[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අවබෝධයෙන් පින් කළ හැකි නම් අනුසස් මහත්ඵලයි

අවබෝධයෙන් පින් කළ හැකි නම් අනුසස් මහත්ඵලයි

අප කවදා හෝ දිනක මේ ජීවිතය අත්හැර යා යුතු ය. එයින් පසු තවත් ආත්ම භවයක හට ගැනීම අනිවාර්ය වේ. නමුදු ඊළඟ ආත්මභාවය කුමන අයුරින් සැකසෙන්නේ ද යන්න නිශ්චිත ව කීමට අපහසු ය. එය කුසලාකුසල කර්ම තුළින් ම නිර්ණය වේ. චුති චිත්තයට අනුව ද ඊළඟ භවයේ සුබ අසුබ පැති නිර්මාණය වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

කෙසේ නමුදු අප නිරතුරු සිදු කරන්නේ කුසල කර්ම නම්, ඊළඟ භවය සුගතිගාමී වීමේ ප්‍රවණතාව වැඩියි. එවිට ඊළඟ භවය ගැන බියවීමට අවශ්‍ය නැත. නිරතුරුව ම පින්දහම් කරන අයට ලැබෙන ආරාධනා ද ඉතා ඉහළ මට්ටමකින් සිදුවේ. බලගතු ය.

එවැනි උසස් ආකාරයෙන් ආරාධනාවක් ලැබීමට තරම් භාග්‍යවන්ත වීම ඉතා දුර්ලභ කරුණකි. බුදුරදුන් කල ධම්මික උපාසකතුමාට දිව්‍ය ලෝක හයෙන් ආරාධනා ලැබීම මොනතරම් වාසනාවක් ද? ඒ බව ධම්මපදය තුළින් විවරණය වේ.

ධම්මික නමින් උපාසකතුමෙක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කල සැවැත්නුවර විසීය. ඔහුට දියණිවරු හත් දෙනෙක් හා පුතණුවරු හත් දෙනෙක් වශයෙන් වූහ. ධම්මික උපාසකතුමා ඉතා ශ්‍රද්ධාවන්තයෙක් ය. තුණුරුවන්ට නිරතුරුව ම පුදසත්කාර කරමින් ධාර්මික ජීවිතයක් ගත කළේ ය. ධම්මික උපාසකතුමාගේ ස්වාමි දියණිය ද, දූ දරුවන් ද ඒ ආකාරයෙන් ම පිනට දහමට ලැදි ය. වයෝවෘද්ධ ව රෝගාතුර වී මරණ මඤ්චකයෙහි සිටින ධම්මික උපාසකතුමා දූදරුවන් ළඟට කැඳවා ඔවුනට ආමන්ත්‍රණය කරන්නේ තමන්ට සතිපට්ඨාන සූත්‍රය ඇසීමට අවශ්‍ය බවත්, ඒ සඳහා භික්ෂූන් වහන්සේ වඩම්මවා දෙන ලෙසත් ය.

ඒ අනුව දූ දරුවෝ ද එම යුතුකම ඉටු කරනු වස් භික්ෂූන් වහන්සේ දහසය නමක් නිවසට වඩම්මවා තම පියාට සතිපට්ඨාන සූත්‍රය ඇස්සවීමට සැලැස්වීය. එම දේශනාව ශ්‍රවණය කරන අවස්ථාවේ දී ධම්මික උපාසකතුමා

“ටිකක් නවතින්න, ටිකක් නවතින්න” යැයි කිහිප වතාවක් ම ප්‍රකාශ කළේය. පසුව භික්ෂූන් වහන්සේ පිරිත් ඇසීම ප්‍රමාණවත් යැයි සිතා පිරිත නවතා විහාරයට වැඩම කළහ. එම පුවත බුදුරදුන්ට ද දැන්වීය. එවිට බුදුරදුන් එම ප්‍රකාශය දෙවියන්ට කළ එකක් බවත්, එසේ පැවසුවේ සියලුම දිව්‍ය ලෝකවලින් ධම්මික උපාසකතුමාට “අපේ දිව්‍ය ලෝකයට එන්න” අපේ දිව්‍ය ලෝකයට එන්න, කියමින් ආරාධනා ලැබුණු නිසා බවත් එම භික්ෂූන් වහන්සේට දන්වා සිටියහ.

එතුළින් පැහැදිලි වන්නේ පින් කිරීම දිට්ඨධම්මවේදනීය වශයෙන් විපාක දීමක් නොවේ ද? ධම්මික උපාසකතුමා ජීවත් ව සිටිය දී නිරතුරුව ම පින්දහම් සිදු කළේ ය. පවුල් ජීවිතය ද ධාර්මික ව පවත්වා ගෙන ගියා සේ ම තමන්ගේ ස්වාමි දියණියට, දූ දරුවන්ට ඉටු විය යුතු යුතුකම් කොටස ද නො පිරිහෙළා නිසියාකාර ව ඉටු කළේ ය. එහි ප්‍රතිඵලය වූයේ මිය යන්නට ආසන්න මොහොතේ දී දිව්‍යලෝකවලින් ධම්මික උපාසකතුමාට “අපේ දිව්‍ය ලෝකයට එන්න අපේ දිව්‍ය ලෝකයට එන්න” කියමින් ආරාධනා ලැබුණු නිසා බවත් එම භික්ෂූන් වහන්සේට දන්වා සිටියහ.

එතුළින් පැහැදිලි වන්නේ පින් කිරීම දිට්ඨධම්මවේදනීය වශයෙන් විපාක දීමක් නොවේ ද? ධම්මික උපාසකතුමා ජීවත්ව සිටියදී නිරතුරුව ම පින්දහම් සිදු කළේ ය. පවුල් ජීවිතය ද ධාර්මිකව පවත්වා ගෙන ගියා සේ ම තමන්ගේ ස්වාමි දියණියට දූ දරුවන්ට ඉටු විය යුතු යුතුකම් කොටස ද නො පිරිහෙළා නිසියාකාර ව ඉටු කළේ ය. එහි ප්‍රතිඵලය වූයේ මියයන්නට ආසන්න මොහොතේ දී දිව්‍යලෝකවලින් ආරාධනා ලැබීම යි. සෝවාන් වී සිටි ධම්මික උපාසකතුමා මිය පරලොව ගොස් තුසිත දිව්‍ය ලෝකයෙහි පහළ වූ ආකාරය ආදර්ශයට ගැනීම කාටත් වැදගත් වන සංසිද්ධියකි.

ඉහත කතා පුවත පින් නො කරන, පිනෙහි වටිනාකම නො දන්න, පින් කරන අයට ගරහන අයට හොඳ ආදර්ශවත් කතා පුවතකි. බුදුහිමි පින් කරන අයගේ වටිනාකම එම කතා පුවතට ම අලලා තවත් විස්තර කර දෙන අයුරු ඉතා මනරම් ය. ඒ අනුව ධම්මපදයේ යමක වග්ගයෙ 16 වෙනි ගාථාව ඉතා වැදගත් වේ.

ඉධ මෝදති පෙච්ච මෝදති
කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති
දිස්වා කම්ම විසුද්ධිමත්තනෝ

“පින්කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටු වෙයි.හෙතෙම තමාගේ පිරිසුදු (කාය, වාග්, මමෝ) පුණ්‍ය කර්මයන් බලා සතුටු වෙයි. බලවත් සේ සතුටු වෙයි. සිද්ධ කළ කර්මය දැක සතුටු වෙයි. වැඩි වැඩියෙන් සතුටු වෙයි.” මෙතැන දී පින් යනුවෙන් දක්වා ඇත්තේ දස පුණ්‍ය ක්‍රියා ය. එනම්,

දානං සීලං ච භාවනා
පත්ති පත්තානු මෝදනා
වෙය්‍යවච්ච පචායන්ති
දේශනා සුති දිටඨුජු

දාන, ශීල, භාවනා, පින්දීම, පින් අනුමෝදන්වීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, බණ කීම, බණ ඇසීම, සම්‍යග් දෘෂ්ටිය. මේ ආදී වශයෙන් පින්කම් දහසයක් පිළිබඳ සඳහන් වේ. එම පින්කම් බෞද්ධයින් හරහා නිරන්තරයෙන් සිදුවන පින්කම් වුව ද නිසියාකාරව සිදු වනවා ද යන්න පිළිබඳ විමසා බැලිය යුත්තකි. එයට හේතුව මනස ඒ සඳහා හරියාකාරව නො යෙදීම යි. මනස සියල්ලට ම සමබන්ධ වන බැවින් පින්කම් කිරීමේ දී වුව ද මනස ප්‍රමුඛ ස්ථානයට ගැනේ. සිතේ පවතින ලෝභ, දෝෂ, මෝහාදී කෙලෙස් ධර්ම යටපත් කොට ඒ වෙනුවට කුසල් සිතිවිලි ගොඩනංවා ගෙන පින්කම් කළ යුතුව ඇත. එවිට එහි ආනිසංස මහත්ඵල මහානිසංස බවට පත් වේ. නමුදු අද කරන්නන් වාලේ පින්කම් කරනවා හැර එහි යථාර්ථය පිළිබඳ අවබෝධයක් ඇතිව පින්කම් කරන බවක් නො පෙනේ. එවිට සිදුවන්නේ එම කරන පින්කම්වල ප්‍රතිඵලය නිසියාකාරව නො ලැබී යාමයි.

තුන් සිත පිරිසුදු කොට දුන් දානය
උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය

යනුවෙන් ලෝවැඩ සඟරාවෙහි ද කවියෙන් සඳහන් වන්නේ තුන් සිත පිරිසුදු කොටගෙන දෙන දානය නිධානයක් ලැබෙනවා හා සමාන බවයි. ඕනෑම ක්‍රියාවක් කිරීමේ දී කිරීමට පෙර, කරන අවස්ථාව, හා කළාට පසු ආදී වශයෙන් සිතේ ක්‍රියාවලිය තුන් ආකාරයකින් විකාශනය වේ. එම අවස්ථාත්‍රයම පිරිසුදු නම්, එහි ප්‍රතිඵලය ද ඉහළ මට්ටමකින් පවතී.

ඉහත කරුණු තුළින් තහවුරු වන්නේ උපන් සත්වයා නිතර නිතර පින්කම් කර ගැනීම වැදගත් බවයි. එහි ප්‍රතිඵලය ඒ විගසම නො ලැබුණත් ආත්ම ගණනක දී හෝ ලැබෙනු නියත ය. බුදුරදුන් අවධාරණය කළේ පිනට කම්මැලි නොවන ලෙසයි. ඒ බව ලෝවැඩ සඟරාවේ “කුමට ද කුසලට කම්මැලි වන්නේ” යනුවෙන් සඳහන් කොට ඇත. ධම්මපදයේ පාප වග්ගයේ ගාථාව විමසීමෙන් ද පින් කිරීමෙහි වටිනාකම මනාව පිළිබිඹු වේ.

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

පින් කැමැත්තා එය නැවත නැවතත් කළ යුතු ය. පින් කිරීමෙහි ආසා කළ යුතු ය. පින් රැස්වීම ලොවී ලොව්තුරා සැපතට හේතු වන හෙයිනි. බුද්ධ දේශනයට අනුව පින් කිරීම සැපයට හේතු වන අයුරු පැහැදිලි වේ. ඒ අනුව නො පමාව කුසල් දහම්හි නිරත විය යුතු ය. පින් කිරීමට හැකියාව තිබියදී එය නො කරගෙන පසුවට පසුතැවිලි නොවිය යුතු ය. දෙවි දේවතාවුන්ගේ පවා ආරාධනා ලැබිය හැකි පින් දහම්හි නිරන්තරයෙන් ම නිරත වී මෙලොව ජීවිතය පරලොව ජීවිතය සැපවත් කර ගැනීමටත් සසර කතරින් අත්මිදී නිවන් සුවයෙන් සැනසීමටත් සිතට ගැනීම වැදගත් වේ. 

නවම් පුර අටවක

පෙබරවාරි 16 සිකුරා පූ.භා. 08.59 පුර අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 08.20 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]