිතට අපි පුරුදු කරමු ලද දෙයින් සතුටු වෙන ආකාරය. වෙනස් වන ලෝකයක් තුළ අපි, ඒ වෙනස්වීම සිතෙන් පිළිගෙන හට ගත් අරමුණු වෙනස් නොවෙන ආකාරයකට පැවැත්වීමට උත්සාහ ගනිමු. ඒ ඔබ සිතේ ඇති කර ගත්ත ආදරය, කරුණාව, ලෙන්ගතුකම, මෛත්‍රිය හා කැඩෙන බිඳෙන තැන්, වස්තුවක් වුවත් එය ප්‍රතිනිර්මාණය කර ගන්නවා. හැබැයි හඬා වැළපෙන්න අවශ්‍ය නැහැ.

මම මගේ ජීවිතය ලද දෙයින් සතුටුව, ලැබූ දෙයක් සමඟ සතුටින් ජීවත්වන කෙනෙක් කියා සිතෙන් සතුට මතු කර ගන්න පුළුවන්. අපි මෙහෙම සිතුවොත්, පුද්ගලයන් සමඟ නම් ඔබ මුලින් දුටු මුහුණේ පෙනුම වෙනස් වෙලා යයි. දත් ගිලිහී යයි. හම රැළි වැටෙයි. කෙස් ගැලවී යයි.

ශරීරය දිරාගෙන යයි. ඒ වුණත් ඔබ සිතුවා නම් හදවතේ ලස්සන ගැන ඒ තමයි, සත්පුරුෂකම. ගුණවත්කම. බාහිර රූපයේ ඇතිවන වෙනස්කම්වලට පිළිතුරු සොයන්න පුළුවන්. ඒ රූපයේ වෙනස්කම්වලට බෙහෙත්– හේත් කරනවා. හැබැයි සිතේ ඇතිවන ලෙන්ගතුකම, මෛත්‍රිය, කරුණාව තිබෙන තැන මේ අතෘප්තිකර ආශාවන්, ඔස්සේ දිව යන්නේ නැතිව ඔබ මුලින් සිතේ ඇති කර ගත් සිතේ සැනසිල්ල. සංතෘෂ්ටිය අපට පවත්වා ගන්න පුළුවන් නම් එතැන මනුස්සකම තියෙනවා. ඔබේ ම ජීවිතය තුළින් මේ මොහොතෙත් ස්වාමියා – බිරිඳ , මව්පියන් දරුවන් ආදි වශයෙන් ඔබ ගැන සිතා බලන්න.

සැනසීම තිබෙන්නේ තමන්ගේ කර ගැනීම, ළං කර ගැනීම තුළ නොවෙයි. අවබෝධයෙන් තේරුම් ගෙන යථාර්ථයට මුහුණදීම තුළයි

නවම් අමාවක

මාර්තු 09 සෙනසුරාදා
අ.භා. 06.18 අමාවක ලබා
10 ඉරිදා අ.භා. 02.32 ගෙවේ.
10 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]