ලෝ සසුන් වැඩ වඩන
රණස්ගල්ලේ ඤාණවීර නායක මාහිමිපාණන් වහන්සේ
රත්මලාන මල්ලිකාරාම මහා විහාරය, වැල්ලවත්ත ශ්‍රී විජයාරාමය යන උභය විහාරාධිපති,
අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක, තත් නිකායේ
සමලේඛකාධිකාරී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකවේදී රණස්ගල්ලේ ඤාණවීර නායක
මාහිමිපාණන් වහන්සේගේ 65 වැනි ජන්ම දිනය නිමිත්තෙනි
හැට පස් වියැති මල් අරමේ වැඩ සිටින
හැට පස් විය පුරන අප මහ සඟ රුවන
නැණවිරු සඟ රජිඳ ඔබ ගුණ නැත පමණ
සතවස් ආයු විඳ වොරැඳෙනු මැන සසුන
හෙළ රජ දරුවන්, මහ යතිවරුන් පතළ වයඹ පළාතෙහි කුරුණෑගල රාජධානියෙහි රණස්ගල්ල නම්
මනරම් ගම් පියසේ විසූ ජයසිංහ ආරච්චිගේ ධීරසේකර පියාණන්ට සහ පීරිස්ගේ සෝමාවතී
මෑණියන්ට පුතුන් පස්දෙනෙකු සහ එකම දියණියකි. වර්ෂ 1958 ඉල් මස 27 වැනි දින ජී.ඒ.
සිරිවර්ධන නමින් මෙලොව එළිය දුටු පුත් කුමරාණෝ සසුන් වැඩ වැඩුමට උපන් පිනැතියෙකැයි
කිසිවෙකු නොසිතන්නට ඇත.
පිරූ පෙරුම් දම් අනුහසින් පුත් කුමරුවන් වර්ෂ 1970 මැදින් මස 16 වැනි දින
අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමියන් වෙත අලව්ව, වීදියවත්ත ගම් පියසේ දී
සසුනට පූජා කරන ලදින්, එදිනම රත්මලාන මල්ලිකාරාමය ඇතුළු විහාර ගණයේ අධිපතිව වැඩ
විසූ අග්ගමහා පණ්ඩිත වැලිගම ශ්‍රී ඤාණරතන මහ නාහිමියන් වෙත භාර කරන ලදින්, වර්ෂ
1970 වෙසක් මස 21 වැනි දින උක්ත නාහිමියන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන්
යුතුව මල් අරමේ දී උතුම් පැවිදි දිවියට පත් කරන ලදී.
ගුණ නුවණින් වැඩෙමින් පිළිවෙත් සරු මහරු සඟරුවන් ඇසුරෙහි ශ්‍රී ධර්මරක්ෂිත
ත්‍රිපිටක ධර්මායතන මූලික පිරිවෙනෙන් මූලික අධ්‍යාපන ලදින්, වර්ෂ 1978 දී වැලිගම
නැණරුවන් නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් අධිසිල් සහිත උපසපන් දිවියට පත්විය.
පසුව තම උසස් අධ්‍යාපනය වෙනුවෙන් අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨයෙන් ත්‍රිපිටකවේදී
උපාධිය ද, ශ්‍රී ලංකා ප්‍රාචීණ භාෂෝපකාර සමාගම විසින් පිරිනමනු ලබන රාජකීය පණ්ඩිත
උපාධිය ද ලදින්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හා ශාස්ත්‍රපති
උපාධිය ලත් උන්වහන්සේ දිනෙන් දින ගුණෙන් නුවණින් වැඩෙන්නට වූහ.
රත්මලාන මල්ලිකාරාම මහ වෙහෙර පෙරටු කොට ගනිමින් ලෝ සසුන් වැඩ වඩන්නට අදිටන් කරගත්
උන්වහන්සේ ශ්‍රී ධර්මරක්ෂිත ත්‍රිපිටක ධර්මායතන මූලික පිරිවෙනේ ආචාර්යවරයකු ලෙසත්,
සිරි වජිරඤාණ දහම් පාසලේ ප්‍රධානාචාර්යයන් වහන්සේ ලෙසත් අමිල මෙහෙවරක යෙදිණි. දම්
දෙසුමෙහි මනා සුරුකම් පෑ නාහිමියෝ ගුවන්විදුලිය හා රූපවාහිනිය තුළින් බොදුනුවන්
සැදැහැයෙන් කුළුගන්වමින් දම් රස දසත විහිදුවාලූහ. එමෙන් ම මල්ලිකාරාමස්ථ ගාමිණී
තරුණ බෞද්ධ සංගමය, කාර්ය සාධක සමිතිය, විශාඛා කුලඟන සමිතිය හා එක්ව ගමත් පන්සලත්
එක් කොට විසල් ජාතික, ආගමික හා සමාජයීය සේවයක නිරත විය.
ඉන් නොනැවතුණු අප නාහිමියෝ මල්ලිකාරාම සරණ පදනම පිහිටුවා පුරා 30 වසරක කාලයක් පැවති
කුරිරු යුද්ධයෙන් දෙපා අහිමි වූ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් ක්‍රෘතිම පාද
පිරිනමමින් පාද 1200ක පමණ ප්‍රමාණයක් ලබා දෙන්නට මුල්වුණි.
ජාතිකත්වයෙන්, ස්වදේශ වාත්සල්‍යයෙන් ඔදවැඩී ගිය උන්වහන්සේ රට තුළ යුද ගිනි දැල්
ඇවිළී ගිය සමයේ තම දිවි දෙවැනි කොට උතුරු, නැඟෙනහිර මායිම් ගම්මාන කරා වැඩමවා
අහිංසක පුරවැසියාගේ සුවය පිණිස කැපවුණි. එසේ ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු
ආරක්ෂක අංශ හා එක්ව ගංවතුර, නායයෑම්, වසංගත ආදී ජාතික ව්‍යසනයන්හි දී ලබා දුන්
නායකත්වය සත්දනන් හද ලියැවී ඇත.
වර්ෂ 2004 දී සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් දකුණු පළාත කේන්ද්‍ර
කරගනිමින් කළ සේවය අත්‍යුදාරය. එහිදී පානීය ජල අර්බුදයට විසඳුම් වශයෙන් ළිං 100කට
අධික ප්‍රමාණයක් පිරිසුදු කරවීම, නව නිවාස ඉදි කරවීම හා ප්‍රතිසංස්කරණය කරවීම,
ආහාරපාන හා සෞඛ්‍යය සේවාවන් සළසා දීම. අඩු ආදායම්ලාභී පවුල් නඟා සිටුවීමට කටයුතු
කිරීම, ගැබිනි මාතාවන් වෙනුවෙන් අවැසි උපකරණ ලබාදීම. කොවිඩ් 19 වසංගත රෝග සමයේ
ජාති, ආගම් භේදයකින් තොරව නිහඬ ජනතා සේවයක නිරත වීම ආදිය ප්‍රශංසනීය ය.
යුතුකම පමණක් ම සලකා ඉදිරියට ආ යතිවරයාණෝ තවදුරටත් පැසසිය යුතු ලෝක සාසනික සේවයක
නිරත වී සිටිති.
මෙනයින් අඩ සියවසක් පෙළහර පා සසුනඹර එකළු කළ නැණවිරු නාසමිඳාණෝ 65 ස් විය පිරූ
මහතෙර නමකි. රත්මලාන සිරි මල්ලිකාරාම පින් බිමට ද 65ස් වසරකි. නාසමිඳාණෙනි, ශත
වර්ෂාධික කාලයක් යෙහෙන් සිත් සන්තොසින් සසුන් වැඩ වඩන්නට සූවිසි ගුණ බෙලෙන් වේවා
දිගාසිරි, සුඛී දීඝායුඛො භව.
ගෞරව ශාස්ත්‍රවේදී
පානදුරේ විනීත හිමි |