[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ධර්මයට එකඟ ව බුද්ධිය මෙහෙයවන්න

ධර්මයට එකඟ ව බුද්ධිය මෙහෙයවන්න

රූමත් බිරිඳක් විවාහ කර ගත් තරුණයෙක් අතීතයේ දඹදිව බරණැස් නුවර වාසය කළා. මේ අඹුසැමියන්ට දරුවන් හිටියේ නෑ. විනෝදයෙන් කාලය ගත කළා. රැකියාව වුණේ ඉල්මාසයේ පුර පසළොස්වක දවසේ පවත්වන කාර්තික නම් දේව පූජෝත්සවයේ නැටීමයි.

වෙනත් උත්සවලටත් නටලා මේ දෙන්නා සල්ලි හොයා ගන්නවා. ඉතිං මෙහෙම බොහෝම දුප්පත් ජීවිතයක් ගත කරමින් හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බිරින්දෑවරුන් හත්දෙනෙක් ගැන. මේ තරුණයාට ඒ අතුරින් ලැබිලා හිටියේ ආර්ය භරියා නමින් හඳුන්වන්න පුළුවන් බිරිඳක්. ඇය බොහෝම රූමත්. ඒ නිසාම ඇය මානයෙන් ඉදිමී ගියා. සැමියාගේ තීන්දු තීරණවලට ඉහළින් අධිපතිත්වය පතුරුවමින් කටයුතු කළා. කලාතුරකින් තමයි සැමියාගේ බහට අවනත වෙන්නේ. ඒ හැරුණුම ගොඩාක් වෙලාවට බිරිඳ තමා කටයුතු හොයල බලන්නේ. මේකට හේතුව වෙලා තිබුණේ බිරිඳගේ රූප සෞන්දර්ය ය.

වෙන අවුරුදුවල වගේ ම මේ කියන්න යන අවුරුද්දේත් තිබුණා කාර්තික උත්සවයක්. මෙදා උත්සවයට නියම වුණේ වනුක් පාටින්. ඒ කියන්නේ හෙන්දිරික්කා මල්වල පාට. ඉතිං එවැනි නිල්පාට වස්ත්‍ර ඇඳගෙන දේව පූජාවට සම්බන්ධ වෙන්න ඕන. ඒක තමයි උත්සවයේ සාමාන්‍ය ස්වභාවය. සැමියත්, බිරිඳත් මේ උත්සවලට සම්බන්ධ වෙනවා වගේම අතිරේක රැකියාවක් විදිහට රෙදි සෝදන එකත් කළා.

දවසක් එක පුද්ගලයෙක් වස්ත්‍ර දෙකක් ගෙනවිත් දුන්නා හෝදල දෙන්න කියලා. උත්සවය ළඟ ළඟ ම එන නිසා වස්ත්‍ර දෙකම හොදට හෝදලා එක් වස්ත්‍රයකට රැළි සියයකුත්, අනෙක් වස්ත්‍රයට රැළි දෙසියකුත් දාලා අරන් තිබ්බා. උත්සව දිනය පැමිණියා. උත්සව දිනට පෙර දින රාත්‍රියේ සැමියා ළගට ඇවිත් බිරිඳ ට කිව්වා ‘හෙට රෑට කාර්තික උත්සවයේ නටන්න වනුක් මල් පාට වස්ත්‍ර අඳින්න ඕන. ඒ පාට නැත්නම් මම නටන්නේ නෑ’යි කියලා. ඒ වේලාවේ සැමියා කියනවා.

‘ප්‍රියාවියේ, අපි තවම බොහොම දුප්පත් ඒ වගේ පාට වස්ත්‍ර බොහෝම මිල අධික යි. මේ වතාවේ අපි තිබෙන වස්ත්‍රයක් ඇඳගෙන උත්සවයට යමු. මේ ළඟක දී දුප්පත් මිනිහෙක් මට දුන්නා සුදු වස්ත්‍ර දෙකක් හෝදල දෙන්න කියලා. ඉතිං මම ඒව හොඳට හේදුවා. ඒවගේම ඔයා අඳින වස්ත්‍රයට රැළි දෙසීයක් දැම්මා. මම අඳින එකට රැළි සියයයි දා ගත්තේ. මට වඩා ඔයා ඒකට බොහෝම ලස්සනට ඉදීවි. අපි මේ වතාවේ මේ වස්ත්‍ර ඇදගෙන උත්සවයට සම්බන්ධ වෙමු’යි යෝජනා කළා.

බිරිඳට බොහෝම කේන්ති ගිහින් ‘වනුක් මල් පාට වස්ත්‍රයක් මට ලැබෙන්නේ නැත්නම් මම කොහොමටවත් උත්සවයට එන්නේ නෑ. නටන්නෙත් නෑ, සුදුපාට ඇඳගෙන නටන්න ඕන නම් වෙනත් බිරිඳක් අරගෙන නටා ගන්න’යි කිව්වා.

සැමියා ඒක අහගෙන ඉදලා ‘ප්‍රියාවියේ, මම කියන දේ අහන්න. මේ වතාවේ පමණක් අපි මේ දේ කරමු. අලුතින් ඔය කියන පාටින් වස්ත්‍ර ගන්න තරම් මුදලක් නෑ’යි නැවතත් ගෙදර තත්ත්වය පහදලා දුන්නා. එතකොට බිරිඳ කියන්න පටන් ගත්තා

‘ඇයි තමුන් පිරිමියෙක් නෙවෙයි ද? පිරිමියෙක් නම් කරන්න බැරි දෙයක් නෑ. සිතූ පමණින් කුමක් නම් කරන්න බැරිද? කමක් නෑ සල්ලි නැති වුණාට. එහෙනම් මට වනුක් මල් පාටින් කොණ්ඩය හරි සරසගෙන නටන්න ඕන. රජ්ජුරුවන්ගේ මල්වත්තේ මම දැක්කා වනුක්මල් ලස්සනට පිපිලා තියනවා. ඉතිං එහෙනම් මට ඒ මල් ටිකක් කඩලා දෙන්න’යි කිව්වා. ඒක අහගෙන හිටිය සැමියා කියනවා.

සොඳුර, ඔබට මොනයම් හෝ ලෙඩක් හැදීගෙන එනව ද? අපි බොහොම අසරණ මිනිස්සු කියලා දන්නේ නැද්ද? අපට ආර්ථික බලයකුත් නෑ, අඳුනන කෙනෙකුත් නෑ. තනතුරු බලයකුත් නෑ. ඉතිං මම කොහොමද රජ්ජුරුවන්ගේ මල්වත්තට ගිහින් මල් කඩන්නේ.

මල් කඩනවා තබා ඒ පැත්ත කර ඔසවලා බලන්නවත් අපට හැකියාවක් නෑ. මම කියන

දේ අහන්න’යි ආයෙත් කිව්වා.

රූපයෙන් උමතු වූ මේ බිරිඳ එතකොට.

‘දෙවියනේ මෙහෙමත් පිරිමි, ඇයි බැරි තමන්ගේ බිරිඳ වෙනුවෙන් රාත්‍රියට හරි ගිහින් හොරෙන් මල් ටිකක් කඩාගෙන එන්න?යි කිව්වා. දැන් මේ පිරිමියා හරිම අසරණයි.

‘මට බිරිඳ රැක ගන්නත්, මුදල් හොයා ගන්නත් ඕන. බිරිඳගෙන් බේරෙන්න ම බෑ. රෑ මැදියමේ ගිහින් වනුක් මල් ටිකක් කඩාගෙන එනවා, යි තීරණය කරලා රජතුමාගේ මල්වත්තට ඇතුළු වුණා.

හොරෙන් හොරෙන් මල් කඩන්න පටන් ගත්තා. උයන් පල්ලෝ රාත්‍රියේත් මල්වත්තේ ඇවිදින බව දැනගෙන හිටියේ නෑ. එක පාරට ම මේ තරුණයව අල්ලා ගත්තා. අත්දෙක පිටුපසට කරලා බැන්ඳා. හොඳට ම ගුටි බැට දුන්නා. ගහක බැඳලා තියලා පාන්දරට රජතුමා ළඟට ගෙනිච්චා. උයන්පල්ලෝ සිදුවූ සියල්ල ම පිළිවෙළට කිව්වා. රජතුමාට කේන්ති ගිය නිසා වගවිභාගයක් නැතිව ම කිව්වා.

‘මේ මිනිහව දැන්ම උල තියන්න’ කියලා. වදකයන් එකතු වෙලා වදකස්ථානයේ උල තිබ්බා. දැන් ටික ටික ශරීරය මැදින් උල බැසගෙන යනවා. ලේ එහේ මෙහේ විසිවෙනවා. කපුටෝ ඇවිත් ලේ බොනවා. ඒ විතරක් නොවෙයි. සමහර කපුටෝ ඇස් දෙක උගුල්ලමින් කන්න පටන් ගත්තා. මේ හැම දෙයක් ම සිදු වුණත් තවමත් ඔහුගේ පණ ගිහින් තිබුණේ නෑ. අධික වේදනාවෙන්මයි හිටියේ. ඔහුට ඒ වේදනාව තවමත් දැනෙන්නේ නෑ. තවමත් ඔහුගේ කල්පනාව බිරිඳ ගැන.

‘අනේ මගේ බිරිඳ බලන් ඉන්නවා වනුක් මල්වලින් සැරසිලා කාර්තික් උත්සවයේ නටන්න. ඇය වනුක් මල් පාටට හරිම කැමතියි’ යනාදිය කියමින් ම ඇය කෙරේ ඇලුණු හිතින්ම මිය ගිහින් නරකයේ දුක් විඳින්න පටන්ගත්තා’යි කතා පුවතක් ජාතක පොතේ එකසිය හතළිස් හය වන පුෂ්පරත්න ජාතක කථාවේ සදහන් වෙනවා.

බලන්න පින්වතුනි, කාමයට ලොල්වීමත්, සැමියාට අවනත නොවනු භාර්යාවකගේ හැසිරීමත් නිසා දෙදෙනාට ම සිදුවුණ විපත. රූප සම්පත්තියෙන් මානය ඇති කර ගත් බිරිඳ තම සැමියා නැති කර ගෙන සමාජයෙන් අවමානයට, අපහාසයට ලක් වන තත්ත්වයක් ඇති කර ගත්තා.

ඒ වගේම කාමයට ලොල් වුණු සැමියාට නරකයේ උපත ලබමින් දුක් විඳින තත්ත්වයක් උදා කර ගත්තා. ඒ නිසා හැම විටම කොපමණ රූප සම්පත්තියෙන් ඉහළ වුණත්, කොපමණ දුප්පත් වුණත්, කොපමණ කාමලෝලී වුණත්, ධර්මයට අනුව නිවැරැදි දේ ම කරන්න බුද්ධිය මෙහෙය වන්න ඕන. කෙනෙක් අමනාප වුණා කියා හෝ අමනාප වේ යැයි කියා හෝ ධර්මයට පිටුපාන්න යන්න එපා. එහෙම වුණොත් මේ අඹුසැමියන්ට සිදුවුණ විපත ම ඒ අයටත් සිද්ධ වෙනවා'යි කියන පුවත අපට මේ කථාවෙන් හොදට ම කියා දෙනවා.

නවම් පුර අටවක

පෙබරවාරි 16 සිකුරා පූ.භා. 08.59 පුර අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 08.20 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]