සිසු විනයට වින කරන නිස්සාර සිතුම් පැතුම්
ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ පහළොව අතුරින් ධම්මපදයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. එය
බෞද්ධයාගේ හස්තසාර (අත්පොත) ග්‍රන්ථය නමින් ද හැඳින්වේ. මෙහි අන්තර්ගත ධර්මෝපදේශ
සර්වකාලීන අගයක් ඇති, කවර ජාතියකට වුව ද, කවර ආගමිකයකුට වුව ද සාර්ථක ජීවිතයක්,
යහපත් පෞරුෂයක් ගොඩනඟා ගැනීමට භාවිත කළ හැකි ය.
බෞද්ධ සමාජයේ ගිහි – පැවිදි දෙපක්ෂයේ ම උභයාර්ථ ජීවිතය සාර්ථක කර ගැනීමටත්,
නිර්වාණවබෝධය සඳහාත් උපකාරි වේ. මෙම ගාථා ධර්ම මඟින් විවිධ පුද්ගල චරිත හා ඔවුන්ගේ
හැසිරීම් රටා රාගය – ද්වේෂය, මෝහය වැනි පුද්ගල මනෝභාව පින්, පව්, කුසල් අකුසල් ආදිය
විස්තර වෙයි. එම ධර්මෝපදේශ සිසු දිවිය ඔපවත් කර ගැනීමට ද අදාළ කර ගැනීමට පුළුවනි.
සාරධර්ම අගය කරන ආධ්‍යාත්මික සංවර්ධනයකින් හෙබි දරු පිරිසක් සමාජගත කිරීමට අදාළ
ධර්මෝපදේශ යමක හා අප්පමාද වග්ග දෙක ඇසුරින් සිසු දරුවන්ගේ අවධානයට යොමු කරවීමට මෙ
මඟින් අපේක්ෂා කෙරේ.
වර්තමානයේ සිසු විනය පිරිහීයාම, සිසුන් සිසුන් අතර අරගල ඇති කර ගැනීම මව්පිය,
වැඩිහිටි හා ගුරු බසට සවන් නොදීම මත්වතුර, මත්පෙති, මත්කුඩුවලට ලොල්වීම, සොරකම වැනි
සමාජ විරෝධි ක්‍රියාවලට පෙළඹීම, පාසල් සිසු අවධියේ දී ම අනියම් පේ‍්‍රම සබඳතා ඇතිකර
ගැනීම වැනි අයහපත් හැසිරීම් හා විෂම පැවතුම් රැසක්ම දැකිය හැක. එය ඉතා කනගාටුදායක
ය. මේ සඳහා බලපාන මූලික හේතු සාධකයක් වන්නේ සිසු දරුවන් හරයක් නැති, නිස්සාර, බොල්,
පුහු ආටෝප, සිතුම් පැතුම් හා ඍණාත්මක ආකල්ප වැළඳගෙන කටයුතු කිරීම නිසා බව
අසාරෙ සාර මතිනො
සාරෙ චාසාර දස්සිනො
තෙ සාරං නාධී ගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගොචරා
(යමක වග්ගය 11 ගාථාව) යන ගාථා ධර්මයෙන් පැහැදිලි වෙයි.
“නිසරු දේ සරු ලෙසත්, සරු දේ නිසරු ලෙසත් සලකමින් නිතර ම වැරැදි කල්පනාවල එල්ඹුණු
පුද්ගලයෝ සරු දහමක් නොලබති.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
මෙම ධර්මෝපදේශය අපේ ශිෂ්‍ය ප්‍රජාව ඉතා මැනවින් තේරුම්ගත යුතු ය. ඔබ අපේ වත්කම ය.
මේ රටේ වටිනාම මානව සම්පත ඔබ ය. රටේ අනාගතය පැවරෙන්නේ ද ඔබ වෙතට ය. විද්‍යාව, ගණිතය
වැනි බුද්ධිය සංවර්ධනය කෙරෙන විෂයයන් හදාරා උගත් මිනිසකු වන්නා සේ ම ආගම,
සාහිත්‍යය, ඉතිහාසය, කලාව හා සෞන්දර්ය වැනි විෂයයන් හදාරා සංවේදි හදවතක් ඇති
මිනිසකු වීමට ද අවධානය යොමු කළ යුතු ය.
මව්පියන්, වැඩිහිටියන් තම දරුවන්ට විභාගවලින් උසස් සාමාර්ථ අත්පත් කර දීමට උනන්දු
වන්නා සේ ම යහපත් සිතුම් පැතුම් හා යහපත් ආකල්පවලින් හෙබි මුළු මහත් මානව වර්ගයාට
සහ සත්ව ප්‍රජාවට ආදරය කරන, ජාතික සම්පත් සුරකින ආගමට දහමට ලැදි සංවේදී හදවතක් ඇති
බුද්ධිමත් දරුවකු සමාජ ගත කිරීමට ද වෙර දැරිය යුතු ය. එවැනි මානව සමාජයක් ගොඩනඟා
ගැනීමට නම් සරු – නිසරු, යහපත් – අයහපත් ආකල්ප මොනවා දැයි තෝරා බේරා ගෙන තමාටත්,
සමාජයටත් සෙත සැලසෙන, සිතිවිලි හා ආකල්ප ක්‍රියාත්මක කළ යුතු ය. ඒ සඳහා මතු දැක්වෙන
ගාථා ධර්මය මනා මඟ පෙන්වීමකි.
“සාරංච සාරතො ඤාත්වා
අසාරං ච අසාර තො
තෙ සාරං අධිගච්ඡන්ති
සම්මා සංකප්ප ගොචරා
(යමක වග්ගය 12 ගාථාව)
“සරු දේ සරු ලෙසත්, නිසරු දේ නිසරු ලෙසත් සලකන යහපත් සිතිවිලි ඇති පුද්ගලයෝ සරු
දෙයක් ම ලබති. යනුවෙන් එම ගාථා ධර්මයෙන් ප්‍රකාශ වෙයි.
මේ ආකාරයට ශිෂ්‍ය ප්‍රජාව යහපත් සිතිවිලි ඇතිව කටයුතු කරන විට බොහෝ සිසු විනය ගැටලු
නිරාකරණය කර ගැනීමට පුළුවන. ගුරු සිසු සබඳතාව, මව්පිය දූදරු සබඳතාව, සුරක්ෂිත වේ.
සාරධර්ම ගරුකරන, දෑහිතකාමී මිනිස්කම ඇති උගත් බුද්ධිමත් මිනිසා රටකට මහඟු සම්පතකි.
එස් නොවුනොත් ඉන්දියානු පඬිවරයෙකු වූ ආචාර්ය සර්ව පල්ලි රාධ ක්‍රිෂ්ණතුමා ප්‍රකාශ
කර ඇති පරිදි බිහිවන්නේ උගත් රාක්ෂයන් ය. එබඳු අයගෙන් රටකට කිසිදු පලක් නැත.
අධ්‍යාපන ක්‍රියාවලියෙන් පුද්ගලයා තුළ පූර්ණ සංවර්ධනයක් ඇති විය යුතු ය. ශාරීරික,
මානසික, සමාජිය හා ආධ්‍යාත්මික යන සෑම අංශයක් ම සංවර්ධනය විය යුතු ය. ඒ සඳහා මානසික
ශක්ති සමූහයක් අවශ්‍ය වේ. පූර්ණ සංවර්ධනයක් ඇතිකර ගැනීම සඳහා අනිවාර්යයෙන් ම තිබිය
යුතු මානසික හැකියා කිහිපයක් බුදුරජාණන් වහන්සේ පහත දැක්වෙන ගාථා ධර්මයෙන් පෙන්වා
දුන්හ.
“උට්ඨානවතො සතිමතො
සූචිකම්මස්ස නිසම්ම කාරිනො”
යන ගාථාව ට අනුව “උත්සාහය, සිහිනුවණින් කටයුතු කිරීම, පිරිසුදු ක්‍රියා හෙවත්
වැරැදි වැඩ නොකිරීම, විමසිලිමත් බව, කායික මානසික හා වාචසික ශික්ෂණයෙන් යුතුව
දැහැමින් සෙමෙන් ජීවත්වීම සහ පමා නොවී කටයුතු කරන පුද්ගලයාගේ කීර්තිය වැඩෙන බව එම
ගාථා ධර්මයෙන් අපට ලබා දෙන පණිවිඩයයි. මෙම මානසික ශක්තීන් පුද්ගල කායික හා මානසික
සෞඛ්‍යය සඳහ ඍජු ලෙස බලපායි. එමෙන් ම පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනයට ද හේතු වේ.
මෙම අර්ථ විවරණ පිළිබඳ ඔබේ අවධානය යොමු කිරීමෙන් තමන්ගේ ජීවිතය තමන්ට ද අන්‍යයන්ට ද
අර්ථකාරි ලෙස පවත්වා ගෙන හැකි වනු ඇත.
කුරුණෑගල දහම් සරසවියේ කථිකාචාර්ය
(ශාස්ත්‍රවේදී ගෞරව, අධ්‍යාපන ඩිප්ලෝමා අධ්‍යාපන පති)
ඒ.එම්. සෙනෙවිරත්න බණ්ඩා |