නොසිතූ නොපැතූ ලෙස
කළකම් පසුපස එන හැටි
අපගේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වැඩ වාසය කරන කාලයේ සුප්‍රබුද්ධ නමින් පුද්ගලයෙක්
වාසය කළා. ඔහු දරුණු කුෂ්ඨ රෝගයකින් පීඩා විඳි පුද්ගලයෙක්. ඔහුගේ සිරුර විරූප වී
ගොස් තිබුණා. කිසිදු රැකවරණයක් නොමැති ඔහු අන්ත දුගියෙක් ලෙස දුක සේ ජීවත්වුණා.
සිඟා කා ජීවිත් වූ ඔහු මිනිසුන් ඉවත්කරන රෙදි එකතු කොට විළිවසාගත් මිනිසෙක්.
එක් දිනක් අපගේ තථාගතයන් වහන්සේ රජගහනුවරට පිඬු පිණිස වැඩම කොට දන් වළදා. ඒ නුවර ම
එක්තරා ශාලාවක නැවතුණා. එය ආරංචි වූ ගම්වැසියෝ, නගරවැසියෝ ඒ ශාලාවට රැස් වුණා. එවිට
තථාගතයන් වහන්සේ මහත් කරුණාවෙන් පැමිණ සිටි අයට ධර්මය වදාළා.
සුප්‍රබුද්ධ දුගියා ද බොහෝ කුසගිනි ඇතිව ආහාරයක් ලැබේ යැයි බලාපොරොත්තුවෙන් ඒ ශාලාව
අසලින් ගමන් කළා. මහා ජනතාවක් ශාලාව අසල රැස් වී සිටින බව දැක එහි ගියහොත් ආහාරයක්
ලැබේවි යැයි සිතා එදෙසට ගියා. නමුත් ඔහු දුටුවේ භාග්‍යවතුන් වහන්සේ මහා ජනතාවක්
පිරිවරාගෙන දහම් දෙසන අයුරුයි.
සුප්‍රබුද්ධ අතීතයේ දී කළ මහා පාප කර්මයක් අනුව ඔහු මේ ජීවිතයේ දී කිසිවකුට පි‍්‍රය
නොවූ, දුගී දුප්පත්, මුළු ගතම වේදනාවෙන් රිදුම් දෙන කුෂ්ඨ රෝගියෙක් නිසා ඔහු ධර්ම
ශාලාවේ කොණක අසුන් ගත්තා. නමුත් පවක් සමඟම සසරේ කළ මහා පිනක් ද ඔහු පසුපසින්
පැමිණියා. සුප්‍රබුද්ධ කුසගින්න මොහොතකට අමතක කරලා
“මෙතරම් පිරිසක් ධර්මය අසන්නේ එයින් ප්‍රයෝජනයක් ඇති නිසා වෙන්න ඇති. ඒ නිසා මමත්
ටික වෙලාවක් මේ ධර්මය අසනවා යැයි සිතා භාග්‍යවතුන් වහන්සේ දෙසන ධර්මයට කන් දී ගෙන
සිටියා.
මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දහම් ඇසීමට පැමිණි සිටි පිරිස අතර ධර්මාවබෝධයට සමත්
කවුරුන්දැයි බුදු ඇසින් පිරිස දෙස බැලුවා. භාග්‍යවතුන් වහන්සේට පසට යට වී තිබෙන රන්
කාසියක් මෙන් සුප්‍රබුද්ධ ගේ හදවතේ දිලිසෙන මඟඵල ලැබීමේ භාග්‍යය පෙනුණා. උන්වහන්සේ
එදා මොහු කෙරෙහි මෙත් සිත උපදවා ගෙන ඔහු අරමුණු කොට දහම් දෙසූ සේක. දහමට ඇහුම්කන්
දුන් සුප්‍රබුද්ධ සෝවාන් ඵලයට පත් වුණා. ස්ථිර ලෙස තෙරුවන කෙරෙහි පැහැදීම ඇතිකර
ගත්තා. තමා ලැබූ ධර්මාවබෝධයෙන් ඉතා පී‍්‍රතියට පත් මොහු දහම් ඇසීමෙන් තමා ලත් ඵලය
තථාගතයන් වහන්සේට සැළ කිරීමට සිතුණත් සියලුම දෙනා තමා ඉතා දරුණු ලෙස පිළිකුල් කරන
බව දන්නා නිසා ඒ සිතිවිල්ල යටපත් කර සිටියා.
තථාගතයන් වහන්සේ යම් වෙලාවක විහාරස්ථානයට වඩිනවා ද මමත් උන්වහන්සේ පසුපස විහාරයට
ගොස් මේ බව දන්වා සිටිනවා යැයි සිතා ගත්තා.
ඒ වෙලාවේ සක්දෙවිඳු සුප්‍රබුද්ධ කරන්නට යන දේ දැන ඔහුගේ අවබෝධය පිරික්සමි’යි සිතා
සුප්‍රබුද්ධ වෙත ගොස් අහසේ සිට මෙසේ කියා සිටියා.
“සුප්‍රබුද්ධ නුඹ මහා දුගියෙක්. නුඹට මම මහා විශාල ධනයක් දෙන්නම්. ඔබ බුදුරජාණන්
වහන්සේ බුදුවෙලා නැතැයි ද, ධර්මය ධර්මයක් නොවේ යැයි ද, සංඝරත්නයට සඟ ගුණ නැතැයි ද
එනිසා බුද්ධ, ධම්ම, සංඝයාගෙන් මිනිසුන්ට කිසිදු ප්‍රයෝජනයක් නැතැයි ද ජනයාට කියන්න.
මා දෙන ධනයෙන් එවිට ඔබට ජීවිත කාලයම කිසිවකුට අත නොපා සතුටින් ජීවත්වීමට හැකි යැයි
ද කියා සිටියා.
එවිට සුප්‍රබුද්ධ සක්දෙවිඳුන් දෙස බලා අසා සිටියා
“ඔබ කවරෙක් ද?”
“මම සක්දෙව් රජුයි”
එවිට සුප්‍රබුද්ධ කියන්නේ “සක් දෙවිඳුනි, නොකිය යුත්තක් කියන්නා වූ අන්ධබාල ඔබ මා
හා කතා කිරීමට පවා නුසුදුසුයි. ඔබ කියන පරිදි දැන් මම දුගියෙක් නොවෙමි. ආර්ය ධනයෙන්
ධනවතෙක්” යැයි සක් දෙවිඳුට කියා සිටියා.
සක්දෙවිඳු දීමට සූදානම් වූ මහා ධනය ගැන කිසිදු තැකීමක් නොකොට සුප්‍රබුද්ධ මහා
භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මේ සියලු කරුණු පවසා තමා ලත් ගුණය ද උන්වහන්සේට සැළ කර
සිටියා.
පසුව ඔහු මහත් සතුටින් භාග්‍යවතුන් වහන්සේ පැදකුණූු කොට වන්දනා කර විහාරයෙන් පිටව
ගියා. එදාම ඔහුට කිපුන ගව දෙනක් ඇන කළුරිය කළා. නිදා පිබිදියා වගේ දෙව්ලොව මහානුභාව
සම්පන්න දෙවි කෙනෙක් ව උපන්නා. සෝවාන් ඵලය ලැබීමට තරම් පින තිබූ සුප්‍රබුද්ධ කුෂ්ඨ
රෝගියකු හා දුගියකු වූයේ අතීතයේ සිටු පුත්‍රයෙක්ව සිටිය දී තරගසිඛී නම්
පසේබුදුරජාණන් වහන්සේට කුෂ්ඨ රෝගියා යැයි ආක්‍රෝෂ කිරීමේ පාපයෙන් බව ධර්මයේ සඳහන්
වෙනවා.
නයනා නිල්මිණී |