[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

2024-02-16 නවම් පුර අටවක පෝ දා

තරහව පාලනය කර ගනිමු

ලෝකයේ මනුෂ්‍ය සත්ත්වයා උපදින මොහොතේ සිට තරහව, කේන්තිය උරුම කරගෙන සිටිති. අලුත උපන් බිළිඳා තමන්ට සීතල හෝ උණුසුම වැඩි වෙන විට ඇඩීමෙන් කේන්තිය පිට කරයි. කිරි ටික වේලාවට නො ලැබෙන විට, නින්ද නැතිවන කොට අඬමින් තම කේන්තිය ප්‍රකාශ කරයි. ඇවිදින වයසට පැමිණ කතා කිරීමට නොහැකි සමයේ අත් පා විසි කරමින්, බිම පෙරළමින් තම කේන්තිය දක්වයි. කථා කිරීමට පුළුවන් වයසට ආ පසු වචනවලින් කේන්තිය පිට කරයි. මේ හැම කේන්තියක් ම දරුවා ප්‍රදර්ශනය කරන්නේ ළමා වයසේ සිටයි. ළමයින් අතර එය වෛරයක් තරම් දුරකට ව්‍යාප්ත වන්නේ නැත. දෙමව්පියන්ගේත්, වැඩිහිටියන්ගේත් හාස්‍යයට ම ඒවා හේතු වේ.

ළමා වයස ඉක්මවා වැඩිහිටියකු වූ පසු කේන්ති ගන්නේ කෑම-බීම, නින්ද, බිය, ඇඳුම්-පැළඳුම් ආදී කාමභෝගී සම්පත්වලට ය. වැඩිහිටියෙක් විවාහ වූ පසු බිරිඳගේ හෝ සැමියාගේ හෝ සිතිවිලිවලට, අදහස්වලට යම් යම් කටයුතුවලට අකැමැති වෙයි. තමා අකැමැති දේ කරන විට කේන්ති ගනියි. අඹුසැමියන්ට දරුවන් ලැබුණු පසු දරුවන් ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට විපත් පැමිණෙන හැම අවස්ථාවක ම කේන්ති ගනිමින්, බැන ගනිමින්, පහරදෙමින්, විවිධ හිංසා කරමින් ඇතැම් විට ඝාතන පවා සිදු කරමින් ආරක්ෂාව හා යහපත සැලසීමට පෙළඹෙයි. දෙමාපියෝ ආච්චී හෝ සීයා තත්ත්වයට පත් වුණු විට මුණුබුරන්ගේ ආරක්ෂාව හා සැපය වෙනුවෙන් දරුවන්ට වුවද කේන්තියෙන් කටයුතු කරමින් හෝ කුඩා දරුවන්ගේ සැපය හා සුවය ප්‍රාර්ථනා කරති.

මේ ආකාරයෙන් උපතේ සිට මරණය දක්වා ම මිනිස් සිතේ දැනුවත්ව හා නො දැනුවත්ව විවිධ හේතු නිසා කේන්තිය ඇති වේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පුද්ගලයා මුහුණු දෙනු ලබන අත්දැකීම් ය. ලෝකයේ මනුෂ්‍යයකුගේ සාමාන්‍ය ස්වභාවය මෙයයි. උපන් අය අතුරින් කේන්ති නොගිය පුද්ගලයෙක් ලෝකයේ සොයා ගැනීමට නො හැකි ය. එසේ නොවන්නේ නම් ඔවුහු බුදු, පසේ බුදු හෝ මහ රහතන් වහන්සේ වෙති.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව කේන්තිය හෙවත් තරහ අනාගාමි තත්ත්වය දක්වා පවතී. නිවනට බාදා පමුණුවන පංචනීවරණවල දෙවැනි කාරණය ලෙස මෙය හඳුන්වා දී ඇත. ලෝකයේ භෞතික සැප සම්පත්වලින් කොපමණ දියුණු වුවත් මෙම ව්‍යාපාද තත්ත්වය හෙවත් තරහ පාලනය කර ගැනීමට කටයුතු නො කරනවා නම් එම ව්‍යාපාරයේ හෝ ආයතනයේ බිඳ වැටීම ඉතා ඉක්මනින් සිදු වේ. බුදුරජාණන් වහන්සේ තරම් ව්‍යාපාදය ගැන කථා කළ වෙනත් ශාස්තෘවරයෙක් හෝ උගතෙක් නැත. ව්‍යාපාදයේ ආදීනව පැහැදිලි ව පෙන්වා දෙමින් ඒවායෙන් මිදී සතුට පිරුණු මනසක් හදා ගැනීමට ද මාර්ගය පෙන්වා දුන්හ.

රෝගය කේන්තිය, තරහ, ද්වේෂය ආදිය නම් එය නිට්ටාවට ම සුව කිරීමට දුන් බෙහෙත වන්නේ මෛත්‍රීයයි. ඉවසලා ඉවසලා බැරිම තැන ඉවසන්න පුළුවන් නම් එයයි බෞද්ධකම. ‘ඉවසීමෙන් සැනසීම ලැබේ.’ ‘ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය’ වැනි කියමන් බෞද්ධ ජන සමාජයේ ඇති වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පදනම් කරගෙන ය. නූතන සමාජය ආර්ථික අවපාතයකින් යුක්ත ය. ගෙදර මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට බැරි තත්ත්වයක් උදා වී ඇත. එබැවින් හැම අවස්ථාවක ම කල්පනා කාරීව ඉවසීමෙන් කටයුතු කළ යුතු ය. හැම විට ම මෛත්‍රී සිතින් කටයුතු කිරීමට පුරුදු විය යුතු ය. ඉවසීම නැති වීමෙන් අපට අහිමි වන දෙය නැවතත් කිසිම දිනක ලබා ගැනීමට නොහැකි බව මතක තබා ගත යුතු ය. අහිමිවුණු දේ නැවත ලබා ගත්තත් එය බිඳී ඇති බව සිතන්න. මෙලොවත් පරලොවත් සැපවත් කරන, සතුට පිරුණු ජීවිතයක් සකසන ප්‍රධාන අංගයක් වන්නේ මෛත්‍රියයි. එම තත්ත්වය නැති කර දමන්නේ කේන්තිය, තරහව හා ද්වේෂයයි.

නවම් පුර අටවක

පෙබරවාරි 16 සිකුරා පූ.භා. 08.59 පුර අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 08.20 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]