ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු උදාර සංඝ පීතෘවරයාණන් වහන්සේ

ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු උදාර සංඝ පීතෘවරයාණන් වහන්සේ

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ භික්ෂු ශාසනය විශිෂ්ට සඟ පරපුරකින් පැවැත එන්නකි. අද්විතීය ධර්ම කථික, ධර්මධර, භාවනාධර, භික්ෂුන් වහන්සේ මෙන්ම අභීත, දේශමාමක, ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ ද ශාසන ඉතිහාසය ආලෝකවත් කර ඇත.

අභීත ස්වාමීන් වහන්සේ අතර වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ බුදු දහම වෙනුවෙන් දිවි පරදුවට තැබූ එක් සංඝ පීතෘ රත්නයක් ලෙස ප්‍රසිද්ධ ය.

1815 මාර්තු 2 දින ඉංගී‍්‍රසි උඩරට බලය අල්ලා සිටියදී ඉංගී‍්‍රසි කොඩිය බිම දමා නැවත සිංහල කොඩිය එසවූයේත්, ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඉංගී‍්‍රසින්ට අයිති වීමට නොදී සිංහලයන්ට භාරදීමට කටයුතු කරන විට සිරදඬුවම් වින්දේත් වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ ය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ ගමෙහි 1795 දී බමුණකොටුවේ රාලහාමිගේ කිරිහාමි නමින් උපත ලද ස්වාමීන් වහන්සේගේ පියා හේරත් මුදියන්සේලාගේ බමුණකොටුවේ රාල විය. වයස අවුරුදු දොළහේ දී පමණ පූජ්‍ය නාවින්නේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණයෙන් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ භික්ෂුවක් ලෙස ශ්‍රමණභාවය ලැබීය. ඉක්මනින් ම උපසම්පදාව ලැබූ හිමියෝ වාරියපොළ ශෛලතලාරාමය (ශ්‍රී සුමංගල පිරිවෙන් රාජ මහා විහාරය) විහාරයේ අධිපති ලෙස කලක් කටයුතු කළහ. අස්ගිරි නිකායේ අනුනායක ධුරය උන්වහන්සේට පිරිනැමුණු පසු ශ්‍රී දළදා මාලිගාවේ කටයුතු වෙනුවෙන් මහනුවරට වැඩම කර උදාර ශාසනික මෙහෙවර ආරම්භ කළහ.

අනුනායක තනතුරට පත්වීමත් සමඟම ධර්මධර භික්ෂුවකගේ මනා වූ ශාස්ත්‍රීය දැනුමත්, සම්බුද්ධ ශාසනයත්, ලංකාදීපයත් රැකගැනීමේ අභීත අරගලයට උරදීම ද ඇරඹූහ.

ශ්‍රී දළදා වහන්සේ හා උඩරට වැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා එවකට සිටි භික්ෂූන් වහන්සේ පෘතුගීසි, ලන්දේසි, ඉංගී‍්‍රසියීන්ගේ ආක්‍රමණයන්ට විරුද්ධව මහත් කැපවීමෙන් කටයුතු කළහ. නිදහස් අරගලයේ දී උඩරට රාජ්‍යය විදේශ ආක්‍රමණිකයන්ගෙන් බේරාගැනීම සඳහා මෙසේ කැපී පෙනුන, සංඝ පීතෘවරයාණන් කෙනෙක් වූයේ වාරියපොළ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ ය.

උඩරට කැරැල්ල අසාර්ථක වීමෙන් පසුව උඩරට සිංහල නායකයෝ උඩරට රාජ්‍ය බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට පවරාදීම සඳහා උඩරට ගිවිසුම සකස් කරමින් සිටියහ. 1815 මාර්තු මස 02 වැනි දින උඩරට ගිවිසුම අත්සන් කරන දිනයේ දී ගිවිසුම අත්සන් කිරීමට පෙර බ්‍රිතාන්‍ය සොල්දාදුවකු විසින් ශ්‍රී දළදා මාලිගාවේ තිබූ සිංහල කොඩිය පහතට හෙළා බ්‍රිතාන්‍ය කොඩිය එසවීමට ක්‍රියා කළේ ය. මෙම සිද්ධිය දුටු අනුනායක වාරියපොළ ශ්‍රී සුමංගල හිමියෝ වහා එතැනට වැඩියහ.

නීතියටත්, සදාචාර ප්‍රතිපත්තිවලටත් එකඟ නොවූ මේ ක්‍රියාවෙන් සිංහල ජාතියටත්, බෞද්ධයාටත් මහත් අවමානයක් සිදුවුණා යන සිතිවිල්ලෙන්, අත්සන් තැබීමට පෙර ඉංගී‍්‍රසි කොඩිය අහසෙහි ලෙළදෙනු දුටු අභීත භික්ෂූත්වය නැඟී සිටින ලදි. සිංහල ජාතිය පිළිබඳ අභිමානයෙන් ගිවිසුම අත්සන් කරන තෙක් උඩරට රාජ්‍ය අයත් වන්නේ සිංහලයන්ට ය. යන අදහසින් මෙසේ පවසා සිටින ලදි. “බොල අර රට පාවා දෙන ගිවිසුම අත්සන් කරා ද?”යි එහි උන් සිංහලයෙක්ගෙන් ඇසීය.

“තවම නැත හාමුදුරුවනේ” යි ඔහු කී විට

“එහෙම නම් කොහොමද පරසුද්දගේ කොඩිය මෙතන උස්සලා තියෙන්නේ”

“මේ සිංහල රට තවමත් අයිති අපිටයි. ගිවිසුම අත්සන් කිරීමට කලින් තොපගේ කොඩිය එසවීමට ඉඩ දෙන්නට බැහැ. එය එසවිය හැක්කේ ගිවිසුම සිංහලෙන් ද කියවා අත්සන් තැබීමෙන් පසුවයි.”

මෙම අභීත ප්‍රකාශය කළ උන්වහන්සේ එකෙණෙහි ම ඉංගී‍්‍රසි කතිර කොඩිය බිම දමා පාගා සිංහ කොඩිය එසවූහ. තව ස්වල්ප මොහොතකින් ඔවුන්ගේ පාලන බලයට යටත් වන බව දැන දැනම ජීවිතය ගැන පවා නොතකා සිංහලයාගේ අභිමානය ප්‍රදර්ශනය කරමින් මේ අභීත වීර ක්‍රියාව සිදු කළේ වෙන කිසිවෙක් නොව වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේ ය.

උඩරට රාජ්‍යයේ ගෞරවය පිළිබඳ ඉමහත් භක්තියෙන් කටයුතු කළ වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන්ගේ නිර්භීත ක්‍රියාව අද ද උඩරට වැසියන්ගේ මතකයේ පවතියි. සුමංගල හිමියන් එසේ ඔසවන ලද සිංහල කොඩිය වශයෙන් සලකනු ලබන්නේ ශ්‍රී ලංකාවේ අවසාන රජු විසින් භාවිතයට ගන්නා ලද සිංහ කොඩිය යි. සුමංගල හිමියන් විසින් ඉංගී‍්‍රසි කොඩිය පහත හෙළා දැමීම බ්‍රිතාන්‍යයන් විසින් සලකන ලද්දේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කරන ලද දරුණු ක්‍රියාවක් හා අනාගතයේ ඔවුන්ට විරුද්ධව අරගල කිරීමේ සංග්‍රාමයක් ලෙසිනි.

කුමන බාධක, හිරිහැර පැමිණිය ද සිය උදාර අරමුණු ඉටුකර ගැනීම සඳහා බුද්ධිමත්ව හා ධෛර්යවත්ව ක්‍රියා කිරීම වීරවරයන්ගේ ලක්ෂණයයි.

දේශමාමකත්වයෙන් කටයුතු කළ වාරියපොළ ස්වාමීන් වහන්සේ ද ලක් දෙරණෙහි අහිමි වී ගිය සිංහල කිරුළ යළිත් ඇතිකර ගැනීමේ උපක්‍රම කල්පනා කළහ. ඒ සඳහා පළමුව කළේ සිංහල රාජ්‍ය උරුමයේ සංකේතය වන ශ්‍රී දළදා වහන්සේ මාලිගාවෙන් පිටමං කර සිංහල බෞද්ධයකුට දළදා වහන්සේගේ අයිතිය පවරන තුරු එය ආරක්ෂා කර ගැනීමේ භාරදූර වගකීම තමන් වහන්සේ ම ගැනීමයි.

1818 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව උඩරට වැසියෝ කැරලි ගැසීම ආරම්භ කළහ. දේශය මුදාගැනීමේ අරගලයට නායකත්වය කැප්පෙටිපොළ දිසාවේ විසින් දරන ලදි. උඩරට රාජ්‍යයේ සම්ප්‍රදාය හා පිළිගැනීම අනුව යම් රජ කෙනෙකුගේ රාජ්‍යත්වය පිළිගැනෙනුයේ දළදා වහන්සේ එම කිරුළ සතුව පැවතීමෙනි. එමඟින් ජාතියේ පිළිගැනීම මෙන්ම ආරක්ෂාව ද තහවුරු වන බවත්, සාම්ප්‍රදායානුකූල පිළිගැනීමකි. මෙය මනාව වටහා ගත් අස්ගිරි අනුනායක වාරියපොළ ශ්‍රී සුමංගල මාහිමියන් විසින් ඉතා සූක්ෂ්ම ව කටයුතු කරමින් ගන්ධ කුටියේ තිබූ ශ්‍රී දළදා වහන්සේ ඉන් ඉවත් කර හඟුරන්කෙත ප්‍රදේශයට ගෙන ගොස් සඟවා තබන ලදී. පසුව උඩරට කැරැල්ල මෙහෙයවූ හා එයට නායකත්වය දුන් කැප්පෙටිපොළ දිසාවේ වෙත දළදා වහන්සේ භාරදී ඇත. දළදා වහන්සේ අත්පත් කර ගැනීම සාම්ප්‍රදායානුකූල ව රට පාලනයේ අයිතියක් ඇති බව සංකේතවත් කරවන්නකි.

දළදා වහන්සේ කැප්පෙටිපොළ දිසාවේගේ භාරයට පත්වීමේ ප්‍රවෘත්තිය පැතිර යෑමත් සමඟ කැරැල්ලට සහභාගි වූ අයගේ උත්තේජනයක් ඇති වූ අතර කැරැල්ල ඉක්මනින් ම ව්‍යාප්ත විය. මෙම කැරැල්ල බ්‍රිතාන්‍ය පාලනය ඉතාම දරුණු ලෙස මර්දනය කළේ ය.

සුමංගල හිමිපාණන්ට අවශ්‍ය වූයේ දළදා වහන්සේට පුද සත්කාර සිදු කරවීම ම පමණක් නොවේ. සිංහල බෞද්ධ රජ තනතුරේ පරම සංකේතය සිංහල බෞද්ධයකු වෙත ලබා දී උඩරට සිංහල රාජ්‍යය යළි පිහිටුවීමයි. එහෙත් උන්වහන්සේගේ කැපවීමේ ප්‍රතිඵල ලැබීමට එදා අපේ සිංහල බෞද්ධයාට භාග්‍යයක් නොවීය. බලාපොරොත්තු නොවූ පරිදි එක් සිංහල දිසාවේ කෙනෙක් දුන් ඔත්තුවක් අනුව මාතලේ ප්‍රදේශයේ දේශපේ‍්‍රමීන්ගේ ස්ථානයක් වැටලූ, ඉංගී‍්‍රසීහු වසර 1818 නොවැම්බර් 02 වැනි දින දළදා වහන්සේ නැවත තමන් සතු කර ගත්තෝ ය. සුමංගල හිමියන් සිර භාරයට ගෙන රාජ්‍යද්‍රෝහී චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කොට යාපනයේ බළකොටුවෙහි බන්ධනාගාරගත කරන ලදී.

මේ වීරෝදාර සිංහල බුද්ධ පුත්‍රයා ඉංගී‍්‍රසින්ගේ යුදාධිකරණ හමුවට පමුණුවා සිරගත කරන ලද්දේ එකල මහනුවර දළදා මාලිගාවේ තැන්පත් කර තිබුණු දළදා වහන්සේ සොරාගෙන යෑමට සහභාගි වීමේ චෝදනාව මත ය.

1821 අපේ‍්‍රල් මස 13 වැනි දා ඉංගී‍්‍රසි ආණ්ඩුකාරයා විසින් පොදු සමාවක් යටතේ වාරියපොළ සුමංගල හිමියන් නිදහස් කරනු ලැබීය.

සිංහලයන්ගේ පාවාදීම් හා අකෘතඥකම ගැන බෙහෙවින් කලකිරීමට පත්ව සිටි සුමංගල හිමියෝ වාරියපොළ සිය පන්සලට හෝ මහනුවරට හෝ ආපසු නොවැඩියහ. නිදහස ලත් දා සිට යාපනයේ පිඬු සිඟා යැපෙමින් ජීවත් වූ අතර 1831 පෙබරවාරි 05 වැනි දින තවත් අමරණීය නාමයක් ජාතියට එක් කරමින් අපවත් වී වදාළහ.

වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨ සිංහල බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි. “ජාතියේ මුරදේවතාවන් භික්ෂූන් වහන්සේ ය “යන කියමන ක්‍රියාවෙන් ඔප්පු කරමින් වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වයත්, ලංකා සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවයත් උදෙසා තම යුතුකම් කොටස මැනවින් ඉටුකළ “උදාර සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක්” වශයෙන් ලාංකේය ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත.

නවම් අමාවක

මාර්තු 09 සෙනසුරාදා
අ.භා. 06.18 අමාවක ලබා
10 ඉරිදා අ.භා. 02.32 ගෙවේ.
10 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]