දන් දෙන හැටි කියා දුන් බෝසත් හාවාගේ කතාව

දන් දෙන හැටි කියා දුන් බෝසත් හාවාගේ කතාව

ආචාර්ය

පදියතලාවේ අමරවංශ හිමි

එක් කලෙක බරණැස් නුවරට ආසන්නයේ මහා වනයක පුංචි හා පැටියෙක් උපත ලැබුවා. මේ කාලයේ ඒ නුවර පාලනය කළේ බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක්. එතුමා සියලු සතුන්ට මහත් කරුණාවක් දැක්වූවා. රජතුමා අනුව රට වැසියාත් සතුන්ට කරුණාව ප්‍රදර්ශනය කළා. සතුනුත් සුව සේ ප්‍රීතියෙන් ජීවත් වුණා.

මේ පුංචි හා පැටියට කුඩා කාලයේ ඉඳලම සිවලෙක්, වඳුරෙක් හා මස්කාවෙක් යනුවෙන් යහළුවන් තුන් දෙනෙක් හිටියා. හතර දෙනා ම බොහෝම සමගියෙන් ක්‍රීඩා කරමින් කාලය ගත කළා. හොඳ පුරුද්දක් මේ හතර දෙනාට ම තිබුණා. ඒ තමයි දවස් දහයකට වතාවක් කැලෑවේ එක තැනකට එකතු වෙලා තම තමන්ගේ ගුණදොස් වගේ ම ධර්ම ගැනත් සාකච්ඡා කිරීම.

ශරීරයෙන් කුඩා වුණත් බුද්ධියෙන් හා සීල ගුණයෙන් වඩාත් ම උසස් වුණේ හාවා. යහළුවන් හමුවන හැම අවස්ථාවක දීම

‘සිල් රකින්න ප්‍රමාද වෙන්න එපා. ජීවිතය ඉතාම කෙටියි. දන් දෙන්න අමතක කරන්න එපා. ජීවිතය ඉතාම කෙටියි. අප ඉක්මනින් ම මිය යනවා. හැම මොහොතක ම කුසල් වඩන්න, පින්කම් කරන්න’ කියලා අවවාද අනුශාසනා කරනවා. යහළුවනුත් පුළුවන් හැම අවස්ථාවක ම ඒ ගුණ ක්‍රියාවට නඟනවා.

දවසක් හාවා රාත්‍රියේ හීතණ කොළ බිස්සක වැතිරිලා අහස දිහා බලන් ඉන්න කොට දකින්න ලැබුණා පුරපසළොස්වක පොහොයට පායන දීප්තිමත් වූ හඳ. ආලෝකය හැම තැනම පැතිරිලා ගිහින්. මහවනය ම කිරි පාටින් බබළනවා. ඒ මොහොතේ ම මතක් වුණා යහළුවන් එක්ක පොහොයට සිල් සමාදන් වෙන්න ඕන කියලා. හතර දෙනා පසු දිනම හමු වුණා. යාළුවන් අමතලා කියනවා ‘පින්වත් මගේ යාළුවනේ, අපි හතර දෙනා දවස් දහයකට වතාවක් මෙහෙම හමුවෙලා අපේ ගුණදොස් විමසා බලනවා. අන් අයටත් පිහිට වෙනවා. ඒත් තවම අපට බැරිවුණා සිල් සමාදන් වෙන්න. හෙට පුරපසළොස්වක පොහොය. මිනිසුන් සිල් සමාදන් වෙලා භාවනා කරලා සසර දුක් නැති කර ගන්නවා. අපිත් හෙට සිල් සමාදන් වෙමු. හෙට කෑම හොයාගෙන ඇවිදින්නේ නැතිව ඉමු. අදම පුළුවන් විදිහට කෑම හොයා ගමු. හෙට හැමෝම සුදුසු ස්ථානයක ඉඳගෙන භාවනා කරමු’ කියලා යෝජනා කළා.

යහළු නායකයාගේ අදහසට අනෙක් තුන් දෙනාම එකඟ වුණා. බෝසත් හාවාගේ ගුණ ඉතා ඉහළ නිසා යහළුවන් වැරැද්දක් කරන්නේ නෑ. ඒ වගේම බොරු කියන්නේවත්, සොරකම් කරන්නේවත් කරන්නේ නෑ. හෙට සිල් සමාදන් වෙන්න ඕන. කෑම හොයා ගන්නත් ඕන. වඳුරාටත්, හාවාටත් කෑම ගැන එතරම් වෙහෙස වෙන්න ඕන නෑ. ඒත් සිවලාටත්, මස්කාවාටත් කෑම හොයා ගන්න වෙහෙසෙන්න ඕන. ඒකට හේතුව තමයි මේ දෙන්න ම මාංශ භක්ෂක වීම. කොහොම හරි හෙට සිල් සමාදන් වෙන්න ඕනයි කතිකා කර ගත් විදිහට ම හතර දෙනා හතර පැත්තට විහිදිලා ගියා කෑම හොයා ගෙන එන අදහසින්.

ඔවුන් ඉන්න තැනින් එක පැත්තක තිබුණේ පලතුරු ගස්වලින් පිරුණු විශාල කන්දක්, තවත් පැත්තක මහා ගංගාවක්. ඒ වගේම අනෙක් පැත්තේ තිබුණේ කුඹුරු යායක්. වඳුරා කන්ද පැත්තට ගියා. ඔහු කෑමවලින් වඩාත් ම ආශා කළේ මී අඹවලට. ඉතින් වඳුරාට දකින්න ලැබුණා හොඳට ඉදුණු මී අඹවලින් පිරුණු මී අඹ ගහක්. ගහ ළඟට ගිහින් මහා හඬින් අඬගැහුවා‘මේ අඹ ගහට අයිතිකාරයෙක් ඉන්නවදෝ’ කියලා. කවුරුත්ම ප්‍රතිචාරයක් දැක්වූවේ නෑ. දෙවැනි වරටත්, තෙවැනි වරටත් අයිතිය විමසලා හඬ ගෑවා. ඒත් කවුරුත්ම ඉදිරිපත් වුණේ නෑ. ඒ නිසා මිහිරි මී අඹ පොකුරක් ම කඩාගෙන තමන් ඉන්න තැනට ආවා.

මස්කාවා ගියේ ගඟ පැත්තට මාළු කෑමට තමයි වඩාත්ම ඌ ආශා කළේ. ගඟ දිගට පියාඹලා බැලුවා. අනතුරකින් හෝ මියගිය මාළුවෙක්වත් ඉන්නවද කියලා. ඒත් හොයා ගන්න බැරි වුණා. ගං ඉවුරේ වැලි තලාවක සඟවලා තියන මාළු වගයක ඉවක්නම් මේ කුරුල්ලාට දැනුණා. එතැනට ගිහින් වැලි ඉවත් කරලා බලන කොට මාළුවෝ හත් දෙනෙක් හිටියා. ඉතින් හොරෙන් අරගෙන යන්න අදහසක් නෑ. අයිතිකාරයෙක් ඉන්න බව හොඳට ම පේනවා. ඒ නිසා තුන් වතාවක් ම මහත් හඬින් හඬගෑවා

‘මේ මාළුවලට අයිතිකාරයෙක් ඉන්නවදෝ’ කියලා. ඒත් කවුරුත් ම ඉදිරිපත් වුණේ නෑ. ඒ නිසා ඒවා අරගෙන තමන් ඉන්න තැනට ගියා. සිවලා ගියේ කුඹුරු යාය පැත්තට වාඩියක එල්ලලා තිබුණා. කරවල කෑල්ලක්. මුදවපු කිරි මුට්ටියකුත් තිබුණා. ඒවගේම තලගොයි මස් ටිකකුත් තිබුණා. අනෙක් සතුන් වගේම මෙයත් අයිතිය විමසලා මහත් හඬින් අඬගහලා බැලුවා අයිතිකාරයා කවුද කියලා. පෙනෙන තෙක් මානයක කවුරුත් ම ඉදිරිපත් වුණේ නෑ. ඒ නිසා ඒ ටික අරගෙන වාසස්ථානයට ගියා. යහළුවන්ගේ නායකයා වුණු හාවා ගඟ පැත්තට ගියා. හොඳට වැඩුණු හීතණ කොළ මිටියක් අරගෙන ඉන්න තැනටම ආවා. හැමෝම දැන් හෙට සිල් ගන්න සූදානම්. බොහොම සතුටින් මෙහෙම ඉන්නකොට හාවාට එකපාරටම මතක් වුණා. හෙට මම සිල් ගන්නා දවසක්. කෙනෙක් කුසගින්නේ ආවොත් මම එයාට දන් දෙන්නේ මොනවද කියලා හිතුවා. කැලෑ කොළ බුදින සතෙක් ආවොත් මගේ හීතණ කොළ ටික දෙන්න පුළුවන්. මුං, කවුපි, ආදී ධාන්‍ය හෝ බත් ආදී ආහාර කන කෙනෙක් ආවොත් මම එයාට මොනවද දන් දෙන්නේ කියලා තව තවත් කල්පනා කළා. එතකොට එයාට මතක් වුණා එහෙම වුණොත් කවදාවත් දෙන්න අවස්ථාවක් එන්නේ නැති දුර්ලභ දානයක් දෙන්න පුළුවන් කියලා. නායක වූ හාවා හිතුවා තමන්ගේ ශරීරය මාංශ බවට පත් කරලා දන් දෙන්න. යහළුවන් හතර දෙනාගේ සීල ගුණයත්, යහළුවන්ගේ නායක වූ හාවාගේ දාන සිතිවිල්ලත් බලවත් නිසා ශක්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය මේ මොහොතේ දී හුණු වී ගියා. හේතු විමසලා බලන කොට දකින්න ලැබුණා මනුෂ්‍ය ආත්මයක් ලැබූ කෙනකුටත් වඩා උතුම් දාන සිතිවිල්ලක් ඇති බව. ඒ දාන සිතිවිල්ලත්, හතර දෙනාගේ සීල ගුණයත් විමසන අදහසින් යාචකයකුගේ වෙසක් මවාගෙන පොහොය දවසේ උදෙන්ම යහළුවන් හමුවෙන්න ගියා. පළමුවෙන් ම ගියේ මස්කාවා ළඟට. දුටු ගමන් ම පින්වත් බමුණ, තොප කුමක් නිසා මෙහේ ආවේ ද? කියලා බමුණා ආපු කාරණය කියන්නත් ඉස්සෙල්ලා උදව්ව ලබා දෙන අදහසින් විමසා සිටියා.

බමුණා බොහොම පැහැදීමට පත් වෙලා ‘මට බොහෝම බඩගිනියි. කුස පිරුණොත් මමත් ඔබ වගේම සිල් සමාදන් වෙලා භාවනා කරනවා. මොනවා හරි දෙයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටියා. මස්කාවා තමන්ගේ ආහාරයට හොයා ගත්ත මාළු ටික අරගෙන දන් දුන්නා. එතකොට බමුණා කියනවා

‘දැන් උදෑසන වැඩියි. පසුව එන්නම්‘කියලා. දෙවැනියට සිවලා ළඟට ගියා. සිවලත් තමන්ගේ ආහාර දන් දුන්නා. ඔහුටත් මස්කාවාට දැක් වූ ප්‍රතිචාරය ම දක්වලා එතැනින් ගියා.

තුන්වැනියට වඳුරා ළඟට ගියා. ඔහුගේ ප්‍රතිචාරයත්, බමුණාගේ ප්‍රතිචාරයත් පෙර පරිදිම වුණා. අවසානයට ගියේ හාවා ළඟට. ගිහින් ආහාරයට යමක් ඉල්ලා සිටියා.

‘පින්වත් බමුණ, මම හීතණ අනුභව කර යැපෙන කෙනෙක්. මගේ ළඟ හීතණ බොහෝ තියෙනවා. ඒවා මට දන් දෙන්න පුළුවන්. එහෙත් ඔබගේ කුස ගින්න නිවන්න ඒවා ගන්න බෑ. මගේ ළඟ මිනිසුන් අනුභව කරන මුං, තල, කවුපි, හාල් ආදී ධාන්‍ය වර්ගත් නෑ. ඔබට මගේ ශරීර මාංශ දන් දෙන්නම්. එය මම ලබන උතුම්ම ලාභයක්. සිල්වත් ව සිට දන් දෙන්න ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. ගිනිමැලයක් ගහන්න. මම එයට පනින්නම් මාගේ ශරීරය මාංශ වූ පසු පුළුස්සා අනුභව කරන්න‘යි ඉල්ලා සිටියා.

බමුණාත් ශක්‍ර මහිමය යොදවා ගිනි මැලයක් ගැහුවා. හාවා තමන්ගේ ශරීරය සිවුවතාවක් ම ගසා දමා කිනිතුල්ලන් ආදී සතුන් ඉවත් කර ගිනි මැලයට පැන්නා. ඒ ගින්නෙන් ශරීරයේ එක් රෝමයකටවත් ගිනි ඇවිලුණේ නෑ. උණුසුම වෙනුවට සීතලක් දැනුණා. වහාම එළියට ඇවිත් ඔබ කවුද? මෙහෙම වුණෝ කොහොම ද? යනාදී වශයෙන් ප්‍රශ්න කළා.

ඒ අවස්ථාවේ ශක්‍රයා සියලු පුවත් පැහැදිලි කොට හාවාගේ දාන සිතිවිල්ල අගය කළා. තිරිසන් සතකු වී කළ ආස්චර්යය ලෝකය පවතින තාක් පවතින්නට ඕනෑ යැයි හිතලා සඳ මත හාවාගේ රූපය ඇඳලා, බෝසත් හාවා වඩාගෙනවිත් තණ බිස්සේ සතපවලා නැවත දෙව් ලොවට ගියා'යි කථා පුවතක් ජාතක පොතේ තුන්සිය දහතුන්වන ජාතක කථාවේ සඳහන් වෙනවා.

සතුන් මාර්ගයෙන් මිනිසුන්ට ආදර්ශ සමූහයක් ම දක්වන ජාතක කථාවක් විදිහට මේ සස ජාතකය සලකන්න පුළුවන්. මිනිස් සමාජයේ හැදෙන්න බැරි යැයි හෝ හදන්න බැරි යැයි හෝ කියන නොමිනිසුන් ව සත්පුරුෂ ආශ්‍රයෙන් වෙනස් කර ගත හැකි බවත්, දන් දෙන්න යමක් නැතැයි කියමින් සිටින අයට දන් දෙන්න යමක් සොයා ගන්නා හැටිත්, දන් දිය යුත්තේ සිල්වත් ව සිටිමින් බවත්, සමාජයක ජීවත්වීමේ දී අන් අයට හිරිහැරයක්, බාධාවක් නොවී ජීවත් වෙන හැටිත් මේ ජාතක කථාව අපට උගන්වනවා.

තුන් කල්හි ම වැදගත් වන උපදේශයක් තමයි මේ කථාවෙන් ලබා දෙන්නේ.

වප්  අමාවක

නොවැම්බර් 12 ඉරිදා අ.භා.
 02.42 න් අමාවක ලබා 13 සඳුදා අ.භා. 02.55 න් ගෙවේ.
12 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]