[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කර්ම විපාකය දිට්ඨධම්මවේදනීය වන හැටි

කර්ම විපාකය දිට්ඨධම්මවේදනීය වන හැටි

අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිය දී මෙම දේශනාව භික්ෂූන් වහන්සේ අරභයා වදාළ සේක. ලෝණඵල සූත්‍රය ලෙස හැඳින් වූ එම දෙසුම ලුණු කැටයක් උපමා කොට භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙසුමකි.

භාග්‍යවතුන් වහන්සේ වදාළ

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ ආකාරයට කියන්න පුළුවන්. මේ පුරුෂයා යම් ලෙසකින් යම් කර්මයක් කරයි ද, ඒ ඒ අයුරින් ඔහු විපාක ද විඳිනවා කියලා. ‘පින්වත් මහණෙනි, මෙබඳු දෘෂ්ටියක් ඇති කල්හි දුක් කෙළවර කොට අමා සුවය ලැබීමට අවස්ථාවක් උදා වන්නේ නෑ. පැණවෙන්නේ නැහැ.

පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ ආකාරයට කියන්න පුළුවන්. මේ පුරුෂයා යම් ලෙසකින් යම් කර්මයක් කරයි ද, ඒ ඒ අයුරින් ඔහු විපාක ද විඳිනවා. ‘පින්වත් මහණෙනි, මෙබඳු දෘෂ්ටියක් ඇති කල්හි දුක් කෙළවර කොට අමා සුවය ලැබීමට අවස්ථාවක් උදා වෙනවා.

පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අල්පමාත්‍ර වූ පව්කමක් කළොත් එයින් ඔහු නිරයට ඇඳගෙන යනවා. ඒ වගේම ඇතැම් පුද්ගලයෙක් ඒ පවම ඒ ආකාරයෙන් ම සිදු කළාට ඔහුට එය දිට්ඨදම්මවේදනීය ව විපාක දී පව අවසන් වෙනවා. ඉතා සුළුවෙන් හෝ ඔහුට පරලොව දී ඒ පව් විපාක දෙන්නේ නැහැ.

පින්වත් මහණෙනි, පුද්ගලයෙක් විසින් කරන ලද අල්පමාත්‍ර අකුසලය ඔහුව නිරයට ඇදගෙන යන්නේ ඇයි? ඇතැම් පුද්ගලයෙකුට මේ ජීවිතයේ ම විපාක දී අවසන් වන්නේ ඇයි? මෙහිලා ඇතැම් පුද්ගලයෙක් කයෙන් දුෂ්චරිතයේ යෙදෙනවා. වචනයෙන් දුෂ්චරිතයේ යෙදෙනවා. මනසින් දුෂ්චරිතයේ යෙදෙනවා. සිතිවිලි දුෂ්චරිත යි. ප්‍රඥාව දුෂ්චරිත යි. පටු සිතින් යුක්ත යි. ගුණදහම් අල්ප යි. අල්ප ගුණ නිසා දුක සේ ජීවත් වෙනවා. පින්වත් මහණෙනි, මෙබඳු ආකාරයේ පුද්ගලයා කරන ලද අල්පමාත්‍ර වූ අකුසලයක් නිසා විපාක දීලා ඔහු නිරයේ යනවා.

පින්වත් මහණෙනි, තව පුද්ගලයෙක් ඉන්නවා. ඔහුත් ඒ අකුසලය ම කරනවා. නමුත් නිරයේ නො යන්නේ ඇයි? ඒ පුද්ගලයා කයින් සුචරිතයේ යෙදෙනවා. සීලයෙන් සුචරිතයේ යෙදෙනවා. සිතින් සුචරිතයේ යෙදෙනවා. ප්‍රඥාවෙන් සුචරිතයේ යෙදෙනවා. පටු නොවූ සිතින් යුක්ත යි. මහත් වූ ගුණ දහමින් යුක්ත යි. අප්‍රමාණ ගුණ ඇතිව වාසය කරනවා. මෙබඳු පුද්ගලයා පෙර පුද්ගලයා මෙන් අල්පමාත්‍ර වූ පවක් සිදු කළා ද එය දිට්ඨධම්මවේදනීය වෙනවා. අනුමානයකින්වත් පරලොව විපාක දෙන්නේ නැහැ. බොහෝ විපාක දීම ගැන කවර කතා ද?

පින්වත් මහණෙනි, එය මේ වගේ දෙයකි. එක් පුරුෂයෙක් ලුණු කැටයක් ගෙන කුඩා දිය බඳුනකට දානවා. ඒ ගැන ඔබ කුමක් ද සිතන්නේ? ඒ කුඩා දිය බඳුනේ තිබෙන ජලය මේ ලුණු කැටය නිසා ලුණු රසයට පත් වෙනවා නේද?

එසේ ය ස්වාමිනි,

පින්වත් මහණෙනි, ඒ කුඩා දිය බඳුනෙහි තිබෙන්නේ ජලය ස්වල්පය යි. ඒ නිසයි අර ලුණු කැටය නිසා ජලය ලුණු රසයට හැරුණේ. පින්වත් මහණෙනි, ඒ වගේම යම් පුරුෂයෙක් පෙර ලුණු කැටය ප්‍රමාණයට ම තවත් ලුණු කැටයක් ගෙන ගංගා නම් ගඟට දමනවා. පින්වත් මහණෙනි, ඒ ගැන ඔබ කුමක් ද සිතන්නේ ද? ඒ ගංගා නදිය අර ලුණු කැටය නිසා ලුණු රසයට පත්වෙනවා ද?

ස්වාමීනි, එහෙම වෙන්නේ නැහැ.

එයට හේතුව කුමක් ද?

ස්වාමිනි, ඒ ගංගා නදියෙන් මහා ජල කඳක් තිබෙනවා. ඒ ජල කඳ අර කුඩා ලුණු කැටය නිසා ලුණු රසයට හැරෙන්නේ නැහැ.

අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක්ට අල්පමාත්‍ර වූ පව්කමක් කළත්, එයින් ඔහු නිරයට ඇදගෙන යනවා. පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් එබඳුම වූ අල්පමාත්‍ර වූ පව්කමක් කළා වුණත් එය දිට්ඨදම්මවේදනීය වෙනවා. අනුමානයකින්වත් පරලොව විපාක දෙන්නේ නැහැ.

පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් කයෙන් දුෂ්චරිතය, සිතින් දුෂ්චරිතය, සීලයෙන් දුෂ්චරිතය කරනවා. පටු සිතින් යුක්තයි. ගුණ දහමින් අල්ප යි. අල්ප ගුණ ඇතිව දුක සේ වාසය කරනවා. මෙබඳු ආකාරයේ පුද්ගලයා කරන ලද අල්පමාත්‍ර වූ කර්මයක් නිසා එයින් ඔහු නිරයට පැමිණෙනවා.

පින්වත් මහණෙනි, යම් පුද්ගලයෙක් විසින් එබඳු ම වූ අල්පමාත්‍ර වූ පව්කමක් කළොත් ද එය දිට්ඨධම්මවේදනීය වන්නේ අනුමානයකින්වත් පරලොව විපාක නො දෙන්නේ? බොහෝ විපාක දීම ගැන කියන්න දෙයක් නැති වන්නේ?

පින්වත් මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් සිටිනවා. ඔහු සුචරිතයෙන් යුක්ත යි. කයින්, සීලයෙන්, සිතින්, ප්‍රඥාවෙන් සුචරිතයේ යෙදෙනවා. පටු නොවූ සිතින් වාසය කරනවා. මහත් වූ ගුණ දහමින් යුක්තයි. අප්‍රමාණ ගුණ ඇතිව වාසය කරනවා. එබඳු පුද්ගලයා කුඩා පව්කමක් කළා වුවත් එය දිට්ඨධම්මවේදනීය විපාක දීලා අවසන් වෙනවා. අනුමානයකින් පරලොව විපාක දීමක් දෙන්නේ නැහැ. බොහෝ විපාක දීම ගැන කියන්න දෙයක් නැහැ.

පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් කහවනු භාගයක් හේතු කරගෙන හිරබත් කනවා. කහවණුවක් හේතු කරගෙනත් හිරබත් කනවා. කහවණු සීයක් හේතු කරගෙනත් හිරබත් කනවා. නමුත් පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් කහවණු භාගයක් හේතුකොටගෙනත් හිරගෙදරට යන්නේ නැහැ. කහවනුවක් හේතු කොට ගෙනත් හිර ගෙදරට යන්නේ නැහැ. කහවනු සියයකක් හේතු කොට ගෙනත් හිර ගෙදරට යන්නේ නැහැ.

පින්වත් මහණෙනි, කෙබඳු ආකාරයේ කෙනෙක් ද? එසේ හිර ගෙදරට නො යන්නේ?

පින්වත් මහණෙනි මෙහිලා මහා ධනවතෙක් ඉන්නවා. මහා ධනයකින් යුක්තයි. මහා භෝග සම්පත්වලින් යුක්ත යි. මොහු කහවනු භාගයක්, කහවණුවක්, කහවනු සියයක් හේතු කර ගෙන හිරේට යන්නේ නැහැ. ඒ වගේ තමයි පින්වත් මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් අල්ප මාත්‍ර වූ පවක් කළත් එයින් ඔහු නිරයට යනවා. එමෙන් ම පින්වත් මහණෙනි, තව පුද්ගලයෙක් එබඳුම අල්ප මාත්‍ර පවක් කළත් එය දිට්ඨධම්මවේදනීය විපාක දී අවසන් වෙනවා. පරලොව විපාක දීමක් වන්නේ නැහැ.

පින්වත් මහණෙනි, යම් කෙනෙක් යම් යම් අයුරකින් විපාක වින්ඳ යුතු කර්ම යම් පුරුෂයෙක් කරයි ද ඒ ඒ අයුරින් කර්මය විපාක දෙනවා. නමුත් යම් කෙනෙක් සුචරිතයේ යෙදෙනවා ද? ඒ කුඩා පව පරලොවට විපාක නොදී මේ ජීවිතයට පමණක් විපාක දී ගෙවී යනවා. එනිසා ඔබත් සුචරිතයේ යෙදෙන්න.

නවම් පුර අටවක

පෙබරවාරි 16 සිකුරා පූ.භා. 08.59 පුර අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 08.20 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]