[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සදහම් පද අරුත් දකිමු

සදහම් පද අරුත් දකිමු

1. සප්තව්‍රත දහම්පද :–

කුමන බාධාවක් ආවත් කඩ නොකොට රැකිය යුතු ගුණ ධර්මයන් “ව්‍රත” නම් වේ. දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා වූ “මඝ” මානවක (තරුණයා) මිනිස් ලොවදී, ගුණධර්ම සතක් සපුරාලූ බව ධම්මපද ගාථා 30 වැන්නට අදාළව එන අටුවා කතාවේ සඳහන් වේ. බුද්ධ දේශනාවේ සප්තව්‍රතපද මේවා නම් වේ.

දිවි ඇතිතෙක් මව – පියා පෝෂණය කිරීම

කුලදෙටුවන් (වැඩිහිටියන්) පිදීම (ගෞරවාදර දැක්වීම හා උපකාර කිරීම)

කතාකරන හැමවිට සිත් සතුටුවන මුදු මොළොක් වචන කතා කිරීම.

කේලාම් නොකීම, (කේලාම් කීම් ඊර්ෂ්‍යාව හා කුහකකම් පාදක කොට ඇතිවේ)

පහවූ මසුරුමල ඇතිව දීමෙහි ඇලී සිටීම.

සත්‍යයම කතා කිරීම,

කිසිත් කරුණක දී නො කිපීම.

අපගේ එදිනෙදා ජීවිතයේ දී පහසුවෙන් පුරුදු කරවා ගත හැකි මේ දහම්පද බොහෝ දෙනා ළඟ නැතත් කඩ නොකොට රැක ගමු. මේ පින් කුසලයක් දක්වා වඩා නිවනට ළඟ වෙමු.

තථාගත බෝධිය හෙවත් සම්බුද්ධ රාජ්‍යය ලැබූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දින 49ක් පී‍්‍රතිය ආහාර කොට වළඳමින් ජයශ්‍රී බෝධි මණ්ඩපය ආශි‍්‍රතව වැඩ සිටි ස්ථාන හත.

පළමු සතිය :–

බෝධි මූලයෙහි පිහිටුවා ගත් බුද්ධත්වය ලැබීමේ දී වැඩ සිටි බෝපළගෙහි ම (ආසනයෙහි ම වැඩ සිටීම)

දෙවෙනි සතිය :–

උපකාර කළ බෝධියට කළගුණ සැලකීම් වස් බෝ පළඟින් නැඟී සිට බෝධියට මුහුණලා වැඩ සිටිමින් ඇස පියා නො හෙළමින් බෝධීන් වහන්සේ දෙස බලා සිටීම (අනිමිසලෝචන පූජාව) (අනිමිස – ඇසිපිය නොහෙලීම/ ලෝචන - ඇස)

තුන්වෙනි සතිය –

බෝධීන් වහන්සේ අසලම සක්මන් කිරීම.

හතරවෙනි සතිය :–

තමන් වහන්සේ අවබෝධ කළ ධර්මයෙහි ගැඹුර (අභිධර්මය) මෙනෙහි කරමින් රුවන්ගෙහි (රතනාඝරය) වැඩ සිටීම. දඹදිව ශ්‍රී මහා බෝධි රුක්ඛයට වයඹ දෙසින් අදත් සංකේතවත් කරවන මේ ඝරය (ගෙය) ඇත. එදා තිබූ ගෙය දෙවියන් විසින් නිමකර දෙන ලද්දක් බව කියැවේ.

පස්වෙනි සතිය :–

නේරංජනා ගඟබඩ අසල අජපාල නුගරුක සෙවණෙහි ගත කළ සේක්හ. මේ සතිය තුළ මාරදෙව්පුත් පැමිණ බුදුරජාණන් වහන්සේගේ සිත වෙනස් කිරීමට හා පිරිනිවීමට කළ ආරාධනයකින් පැරද කනස්සල්ලෙන් සිටියදී තණ්හා – රතී රගා මාර දූන් තිදෙනා පැමිණ නානා විලාසිතා පා නටමින් කාමයට පොළඹවා ගැනීමට උත්සාහ කිරීම ද “හුහුංක” බමුණාගේ මුණ ගැසීම ද සිදුවීම විශේෂ වේ.

හයවෙනි සතිය:–

මුචලින්ද (මිදෙල්ල) රුක මුල වැඩ සිටීම :– මෙහිදී ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් නොතෙමී සිටීම සඳහා මුචලින්ද රුක ඇසුරු කොට සිටි නාරජු තම පෙණ ගොබයෙන් ආවරණය සැලසූ (ඉඩ කඩ තබා) බව සඳහන් ව ඇත.

හත්වෙනි සතිය :–

රාජායතන (කිරිපලු) රුක්මුල වැඩ සිටි සේක්හ. මේ වන විට දෙවියෙක් ව සිටි බුදුරදුන්ගේ පෙර ආත්මයේ මවකගේ මඟ පෙන්වීම මත තපස්සු භල්ලුක වෙළඳ සහෝදරයන් දෙදෙනා බුද්ධත්වයෙන් පසු පළමු ආහාරය ලෙස විලඳ, මීපැණි පූජා කොට පළමුවෙන් බුදුන්, දහම්, සරණ ගිය උපාසකයෝ බවට පත්වූහ. බුදුරජාණන් වහන්සේ ඔවුනට කේශ ධාතු මිටක් ලබාදී පුද පූජා පවත්වා පින් ලබා ගැනීමට මඟ සැලැස්වූහ. මේ සහෝදරයෝ දෙදෙනා වෙළෙන්දෝ හෙයින් ලංකාවට ද පැමිණීම අනුව අපට ද ලැබී ඇති එම කේශධාතු කොටසක් නිදන්කොට තනා ඇති ගිරිහඬු සෑය (ත්‍රිකුණාමලය) වැඳ පුදා පින් රැස්කර ගැනීමට හැකි වාසනා ඇත්තෝ වූහ. මේ දෙදෙනා බුරුම ජාතිකයන් බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එහෙයින් බුරුම ශාසන ඉතිහාසයේ ද මේ නම් දෙක සඳහන් ව ඇති අතර, එහිද කේශධාතු නිදන් කළ චෛත්‍යයක් බුරුමයේ කළ සංචාරයක දී අපට ද දැක වැඳ පුදා ගැනීමට හැකිවීම වාසනාවකි.

“පඨමං බෝධි පල්ලංකං
- දුතියඤ්ච අනිමිසං
තතියං චංකමනං සෙට්ඨං
චතුත්‍ථං රතනාඝරං
පඤ්චමං අජපාලඤ්ච
මුචලිෙන්‍දන ඡට්ඨමං
සත්තමං රාජායතනං
වෙන්‍දතං මුනි සේවතිං”

“මුනීන්ද්‍රයන් වහන්සේ ඇසුරු කළ මෙම ශුද්ධ භූමි මම වඳිමි.”

සප්ත විසුද්ධි :– විසුද්ධි යනු නිවනට නමෙකි. ඒ නිවනට යන මඟ පිරිසුදු කෙරෙන ධර්මතා 7 මෙනම් වේ

සීල විසුද්ධි :–

නිවන අරමුණ කොටගත් කය – වචන දෙකේ සංවරයයි. හික්මීමයි. මෙම හික්මීම (සීලය) අනුපිළිවෙළින් ප්‍රණීත – ප්‍රණීතතම, ප්‍රණීතතර වශයෙන් ඉහළට නැඟී යයි. ප්‍රාතිමෝක්ෂ, ඉන්ද්‍රිය සංවර, ආජීව පාරිශුද්ධ හා ප්‍රත්‍ය සන්නිශ්‍රීත යන සිවු පිරිසුදු සීලය, ප්‍රණීතතර ශ්‍රේෂ්ඨ සීලයම වෙති. සීල විසුද්ධිය නම් මෙයයි. මෙය නැත්තේ ඉතිරි විසුද්ධි කිසිත් නැත.

චිත්ත විසුද්ධි :–

සිල්වත් වීමෙන් හා පඤ්ච නීවරණ යටපත් කිරීමෙන් ලැබෙන සිතේ සමාධිය (හික්මීම) චිත්ත විසුද්ධි වේ. උපචාර සමාධි හා අර්පණා සමාධි වශයෙන් මේ සමාධිය දෙආකාරය. අර්පණා සමාධිලාභීහුට අෂ්ට සමාපත්ති දක්වා යා හැකි ය. නිවන අරමුණ කර ගත්තහු රූපාවචර සතරවෙනි ධ්‍යානයෙන් නතරව අරි අටඟි මඟට බැස සම්මා දිට්ඨිගත ව නාම රූප දෙක අරමුණට ගෙන ඒවා කෙරෙහි ත්‍රිලක්ෂණ වඩමින් ඉතිරි විසුද්ධි සපුරාලිය යුතු ය.

දිට්ඨි විසුද්ධි :–

සීල විසුද්ධි – චිත්ත විසුද්ධි පිහිටියේ අනතුරුවම නිවනට අරමුණ වන පරිදි නාම – රූපයන්හි ඇති තතු දැක ගැනීම මෙ නම් වේ. නාම – රූප එකක් නොව දෙකකි. මේ දෙකම අනිත්‍ය – දුක්ඛ – අනාත්ම ධර්මතාවලට යටත් බව ආත්ම සංකල්පයෙන් බැහැරව නොමුළාවෙන් (ප්‍රඥාවෙන්) දැකීම මේ විසුද්ධියයි.

කංඛාවිතරණ විසුද්ධි :–

දිට්ඨි විසුද්ධියෙන් නාමරූපයන්ගේ ඉපදීම, පැවැතීම, භංගවීම ආදීන්ට හේතු සොයා බලන විට අතීත – වර්තමාන – අනාගත නාමරූප ස්කන්ධයන් පිළිබඳ හා බුද්ධාදී අටතැන පිළිබඳ උපදනා යම් සැකයක් වේ ද එය පහව ගිය නුවණ මේ විසුද්ධිය වේ.

මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි :– නිවනට මේ මඟ ය. මේ මඟ නොවේ ආදී වශයෙන් මඟ – නොමඟ දැනගත් (පිරිසුදු දැනීම) නුවණ මෙනමින් හඳුන්වයි. මෙහි මඟ නම් ලෝකෝත්තර මාර්ගයයි. එනම් අරිය අටඟිමගයි. පටිච්ච සමුප්පන්න (අවිජ්ජාපච්චයා සංඛාරා) අවබෝධයට යන මඟයි.

පටිපද්‍රඤාණදස්සන විසුද්ධි :–

මෙය විපස්සනා හෙවත් විශේෂ කොට දක්නා ඤාණ (ප්‍රඥා) ප්‍රභේදයකි. පරතෝඝෝෂයෙන් (අනුන්ගෙන් අසා දැනගත්) හෝ අනුමාන වශයෙන් හෝ ධර්මය දැන උපදනා දුර්වල ඤාණයක් නොව, සංස්කාරාදී ඒ ඒ ධර්ම පිළිබඳ යථා තත්ත්වය මස් ඇසින් දක්නා සේ ප්‍රඥා ඇසින් (සිතේ – කයේ බර හැරදැමූ සිතින් – පස්සද්ධි සිතින්) දක්නට දක්ෂවන හෙයින් ඥාන දර්ශන නම් වේ. මේ වන විට කෙලෙස්වලින් ද ඈත්ව සිටින හෙයින් පටිපදාඤාණදස්සන විසුද්ධියයි කියනු ලැබේ.

ඤාණ දස්සන විසුද්ධි :–

සියලු සංස්කාරයෝ (සිත මුල්කොට සකස් කර ගන්නා සියලු ධර්මතා – ඇසින් රූප – දිවෙන් රසාදී) නිත්‍ය නොවන බව (අනිත්‍ය බව) ප්‍රඥාවෙන් (ඉහත සය විසුද්ධි ධර්ම ඤාණවලින් දැකීම) දැන, සංස්කාරයන්ගෙන් තොරවූ නිවන අපේක්ෂා කොට සිටින පෘථග්ජන ගෝත්‍රයෙන් මිදී ආර්ය ගෝත්‍රයට පිළිපන් ස්වභාවය මේ පිරිසුදු (විසුද්ධි) බව වේ. නැතහොත් ආර්ය මඟෙහි ප්‍රථම මඟ වූ සම්මා දිට්ඨියට (නිවැරැදි දැක්මට) ප්‍රඥාවෙන් යුතුව පිළිපන්නේ වේ. තවද සෝතාපත්තිමග්ගඤාණාදී මග්ගඤාණ සතරට ප්‍රවිෂ්ට වී දුකෙහි කලකිරී නිවන් මඟට ඇතුළු වූවා සේ ය.

මේ සප්ත විසුද්ධි ධර්මතාවන්ගෙන් තම ශ්‍රාවකයන්ට තථාගත බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන ලද්දේ පෘථග්ජන ගෝත්‍රයෙන් ආර්ය ගෝත්‍රයට යන යහපත් මඟ ම වේ.

සීල විසුද්ධියෙන් සම්මාවාචා – සම්මා කම්මන්ත සහිත සම්මා ආජීවයෙන් යුක්තවීම.

චිත්ත විසුද්ධියෙන් නිවන අරමුණ කොටගත් සිතේ සමාහිත බව (ඒකග්ගතා)

දිට්ඨි විසුද්ධියෙන් ආත්ම දෘෂ්ටිය ඉවත් කර ගැනීම (සත්ත්ව – පුද්ගල – ආත්ම සංකල්පයෙන් ඉවත්වීම)

කංඛාවිතරණ විසුද්ධියෙන් ශාස්තෘවරයා හා ශාස්තෘදහම පිළිබඳ සැක දුරු කර ගැනීම, (යම් සැකයක් වේ ද විමුක්ති මඟක් ද නැත)

මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධියෙන් යා යුතු මඟ හා නොයා යුතු මඟ මනා සේ වටහා ගැනීම. (රැවැටී නොමඟ යෑම්ද වෙත්)

පටිපදාඤාණදස්සන විසුද්ධියෙන් විමුක්ති මඟෙහි තමන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වර්ධනය නිසා සිතත්, කයත්, සැහැල්ලු වේ. කයේ බරක් ද නැත.

ඤාණදස්සන විසුද්ධියෙන් ඉහත දක්වා ඇති සය විසුද්ධීන් මුල් කොට ගත් තම දැනීම් හා දැකීම් පිරිසුදු (විසුද්ධි) වී තිබීම හා චතුර්විධ ලෝකෝත්තර මාර්ගඤාණ සමඟ එක්ව පවතින ස්වභාවය ද පැහැදිලි කෙරේ.

(මජ්ක්‍ධිම නිකාය - 1 රථවිනීත සූත්‍රය – විශුද්ධිමග්ග අටුවාව)

නවම් පුර අටවක

පෙබරවාරි 16 සිකුරා පූ.භා. 08.59 පුර අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 08.20 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]