පින්බර නාගදීපයේ අසිරිමත් ඉතිහාසයෙන් ...

සෙත් පතන සෙත සදන අසිරිමත් සොළෙස්මස්ථාන - 03:

පින්බර නාගදීපයේ අසිරිමත් ඉතිහාසයෙන් ...

භගිනි සුත මාතුලෙහි දින්නේ - මණි පල්ලංක වරෙ යහිං නිසින්නෝ
මුනි ධම්ම දේසයි මුනීනං - සිරසා තං පණමාමි නාගදීපං

යම් තැනෙක් හි මා තුළ චූලෝදර - මහෝදර නා රජවරුන් විසින් දෙන ලද උතුම් වූ මිණි පලඟෙහි වැඩ හිඳ සර්වඥයන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට ධර්මය දේශනා කළ සේක් ද, ඒ මිණිපලඟ පිහිටුවා සාදවන ලද නාගදීප ස්තූප වහන්සේ වන්දනා කරමි.

දීපවංසය, මහාවංසය, සමන්තපාසාදිකා වැනි ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි බක් අමාවක පොහොය දිනයේ දඹදිව ජේතවනාරාමයේ සිට නාගදීපයට වැඩම කළ බව සඳහන් වේ. නාගදීපය සොළොස් මහා සිද්ධස්ථානයන්ගෙන් දෙවැනි පූජනීය ස්ථානයයි.

බුදුරජාණන් වහන්සේ අලුයම් කාලයේ ලොව දෙස බලා වදාරන කල්හි ලංකාද්වීපයෙහි “මණිනාග“ නම් දිවයිනෙහි නා රජවරුන් අතර සිදුවන්නට යන යුද්ධය දිවැසින් දැක සිදුවන මහා විනාශය වැළැක්වීම පිණිස මහා කරුණාවෙන් ‘මණිනාග‘ දිවයිනට වැඩම කළ සේක.

පැරැණි ලක්දිව නාගයන්ට වාසස්ථාන වූ නාග භවන තුනක් පිළිබඳ සද්ධර්මාලංකාරයේ ද විස්තර වේ. එනම් වඩුන්නාගල නාග භවන, මණිනාග දිවයින සහ කැලණි ගංගා නාග භවනයි. බුදුරජාණන් වහන්සේ නාගදීප දූපතට වැඩි අවධියේ දී එම දූපත හඳුන්වා දී ඇත්තේ “මණිනාගදීප” නමිනි.

එදා බුදුරජාණන් වහන්සේ මණිනාගදීපයට වැඩම කළේ චූලෝදර, මහෝදර නාග ගෝත්‍රික මාමා සහ බෑණා අතර මැණික් පුටුවක් අරභයා ඇති වූ යුද්ධය සංසිඳුවීමට ය. එදා “මණිනාගදීපය” හෙවත් “නාගදීපය” පාලනය කළේ මහෝදර නා රජු ය.

පුරාවෘත්තයන්ට අනුව නාගදීපය ඇතුළු මුහුදේ ප්‍රධානියා ව සිටි මහෝදර නා රජුගේ සහෝදරිය වූ තිරවිකා නාග කන්‍යාව සරණ පාවා දෙන ලදී. නැගණියගේ පුත් කුමරු වූයේ වඩුන්නාගල ප්‍රදේශයේ රජ කළ චූලෝදර නම් නා රජු ය. නැගණියගේ සරණ මංගල්‍යයේ දී මහෝදර නා රජු දායාදය වශයෙන් පරිත්‍යාග කරන ලද්දේ පරම්පරාවෙන් පැවත ආ තමන් සතුව තිබූ වටිනා වස්තුවක් වූ මිණි පළඟකි. එනම් මැණික් පුටුවකි.

එම මැණික් පුටුව සම්බන්ධ ව මාමා සහ බෑණා අතර ඇති වූ සිත් අමනාපය අවසානයේ දී යුද්ධයක් බවට පත්විය. මහෝදර නා රජුගේ මාමා වූ කැලණියේ මණිඅක්ඛිත නා රජුට ද මෙම ආරවුල පිළිබඳ ආරංචිය ලැබීමෙන් පසු මනිඅක්ඛිත නා රජු ද සේනාව සන්නද්ධ ව නාගදීපයට ගොස් මහෝදර නා රජු හා එක්ව චූලෝදර නා රජුට එරෙහි ව යුද වැදීමට සූදානම් විය.

මහෝදර නා රජුගේ සොහොයුරිය වූ තිරවිකා හදිසි අසනීපයකින් මිය ගිය පසු මහෝදර නා රජු නැඟණිය සිහිපත්වීම සඳහා දායාදය වශයෙන් පරිත්‍යාග කරන ලද මැණික් පුටුව බෑනණුවන් වූ චුලෝදර වෙත පණිවුඩයක් යවමින් නැවත ඉල්ලා සිටියේ ය. චූලෝදර නා රජු එම ඉල්ලීමට එකඟ නොවීය. “මැණික් පුටුව“ සරණ මංගල්‍යයේ දී දායාදය ලෙස ලැබුණත් තම මවගේ පාර්ශ්වයෙන් තමාට ද එහි යම් අයිතියක් ඇතැයි ප්‍රකාශ කරමින් මාමාගේ එනම්, මහෝදර නා රජුගේ ඉල්ලීම බැහැර කළේ ය. මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම චූලෝදර නා රජු හා මහෝදර නා රජු අතර මහා යුද්ධයක් දක්වා දුරදිග යන හේතුවක් විය.

මාමා සහ බෑණා වූ මේ නා රජවරුන්ගේ යුද වැදීමෙන් සිදුවන මහා විනාශය වැළැක්වීම පිණිස අප තථාගතයන් වහන්සේ ලක්දිව නාගදීපයට මහා කරුණාවෙන් වැඩම කළ සේක. එසේ වැඩම කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වැඩසිටි දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුකෙහි සිටි “සමිද්ධි සුමන” නම් දේවතාවා මින් පෙර භවයක ලක්දිව “මණිනාගදීපයේ” විසූ කෙනෙකි. “සමිද්ධි සුමන” දෙවියන් යළිත් එම ප්‍රදේශයෙහි වාසය කරවූයේ නම්, ඔහුටත්, නාගයන්ටත් යහපතක් සිදුවන බව බුදුරජාණන් වහන්සේට පෙර ලකුණුූ පෙනුණි. එම නිසා ම “මණිනාගදීපයට” යෑමට එන ලෙස බුදුරජාණන් වහන්සේ දේවතාවාට දැනුම් දුන්හ. “සමිද්ධි සුමන” නම් මේ වෘක්ෂ දේවතාවා එම කිරිපලු රුක ද ගලවාගෙන බුදුරජාණන් වහන්සේට සේසතක් සේ දරාගෙන පැමිණියේ ය.

මෙලෙස නාගදීපයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ හිඳිමින් යුද වැදීමට සූදානම් ව සිටි නාගයන් දමනය කරනු පිණිස මුළු ලංකාද්වීපය ම ඝන අන්ධකාරයෙන් වසා නැවත ආලෝකවත් කරමින් බුදුරැස් විහිදුවා පෙළහර පෑ සේක. බුදුරජාණන් වහන්සේ දුටු නාගයින් ඉමහත් සොම්නසටත්, සැනසීමටත් පත්ව සම්බුදු සිරිපා අබියස වැඳ වැටුණහ. චූලෝදර, මහෝදර නා රජවරුන් ප්‍රමුඛ නාග සේනාවන්ට සමඟි සම්පන්නවීමේ අගය පෙන්වා දෙමින් ධර්මය දේශනා කළ සේක.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා සතුටට පත් නාගයෝ “සමඟි සම්පන්න වූහ. ගැටුමට මුල් වූ ඒ මිණිපලඟ බුදුරජාණන් වහන්සේට පූජා කළහ. නා රජවරුන් විසින් පූජා කරන ලද එම මැණික් පුටුවේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ එම මිණිපලඟ බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ, පාරිභෝගික වස්තුවක් බවට පත් කොට නාගයන් වෙත ම නැවත පවරා දුන්හ. ඉන්පසු තමන් වහන්සේ සමඟ පැමිණි

“සමිද්ධි සුමන” නම් දෙවියන් රැගෙන ආ කිරිපලු නුග රුක ද පූජා වස්තුවක් බවට පත්කොට බුදුරජාණන් වහන්සේ නැවත දෙව්රම් වෙහෙරට වැඩම කළ සේක.

එලෙස පාරිභෝගික වස්තුවක් බවට පත් වූ මිණිපළඟ තැන්පත් කොට නා රජුන් විසින් චෛත්‍යයක් සාදවන ලදී. එය නාගදීප චෛත්‍යයයි. මේ චෛත්‍ය කිරිපලු නුග රුක අසල පිහිටි නිසා “රාජායතන” ස්තූපය ලෙස ද ප්‍රකට විය. “සමිද්ධි සුමන” දෙවියන් රැගෙන එනු ලැබූ කිරිපලු රුක ස්තූපය අසල රෝපණය කෙරිණි. එසේ රෝපණය කළ කිරිපලු රුක “සමිද්ධි සුමන” දෙවියන්ගේ වාසස්ථානය බවට පත් විය.

“මණි නාගදීපයේ” රාජයතන ස්තූපය වන්දනා මාන කිරීමට වැඩම කළ භික්ෂූන් වහන්සේ හැට නමකට “නාගා” නමැති දාසියක් වෙහෙස මහන්සි වී උපයාගත් ධනයෙන් දානය සූදානම් කළා ය. නාගා දාසියගේ ශ්‍රද්ධාව ගැන සිතූ එම භික්ෂූන් වහන්සේ වීර්යයෙන් යුතුව රහත් බව ලැබ එම දානය වැළඳූහ. එම පුවත අසා පැහැදුණු රජතුමා නාගා නම් දාසිය, දාස බවින් මුදා “මණිනාග“ දිවයින ඇයට තෑගි කළ බව ද සද්ධර්මාලංකාරයේ නාගා වස්තුවෙහි සඳහන් වේ. “මණිනාගදීපයට” “නාගදීපය” යැයි නම් ලැබුණේ ඉන්පසුව බව ද සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනින් පාරිශුද්ධත්වයට පත් වූ “නාගදීප” පූජා භූමිය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටි බෞද්ධයින්ගේ උතුම් සිද්ධස්ථානයකි. යාපනය නගරයෙන් කිලෝමීටර් 32ක් පමණ දුරින් පිහිටි නාගදීපය සම්පූර්ණයෙන් ම මුහුදෙන් වට වූ දූපතකි.

බුදුරජාණන් වහන්සේ දෙවැනි වර වැඩම කරන ලද නාගදීප පුණ්‍ය භූමිය ලංකාද්වීපයේ රජ කරන ලද දුටුගැමුණු, සද්ධාතිස්ස වැනි රජවරු තමන්ගේ පාලන සමයන්හි ආරක්ෂා කරමින් රැක බලා ගත් බව ද ඉතිහාසයේ සඳහන් ය. කලින් කල පැමිණි පෘතුගීසී, ලන්දේසි හා ඉංගී‍්‍රසීහු ලංකාවේ තිබූ බොහෝ වැදගත් සිද්ධස්ථාන, බෞද්ධයන්ට ඉතා වටිනා වෙහෙර විහාර විනාශයට පත් කළහ. නාගදීප විහාරස්ථානය ද මේ පාලන සමයන්හි දී ඔවුන්ගේ බලපෑම් හේතුවෙන් විනාශයට පත්විය.

කාලයාගේ ඇවෑමෙන් වර්ෂ 1931 දී අම්බලන්ගොඩ රන්දොඹේ සෝමසිරි තිස්ස මහා නා හිමිපාණන් වහන්සේ විසින් බොහෝ දුක් ගැහැට විඳ “නාගදීපයට” වැඩම කොට බෞද්ධයන්ට අහිමිව තිබූ උතුම් නාගදීප පුණ්‍ය භූමිය වන්දනාමාන කටයුතු සඳහා නැවත එළි පෙහෙළි කර දුන්හ.

පසුකාලීනව වසර 30ක් පමණ පැවැති ත්‍රස්තවාදී යුද්ධය නිසා දකුණේ ජනතාවගෙන් ඈත්ව තිබූ නාගදීප පුදබිම දිවි දෙවැනි කොට රැක ගත්තේ විහාරාධිපති ධුරය දැරූ ධම්මකිත්ති නා හිමියන් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය නවදගල පදුමකිත්ති හිමියන් එකතුව ය.

2003 වසරේ විහාරාධිපති ධම්මකිත්ති නා හිමියන්ගේ අපවත්වීමෙන් පසුව නාගදීප පුද බිම රැක ගන්නට සියලු කටයුතු කරන්නට සිදු වූයේ පදුමකිත්ති හිමියන්ට ය.

අද උන්වහන්සේගේ වයස අවුරුදු 62 කි. 1983 වසරේ සිට 2009 දක්වා වූ කාලය නවදගල පදුමකිත්ති හිමි වයස අවුරුදු 22 සිට 48 ක් පමණ දක්වා වූ සම්පූර්ණ තරුණ කාලය ගෙවී ගොස් ඇත්තේ ත්‍රස්තවාදීන්ගෙන් නාගදීප පුදබිම රැක ගැනීමට ය.

වර්තමානය වන විට පදුමකිත්ති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කරන ලද නාගදීප විහාරස්ථානයට පිවිසෙන ජැටිය, වාහල්කඩ, ඇත් පවුර, තෙමහල් ධාතු මන්දිරය, කෞතුකාගාරය හා භික්ෂු විවේකාගාරය, වලාකුළු බැම්ම මෙන් ම බෝ මළුවේ රන්වැට ඉදිකිරීම ද උන්වහන්සේ විසින් සිදු කරන ලද සේවාවන් අතර වේ.

සිංහල බෞද්ධ ජනතාව නොමැති ප්‍රදේශයක පිහිටි නාගදීප විහාරස්ථානය ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සුරක්ෂිත ව ආරක්ෂා කිරීමට නාවික හමුදාව ප්‍රමුඛ ව ආරක්ෂක හමුදාව ලබා දී ඇති දායකත්වය පිළිබඳ නා හිමියෝ සිහිපත් කරති. එමෙන් ම විහාරස්ථානයේ සෑම සංවර්ධන කටයුත්තක දී ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ලබා දී ඇති බව උන්වහන්සේ පවසති.

මුහුදු මඟින් ම ගමන් කර වන්දනා මාන කළ යුතු එකම සොළොස්මස්ථානය වන්නේ නාගදීපයයි. අද වන විට නාගදීපය බෞද්ධ වන්දනාකරුවන්ගේ විශේෂිත පින් බිමක් බවට යළි පත් කරන්නට පදුමකිත්ති නා හිමියන් දරා ඇති වෙහෙස අගය කළ යුතු ම ය. උන්වහන්සේ දඹකොළ පටුන සංඝමිත්තා පුරාණ විහාරයත්, නාගදීපයේ බුද්ධ වලව්ව පුරාණ විහාරයත් යන විහාරද්විත්වයේ ද විහාරාධිපති ධුරය හොබවන අතර උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් ද පිදුම් ලබා ඇත්තේ ය.

වප්  අමාවක

නොවැම්බර් 12 ඉරිදා අ.භා.
 02.42 න් අමාවක ලබා 13 සඳුදා අ.භා. 02.55 න් ගෙවේ.
12 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]