වීතරාගී මුනිවරුන්ගේ සිත් ගත්
වනපෙත
මිනිසුන් හා සතුන් සහිත පරිසරය රැක ගැනීමට අප නිරන්තරයෙන් උත්සාහ විය යුතු ය.
බිත්තිවලින් වටවූ, විදුලි පංකාවලින් යුත් ශීත කාමරවලින් දැනෙන කෘත්‍රිම සිසිලසට වඩා
බුදුන් වහන්සේ සොබාදහමෙන් ලැබෙන සිසිලස අගය කළහ. නිවන් පසක් කර ගැනීමේ දී වනාන්තරය
කදිම ස්ථානයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත
බුදුරජාණන් වහන්සේ වෘක්ෂලතාදියට පවා කළගුණ දැක්වූහ. නූතන සමාජයේ ඇතැම් මිනිසුන්
මිනිසුන්ටවත් කළගුණ නොදක්වන යුගයක එදා බුදුන් වහන්සේ ම තමන් වහන්සේට බුද්ධත්වය ලබා
ගැනීමට සෙවණ ලබා දුන් බෝධි වෘක්ෂය සමීපයේ පළමු සතිය ගත කළ සේක.
දෙවැනි සතියේ දී ද අනිමිසි ලෝචනයෙන් ප්‍රත්‍යුපකාර කළ අතර, පස්වන සතියේ ද අජපල්
නුගරුක සෙවණේ පහස ලබමින් සොබාදහමේ වටිනාකම ලොව සෑම දෙනාට ම අවබෝධ කර දුන්හ.
අටවිසි බුදුවරු අතර, බොහෝ බෝධිසත්වයන් වහන්සේ වෘක්ෂලතාදියෙන් යුත් පරිසරයේ සෙවණ
ලබාගත් බවත් අනාගතයේ දී බුදු වන්නා වූ බෝධිසත්වයන් වහන්සේ ද සොබාදහම තුළම තම බුද්ධ
ඥානය පහළ කර ගන්නා බව ද සඳහන් වේ.
එම බෝධිසත්වයන් වහන්සේ තම සෙවණ පිණිස, පුළිල, නාග, කුඹුක්, නුග, සල්, බක්මී, උණ,
සපු, රත්කරඬු, කිණිහිරි, නෙල්ලි, පළොල්, ඇටඹ, මහරි, දිඹුල් යනාදී බෝධි වෘක්ෂ
යොදාගත් බව සිංහල බෝධිවංශයේ සඳහන් වේ.
ගෞතම බුදුන් වහන්සේ සෙවණ ලබා ගත් බෝධි වෘක්ෂය අද බෞද්ධ මහ ජනතාවගේ තුන් බෝධියෙන්
එක් බෝධියක් බවට පත් වී ඇත. එයට හේතුව උන්වහන්සේ පරිභෝග කළ වස්තුවක් වන බැවිනි.
බෝධින් වහන්සේට බෞද්ධ පිරිස් ගෞරව පුද පූජා පැවැත්වීමෙන් ලබන මානසික තෘප්තිය අපමණ
ය. බෞද්ධයන්ට මනා ආදර්ශයක් උන්වහන්සේ ලබා දී ඇත. එනම් බෝධි වෘක්ෂය මෙන් ම තමා අවට
ඇති අනෙක් සියලුම වෘක්ෂලතාදියද ආරක්ෂා කරගත යුතු බවයි.
මෙලෙස පරිසරය රැක ගැනීම තුළින් මානසික, කායික සුවයක් ලබා ගැනීම සඳහා උත්සාහ ගත යුතු
බවත් පෙන්වා දෙයි. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වූ බෝධින් වහන්සේ රැක ගනිමින් පුද
පූජා පවත්වන්නේ යම් සේ ද එපරිද්දෙන් අන් සියලු වෘක්ෂලතාදිය රැක ගත යුතු බව සමාජයට
කදිම ආදර්ශයක් ලබා දෙයි. වනය ආරක්ෂා කරන්නා, රැක බලා ගන්නා, නැවත වගා කරන්නා
බුදුරජාණන් වහන්සේ අගය කර ඇත්තේ මෙසේ ය.
“ආරාම රොපා වන රොපා –
යෙ ජනා සෙතු කාරකා
පපංච උදයපානංච –
යේ දදන්ති උපස්සයං
තේසං දිවාච රත්තිං –
සදා පුඤ්ඤං පවට්ඨති
ධම්මට්ඨා සීල සම්පන්නා –
යේ දදන්ති උපස්සයං
(සංයුක්ත ප්‍රදීපිකා ආදිත්ත වග්ගය – 18 -19 ගාථා)
යන්නෙන් පෙන්වා දී ඇත්තේ යම් ඒ ජනයෝ පුෂ්පාරාම, ඵලාරමා, රෝපණය කරන්නෝ ද, ඉබේ හටගත්
වනයෙහි චෛත්‍යාදිය කරදීමෙන් හෝ සෙවණ පිණිස ගස් වැවීමෙන් උයන් කරන්නෝ ද ඒදඬු, පාලම්
සවි කර තබන්නෝ ද, යම් කෙනෙක් පැන් හල්, ළිං, පොකුණු, තටාක ආදිය ද, සෙනසුන් ද කරවා
දෙත්නම්, ඔවුන් දිවා රෑ දෙකෙහි ම ඒ පිළිබඳ සිහි කළ විට නිරතුරු පින් වැඩේ.
ඒ ධර්මස්ථ වූ ශීල සමන්විත වූ ජනයෝ දෙව්ලොව යන්නෝ ය, යන්නෙන් පෙන්වා දී ඇති ආකාරයට
උන්වහන්සේ දෙව්ලොව යාමට කළ යුතු ක්‍රියාවක් ලෙස එය විග්‍රහ කර ඇත.
එනම් යමෙකු පුෂ්පාරාම, ඵලාරාම රෝපණයන් කරයි ද, ඉබේ හටගත් වනයෙහි චෛත්‍යාදිය කරදෙයි
ද, සෙවණ පිණිස ගස් වැවීමෙන් උයන් වතු ඇති කරයි ද යනාදී වශයෙන් ක්‍රියා කරන උදවිය ඒ
පිළිබඳ දිවා රෑ දෙකෙහි සිතයි ද, එවිට ඇතිවෙන්නේ පින් සිතිවිලි බව පෙන්වා දෙයි.
එනිසා මිනිසුන් හා සතුන් සහිත පරිසරය රැක ගැනීමට අප නිරන්තරයෙන් උත්සාහ විය යුතු ය.
බිත්තිවලින් වටවූ විදුලි පංකාවලින් යුත් ශීත කාමරවලින් දැනෙන කෘත්‍රිම සිසිලසට වඩා
බුදුන් වහන්සේ සොබාදහමෙන් ලැබෙන වාතය සිසිලස අගය කළහ. නිවන් පසක් කර ගැනීමේ දී
වනාන්තරය කදිම ස්ථානයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. ධම්මපදය කෘතිය දෙස
බලන විට සම්පූර්ණයෙන් ම වාගේ නිදසුන් ලෙස ගෙන ඇත්තේ ස්වභාවික පරිසරයේ ඇති වස්තූන්
ය.
රමණීයානී අරඤ්ඤානී –
යත්ථ න රමති ජන
වීතරාගා රමෙස්සන්ති –
න තෙ කාම ගවෙසිනො.
ඉතා රමණීය වූ වනාන්තරය සාමාන්‍ය මිනිසුන්ගේ සිත් නොගත්තත් වීතරාගී වූ, කම් සැපත
නොසොයන ක්ෂීණාශ්‍රවයෝ එබඳු තැන්වල සිත් අලවා වාසය කරන බව සඳහන් වේ.
(ධම්මපදය මග්ග වග්ගය 11 වන ගාථාව) මහණෙනි, රාගාදී කෙළෙස් වනය කපවූ. ගස් නොකපවු,
රාගාදි කෙලෙස් වනයෙන් ජාතභයාදී භය උපදනේ ය. ලොකු කුඩා කෙලෙස් නමැති වනය කපා දමා
කෙලෙස් නැත්තන් විය යුතු ය.
කිඹුල්වත් පුරවරයෙන් හමා එන මඳ සුළඟක් මට සැපදායක යැයි දේශනා කොට වදාළ බුදුරජාණන්
වහන්සේ, ස්වභාවික වනය රැක ගැනීම මෙන්ම, වන වගාවන් සිදු කරමින් වනය රැක බලා ගැනීමට
උපදෙස් ලබා දුන්හ.
උන්වහන්සේ කොතරම් දුරට පරිසරය අගය කළේ ද යන්න තවදුරටත් විග්‍රහ කිරීමේ දී විනය
පිටකයේ සිව්පසය පාද කොට ඇති නිස්සය ධර්ම අතර” රුක්ඛමුල සෙනාසනං නිස්සය පබ්බජ්ජා”
යන්නෙන් පෙන්වා දුන්නේ පැවිදි ජීවිතයේ දී, රුක්මුල් සෙනසුන් වශයෙන් යොදා ගත යුතු
බවයි. උන්වහන්සේ වැඩ සිටිය ස්ථානවල නම් දෙස බලන විට ජේතවනාරමාය, වේළුවනාරාමය, ආරාමය
යන වචන ආරණ්‍ය යන වචනය හා සම්බන්ධ වීම පරිසරය හා සම්බන්ධ වීමකි.
බොහෝ භික්ෂූන් වහන්සේ වනගතව තම කෙලෙස් නසා රහත් වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
ග්‍රාමවාසී, ආරණ්‍යවාසී යන භික්ෂූන් අතර, වර්තමානයේ පවා ඇතැම් භික්ෂූන් වහන්සේ
ආරණ්‍යවල වැඩ වෙසෙති. එදා බුදුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. ධර්මධර, විනයධර
භික්ෂූන් අතර ඇති වූ කලහයේ දී මිනිසුන්ගෙන් තොර වන සතුන්ගේ හා වෘක්ෂලතාදියෙන් යුක්ත
වාසය අගය කරමින් පාරිලෙය්‍ය වනයට වැඩම කළහ.
සමහර විට බුදුරජාණන් වහන්සේ වන සතුන්ගෙන් ගහන පාරිලෙය්‍ය වනය අගය කළ බව පෙනේ. එහිදී
වන සතුන් බුදුන් වහන්සේට ඇප උපස්ථාන කළ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. අපට මෙම
සිද්ධියෙන් පෙනී යන්නේ බුද්ධිමත් යැයි සම්මත ශිෂ්ට සම්පන්න යැයි ව්‍යවහාර කරන
මිනිස් වාසයට වඩා සොබාදහමේ පිහිට වැදගත් කොට සැලකූ බවයි. එමඟින් පැහැදිලි වන්නේ
බුදුන් වහන්සේ සොබාදහම කොතරම් දුරට අගය කළේ ද යන්නයි. සොබාදහමේ වටිනාකම අවබෝධ කර
ගත් බුදුන් වහන්සේ උපසපන් භික්ෂූන්ට ප්‍රාතිමෝක්ෂයේ දී මෙසේ දේශනා කළ සේක. “භූතගාම
පාතව්‍යනාය පාචිත්තියං” මෙහිදී බුදුන් වහන්සේ භූතගාම යන්නෙන් අදහස් කළේ.
වෘක්ෂලතාදිය යි. එනම් තෘණ, වෘක්ෂලතා, දිලීර ආදී වැඩෙන සියල්ල භූතගාමයට අයත් වන
බවයි. මේ සියල්ල පෘථීවියෙහි හෝ ජලයෙහි හෝ ගල් පර්වතාදියෙහි වැඩෙමින් පවත්නා සියල්ල
සිඳීම්, බිඳීම් ආදියෙන් උපසපන්න භික්ෂුවකට පචිති ඇවතක් සිදුවන බව පෙන්වා දෙයි. එම
නිසා එවැනි තෘණ වර්ග වෘක්ෂලතා ආදිය විනාශ කිරීම උපසපන් භික්ෂුවකට යෝග්‍ය නොවන බව
බුදුන් වහන්සේ පෙන්වා දුන්නහ.
මෙතරම් සියුම් ආකාරයෙන් උපසම්පන්න භික්ෂුව මුල් කරගෙන සමාජයට ගෙනහැර දැක්වූවේ
කුමක්ද පරිසරයට ආදරය කළ යුතු බවයි. පරිසරය රැකගත යුතු බවයි.ලක්දිව රජදරුවන් බොහෝ
වෙහෙර විහාර වෘක්ෂලතාදියෙන් යුක්ත වූ පරිසරයක් තුළ ගොඩනඟා ඇත. මහමෙවුනා උයන අද
දක්වා ද අනුරාධපුරයේ නොනැසී පවතී. ලංකාවේ බොහෝ වෙහෙර විහාර ස්වාභාවික වනානන්තර සමඟ
බැඳී පවතී. ආරාමවාසී, ග්‍රාමවාසී යන දෙ කොටසක් බිහිවූවත් මේ දෙපක්ෂය ම පරිසරය සමඟ
කටයුතු කළහ.
ගල්වැව කනත්තේවැව
ශ්‍රී සුගතාරාම රාජමහා විහාරයේ
හිඳව සෝභිත හිමි |