[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අනුන් කළ නොකළ දේ සිහිපත් කරනවා ද?

අනුන් කළ නොකළ දේ සිහිපත් කරනවා ද?

“ඔබ මොනවා ද මට කළේ“ කවදා හෝ දිනක ඔබ කාගෙන් හෝ එහෙම අසා තිබෙනවා ද? නැතිනම් ඔබෙන් කවුරු හෝ එසේ අසා තිබෙනවා ද? මෙසේ අසන්නේ මඟ තොටේ දී අහම්බයෙන් මුණ ගැසුණු කෙනෙක් නම් නොවිය හැකියි.

බොහෝ විට එසේ අසන්නේ දරුවන් මව්පියන්ගෙනි. එසේත් නැතිනම් මව්පියන් දරුවන්ගෙනි. ස්වාමියා බිරිඳගෙනි. බිරිඳ ස්වාමියාගෙනි. සොහොයුරු සොයුරියන් හා සමීපව ඇසුරු කරන යහළු හිත මිතුරන් අතර ඇතිවන කතාවකි.

“නුඹ මොනවා ද මට කළේ“ කොපමණ හොඳ කළත් එක අඩුවක් පාඩුවක් ඇති වුණා හැටියේ ම එකිනෙකා විමසන ප්‍රශ්නයකි. යම් කෙනෙක් හොඳ අනූ නවයක් කොට එකම අවස්ථාවක් වැරැදුණොත් අර කළ හොඳ අනූ නමය ම අමතක ය. සිදු වූ වරද පමණක් මතු කොට දක්වන්නේ ය.

යම් දරුවෙක් අම්මා - තාත්තාගෙන් ඇසුවොත් “ඔබ මොනවා ද මට කළේ“ කියා එසේ අසන්නේ කුමක් ද? සමහර විටෙක ඉල්ලා සිටි මිල මුදලක් ගැන එහෙම නැත්නම් දේපළ ගැනයි. ඒ මොනවා හරි ගැනයි. ඒ ඇසුවේ.

අපේ සංසාර ගමනේ යම් පිනකට අපි මිනිසුන් අතර ඉපදුණා. මනුෂ්‍යයෙක් වුනේ අපේ ම පිනකට. එහෙත් මනුෂ්‍ය ලෝකයේ හැදෙන්න වැඩෙන්න පරිසරය සකස් කරල දුන්නේ අපේ මව්පියයි දෙදෙනායි. මේ ලෝකයේ හැම අම්මා කෙනෙක් ම, හැම තාත්තා කෙනෙක් ම එක වගේ නොවෙයි. යම් තැනක නපුරුකම් ඇති, මව්පියන් ලෙස ඇගයීමට නොහැකි අයත් ඉන්නට පුළුවන්. නමුත් සමස්තයක් ලෙස අපි මේ කතා කරන්නේ හැම අම්මා කෙනෙක් ම, තාත්තා කෙනෙක් ම සත්පුරුෂයි, ගුණවන්තයි. රජෙක්, රැජිනක් නොවුණාට තමන්ගේ දරුවා සම්මතයේ වචනය අනුව රජ කරවනවා කියන හැඟීමෙන් පැල්පතක ජීවත් වුණත්, මහ මැදුරක දිවි ගෙවූවත් රාජභෝන වූවත්, එදාවේල හරි හම්බ කරගෙන අසීරුවෙන් ජීවත් වුණත් දරුවන් වෙනුවෙන් කැප කරන්නේ ඒ අදහසිනුයි.

පැළයක් සිටුවන්න. එසේ නැත්නම් බීජයක් සිටුවන්න. පොළව වටපිටාව මනා ලෙස සකස් නොවුණොත්, අවශ්‍ය ජලය, හිරුඑළිය නිසි වෙලාවට ලබා නොදුන්නොත්, නොලැබුණොත් හා වල් පැළෑටි, කෘමීන්ගෙන් හානි වුණොත් සිදුවන්නේ කුමක් ද? බීජය මොනතරම් සරු වුණත් ඒ පැළය නිසි ලෙස වැඩෙන්නේ නැහැ. ඵල හටගන්නෙත් නැහැ.

අපේ ම පිනෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණියාට අම්මා - තාත්තා අපිට හොඳ පරිසරයක් ලබා දුන්නා. රැක බලා ගත්තා. අපේ අත - පය උස්මහත් වෙනකම් ඔබ කියන ආකාරයට කරදඬු උස් මහත් වෙනකම් ඒ ටික කළේ නැත්නම්. ඒ ජීවිතය යහපත් කර ගන්න බැරිවෙන බව ඉතා පැහැදිලියි.

එහෙම නම් “මොනවා ද ඔබ මට කළේ“ කියා ඇසුවොත්, අනෙක් පැත්තෙන් අහන්න වෙන්නේ අපි නුඹට නො කළේ මොනවා ද“ කියන ප්‍රශ්නයයි.

මේ ආකාරයෙන් ස්වාමියා - බිරිඳ අතර වුණත් ස්වල්පයක් වුව කරන ලද හොඳ ගැන හිතන්න. ඒ හොඳ ගැන අගය කරන්න. ජීවිතයක අඩුපාඩු හදාගන්න පුළුවන්.

ඕලු, නෙළුම්, මානෙල් පිපෙන්නේ මඬ වගුරක, සීයට සීයක් සම්පූර්ණ මනුෂ්‍යයෝ සොයා ගන්න බැහැ. නමුත් අපිට හොඳ දකින්න පුළුවන්. ඕලු, නෙළුම්, මානෙල් මඬ වගුරක පිපුණත්, රෝස මල් කටු අකුලක පිපුණත්, අපි ඒ මලේ සුවඳ, සුන්දරත්වය දැක පරිස්සමෙන් නෙළා ගන්නවා. ඉහළම තැනක තබනවා. බුදු පුදටත් ගන්නවා.

එහෙම නම් අඩුපාඩු තිබුණත් ඒවා හැකිතාක් දුරට නිවැරැදි කරගෙන හොඳ දකින්න පුළුවන් මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන් නම් අපි කවදාවත් අහන එකක් නැහැ, “ඔබ මොනවාද මට කළේ“ කියා. මොනවා හරි ස්වල්ප වූ දෙයක් හෝ අපට සිදුකොට තිබෙනවා නම් ඒක අගය කරන්න තරම් පුළුවන්කමක් තිබිය යුතුයි. එයයි මනුෂ්‍යකම කියා කියන්නේ.

යම් කෙනෙක් “මට මොනවා ද කළේ“ කියා අපෙන් අසනවා නම් එයට යහපත් පිළිතුරක් අපිට දෙන්න පුළුවන්

“මට කළ හැකි සියල්ල මගේ උපරිමයෙන්, හදවතින් ම මම කළා කියා සිතන්න පුළුවන්. එසේ සිතිය හැකි නම් ඔබත් සත්පුරුෂයි. හැබැයි ඒ වගේ ම එසේ නො අසා සිටින්නත් අපට පුළුවන්කමක් තිබෙන්නට ඕනෑ.

යම් තැනක ඇහෙන්නත් පුළුවන්, බොහෝ දේ සිදු කොට තිබියදීත්, සමහර විටක නපුරු ලෝකයෙන් ඔබට නැවත නැවත ඇසෙන්න ඉඩ තියෙනවා.

“නුඹලා මොනවාද මට කළේ“ “අපට කළේ කියා“ එවැනි තැනක දී හඬා නොවැටී ජීවිතය ගැන ගැඹුරින් දකින්න පුරුදු වන්න. එසේ ගැඹුරින් දැක මගේ සත්පුරුෂකම මම ලෝකයට, මම මගේ පවුල නැමති ලෝකයට පෙන්නුම් කළා කියා හිත හදාගන්න තරම් හැකියාවක්, පුළුවන්කමක් තිබිය යුතුයි.

නවම් පුර අටවක

පෙබරවාරි 16 සිකුරා පූ.භා. 08.59 පුර අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 08.20 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]