ගෞතම බුදුසසුනේ අභිමානවත් ශ්‍රාවිකාවක් වූ
වේළුකණ්ඨකී නන්දමාතාව
විශාල වැස්සක් වහින විට තමා ඉහළාගෙන සිටින කුඩය තමන් වැස්සෙන් ආරක්ෂා කරනවා වගේ
ධර්මයේ හැසිරෙන කෙනා ධර්මය විසින් ම ආරක්ෂා කරනවා
මේ ලැබිලා තිබෙන්නේ අති දුර්ලභ, කලාතුරකින් ලැබෙන මනුස්ස ජීවිතයක්. ඒ ලද මිනිස්
ජීවිතයේ සසර දුක් නිවාලන ධර්මයක් අසන්නට ලැබෙනවා නම්, ඒ ධර්මය අවබෝධ කර ගන්නට
ලැබෙනවා නම් එය කලාතුරකින් ලැබෙන දුර්ලභ වාසනාවක්.
මේ මුළු මහත් ලෝක ධාතුව පිළිබඳව ම සැබෑ තත්ත්වය ඒ අයුරින් ම දන්නා, දකිනා දසබලධාරී
වූ විශාරදඤාණී වූ භාග්‍යවතුන් වහන්සේත්, ඒ අමා නිවන ගැන කියවෙන මිහිරි ශ්‍රී
සද්ධර්මයත්, ඒ නිවන් මඟේ වැඩි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයත් යම් කෙනෙක්
හදවතින් ම සරණ යනවා නම් යම් දිනෙක ඒ කෙනාට සදහට ම සතර අපායෙන් මිදී අමා මහ නිවන
අවබෝධ කරන වාසනාව උදා වෙනවා.
මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුව සත්වයාට අනුකම්පා පිණිස ලොව පහළ වී වදාළ මහා ප්‍රඥා
ඇස වූ අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උපාසිකාවක් බවට පත් වූ වේළුකණ්ඪකී
නන්දමාතාව ගේ අසිරිමත් ශ්‍රාවකභාව පිළිබඳ අංගුත්තර නිකායේ ඡක්ක මහායඤ්ඤ වර්ගයට අයත්
නන්දමාතු සුත්‍රයේ සඳහන් වෙනවා.
මෙලොව පරලොව දිනූ ගිහි උපාසිකාවක් වූ වේළුකණ්ඨකී නන්දමාතාව ගේ සුන්දර ජීවිතය
පිළිබඳව යි අද අප සටහන් කරන්නේ.
වේළුකණ්ඨකී ගමේ ජීවත් වූ වේළුකණ්ඨකී නන්දමාතාව කො තරම් ගුණයෙන්, නුවණින් බැබළුණා ද
කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළා ගිහි උපාසිකාවන් වන ඔබ වේළුකණ්ඨකී නන්දමාතාව වගේ
වෙන්න කියලා. ඇය අනාගාමී ඵලය දක්වා හිත දියුණු කර ගත් උපාසිකාවක්.
ඇතැම් කාන්තාවන්ට සිතෙනවා ‘අනේ අපි හැමදාම දරුවන්ගේ වැඩයි, ගේ දොර වැඩයි, යුතුකම්
වගකීම් කරමින් සිටින්නේ. අපට ධර්මයේ හැසිරෙන්නට වෙලාවක් නැහැනේ, ධර්මයේ හැසිරෙන්නට
පරිසරයක් නැහැනේ’ කියලා. ඒ රටාවට අපි සිතුවොත් ධර්මයේ හැසිරෙනවා තබා සිත
සන්සිඳවාගෙන මෙත් සිතින් ගිහිගෙදර කටයුත්තක්වත් කරන්නට බැරි වෙනවා.
වේළුකණ්ඨකී නන්දමාතාවගේ ජීවිතයේ ආශ්චර්ය වූ අද්භූත වූ කරුණු හතක් තිබුණා. ඒ ආශ්චර්ය
අද්භූත කරුණු ගැන ඇය හෙළි කරන්නේ අපගේ සාරිපුත්ත – මොග්ගල්ලාන මහරහතන් වහන්සේ
ඉදිරියේ දී යි.
දිනක් අපගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනම දඹදිව දක්ඛිණාගිරියේ චාරිකාවේ වඩිමින්
සිටියා. එදා අපගේ නන්දමාතා උපාසිකාව පාන්දරින් ම නැගිටලා භාවනා කරලා සුත්ත නිපාතයට
අයත් ගාථා 250ක් තිබෙන පාරායන වර්ගය මිහිරට සජ්ඣායනා කරමින් සිටියා.
ඒ වෙලාවේ උතුරු දිශාවේ සිට දකුණු දිශාවට කිසියම් කටයුත්තකට අහසින් යමින් සිටි
වෛශ්‍රවණ දිව්‍යරාජයා මේ සජ්ඣායනාව අසාගෙන සිටියා. මේ දෙවියා සජ්ඣායනාව අවසන්
වෙනවාත් සමඟම “සාධු! සාධු! නැගණියෙනි.” කියා ඒ පින අනුමෝදන් වුණා.
මේ ආර්ය ශ්‍රාවිකාව ඒ වෙලාවේ අසා සිටියා “සොඳුරු මුව ඇති ඔබ කවුද?” කියලා. දිව්‍ය
පුත්‍රයා කියනවා, “මම ඔබගේ සොහොයුරු වෛශ්‍රවණ දෙව්රජු.” කියලා.
ඒ නන්දමාතාව කියනවා, “දෙවිඳ, මේ සජ්ඣායනාවෙන් රැස් වූ පින ඔබට ආගන්තුක පඬුරක්
වේවා!” කියලා. වෛශ්‍රවණ දෙවියන් නන්දමාතාව දුන් ඒ පින අනුමෝදන් වෙලා කියනවා,
“සොයුරියනි, හෙට දවසේ අපගේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු
සංඝයා ඔබගේ ගමට වඩිනවා. ඒ සංඝරත්නයට දන් පුදා ඒ පිනත් මට දෙන්න. එය මට ආගන්තුක
පඬුරක් වේවි.” කියලා. මෙයින් පෙනෙනවා තෙරුවන් සරණ ගිය මිනිසුන් කෙරෙහි දෙවියන්
කෙතරම් සෙනෙහසක්, උපකාරයක් දක්වනවා ද කියලා. පසුවදා නන්දමාතාව ප්‍රණීතව දානය සකසලා
අග්‍රශ්‍රාවකයන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දානය පුදා අවසානයේ එකත්පසින්
හිඳගත්තා. එවිට සාරිපුත්තයන් වහන්සේ නන්ද මාතාවගෙන් අහනවා
“මාතාවෙනි, භික්ෂු සංඝයාගේ පැමිණීම ගැන ඔබට කවුද දැනුම් දුන්නේ?” කියලා.
එතුමිය පෙර සිදුවීම මහරහතන් වහන්සේට පවසා, දානය පුදා රැස් කළ පින වෛශ්‍රවණ දෙව්
රජුට සැපය පිණිස වේවා! කියලා පින් අනුමෝදන් කළා.
අපේ ජීවිතයට මේ වගේ අද්භූත සිදුවීමක් සිදුවූවොත් අපි මාන්නයෙන් උඩඟු වෙලා
හැසිරෙනවා. නමුත් මග ඵලලාභී ශ්‍රාවිකාවකගේ අල්පේච්ඡ බව කෙතරම් සුන්දර ද? සාරිපුත්ත
මහරහතන් වහන්සේ ඇගේ ඒ සිදුවීම අසා වදාළා,
“මාතාවනි, ආශ්චර්ය යි. අද්භූත යි. මේ තරම් බලසම්පන්න දිව්‍යපුත්‍රයෙක් මුණගැසී
කතාබස් කරන කෙනෙක්නේ ඔබ.” කියා.
අද සමාජයේ කෙනෙකුට යම් දක්ෂතාවක් තිබෙනවා නම්, තනතුරක් නම්බු නාමයක් ලැබෙනවා නම්
උඩඟු වෙලා ප්‍රමාදයට පත් වෙනවා. උඬඟුකම, අහංකාරකම කියන දුර්ගුණය අපව වෙළාගෙන
තිබෙන්නේ. ඒ උඩඟුකම, අහංකාරකම ආදී ස්ත්‍රී දුර්ගුණ දුරු කළ ශ්‍රාවිකාවක් තුළ තිබෙන
සංවරකම කෙ තරම් අසිරිමත් ද? ඉන්පසු නන්දමාතාව බොහෝම නිහතමානීව සාරිපුත්තයන් වහන්සේට
කියනවා,
“ස්වාමීනි, මේ කරුණ එතරම් අද්භූත ආශ්චර්ය කරුණක් නොවේ. මා තුළ මීට වඩා ආශ්චර්ය
කරුණක් තිබෙනවා. ස්වාමීනි, මට සිටි එකම පුතා නන්ද. ඔහුව නිකරුණේ වරදකට පටලවා රජතුමා
මරණීය දණ්ඩනය දුන්නා. ඔහුව ඇදගෙන ගොස් වද දී දඬුවම් දෙද්දීවත්, මරණයට පත්
කරද්දීවත්, මරණයට පත් කළ පසුවවත් මගේ සිතේ කිසිදු චංචල බවක් ඇති වුණේ නෑ.” .
“මාතාවෙනි, ආශ්චර්යයි. අද්භූතයි. ඔබ පාරිශුද්ධ සිතක් උපදවාගෙන ශෝකයෙන්, ද්වේෂයෙන්,
සැකයෙන්, බයෙන්, කිලිටි නොවෙන පිරිසිදු සිතක් උපදවාගෙන නේද ඉන්නේ” කියමින් ඇයට
ප්‍රශංසා කළා. ඇය දරුවාගේ වියෝව දරා ගත්තේ ධර්මය සිතට ළං කර ගත් නිසා.
ඉන්පසු නන්දමාතාව රහතන් වහන්සේට කියනවා, “ස්වාමීනි, ඒ විතරක් නොවේ මා තුළ තවත්
ආශ්චර්ය අද්භූත කරුණු කිහිපයක් තිබෙනවා.
ඒ මගේ ස්වාමියා මිය ගියා. ඔහු දැන් ඉපදී සිටින්නේ එක්තරා යක්ෂ යෝනියක. ඒ යක්ෂයා
යක්ෂ ස්වරූපයෙන් මට පෙනෙන්නට එනවා. නමුත් මට කිසිදු තැතිගැනීමක්, කම්පනයක්, වෙනසක්
ඇති වෙන්නේ නැහැ. ඒ වගේ ම ස්වාමීනි, මගේ විවාහය සිදුවුණේ මම ළාබාල වයසේ දී. විවාහ
වී සැමියාගේ නිවසට පැමිණිය දා සිට සිතින්වත් මම සැමියා ඉක්මවා වෙන පුරුෂයෙක් පැතූ
බවක් දන්නේ නැහැ. කයින් වරදක් කිරීම ගැන කවර නම් කතාවක් ද?
ඒ වගේ ම ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මම යම් දවසක තිසරණය සමාදන් වුණා ද
පන්සිල් සමාදන් වුණා ද උපාසිකාවක් ලෙස ප්‍රතිඥා දුන්නා ද එදා සිට දැන දැන
ශික්ෂාපදයක් කැඩූ බවක් දන්නේ නැහැ.” කියනවා.
ඒ වගේ ම නන්දමාතාව කියනවා, “ස්වාමීනි, මගේ ජීවිතයේ තවත් අසිරිමත් ධර්මයක් තිබෙනවා.
ඒ තමා පළමු ධ්‍යානය, දෙවැනි ධ්‍යානය, තුන්වැනි ධ්‍යානය, හතරවැනි ධ්‍යානය උපදවාගෙන
කැමති තාක් වාසය කරන්න පුළුවන් කෙනෙක්.
ස්වාමීනි, ගිහි ශ්‍රාවිකාවක් ලෙස මට තවත් ආශ්චර්ය කරුණක් තිබෙනවා. ඒ මම සක්කාය
දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ දුරු කළ කෙනෙක්.” කියනවා. එහෙම
නම් නන්දමාතාව මිය ගිය පසු නැවත කාමලොව ඉපදීමක් නැහැ. සුද්ධාවාස බඹලොව යි උපදින්නේ.
ඇය සාමාන්‍ය කාන්තාවක් ලෙස ඉපදිලා, විවාහ වෙලා, දරුවන් හදලා සිටි අහිංසක අම්මා
කෙනෙක්. නමුත්, ඇය තමාගේ ජීවිතය කෙතරම් ශ්‍රේෂ්ඨ කර ගත්තා ද? ඇය ධර්මය වැළඳගෙන,
ධර්මය ම පිළිසරණ කරගෙන සිහියෙන්, වීර්යයෙන්, නුවණින් ජීවිතය ගත කරලා ජීවිතය ජය
ගත්තා.
භාග්‍යවතුන් වහන්සේ උපාසිකාවන්ට මිනුම් දණ්ඩක් වදාළා. ඒ තමා වේළුකණ්ඨකී නන්ද මාතාව
සහ ඛුජ්ජුත්තරා උපාසිකාව. විශාල වැස්සක් වහින විට තමා ඉහළාගෙන සිටින කුඩය තමන්
වැස්සෙන් ආරක්ෂා කරනවා වගේ ධර්මයේ හැසිරෙන කෙනා ධර්මය විසින් ම ආරක්ෂා කරනවා.
නයනා නිල්මිණී |