වප් අව අටවක පෝ දා
2023-11-05'
මිනිසත්කමට නිගා නොදෙන්න
සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං - එතං බුද්ධානුශාසනං
සියලු පව්වලින් වළකින්න. කුසල ධර්මයන් රැස් කරමින් සිත පිරිසුදු කර ගන්න යනු සියලු
බුදුවරයන් වහන්සේගේ අනුශාසනාව ය. බෞද්ධයා සිය ජීවිතය සකස් කර ගත යුතු කෙසේද යන්න
එයින් කියැවෙයි.
බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යෑම සම්බුදු සසුනෙහි උසස් ම කුසල මාර්ගය
වන්නේ ය. ඒ අනුව බෞද්ධයා යැයි සලකන්නේ මේ තෙරුවන සරණ කොට ගත්, පිහිට කොටගත්
පුද්ගලයා ය. එවැනි පුද්ගලයා කවර හේතුවක් නිසා හෝ, කවර දුෂ්කර අවස්ථාවක දී හෝ ධර්මයට
පටහැනි කිසිදු ක්‍රියාවක නිරත නොවන්නේ ය. ඔහු කෙලෙස්මලින් දැවෙන, තැවෙන, පීඩාවට
පත්වන පුද්ගලයකු නොව නිවුණු තැනැත්තෙකි.
එහෙත් ඇතැම් කෙනෙක් බෞද්ධ නාමය පමණක් ගෙන, තමන් ද රැවටී අන්‍යයන් ද රවටන ආකාරය මේ
සමාජයේ දී අපි කොතෙකුත් අත් දකිමු. අනේක විධ ප්‍රශ්න ගැටලු සමාජය තුළ විද්‍යමාන
වන්නේ ඒ හේතුවෙනි. කෙනෙක් අධර්ම චර්යාවෙහි නිරත වෙමින් ලද මිනිස්කමට පවා නිගා දෙනු
පෙනේ. අකුසල සිතිවිලිවලට රැවටී ජීවිතය ම රවටා ගන්නා මෙවැනි පුද්ගලයන් අනර්ථ කර
ගන්නේ තමන්ට පමණක් නොවේ. ඔවුහු සමාජයට ම අනර්ථය ළඟා කරවති. කෙනෙක් වරදෙහි යෙදෙමින්
එය අනුන්ට බැර කරන ආකාරය පෙනේ. එසේත් නැති නම් තමන්ට වැරදුණු කල අනුන් වෙත වරද පටවා
තමන් සාධාරණීකරණය කර ගන්නා ආකාරය, නිදහස් වීමට දරන උත්සාහයන් දුර්ලභ නැත. එහෙත්
තමන්ගේ ජීවිතයට වගකිව යුතු තමන් ම ය. තමන් හොඳ කෙනෙකු කරන්නේත්, අයහපත් පුද්ගලයකු
කරන්නේත් තමන් විසින් ම ය. අනුන්ට තමන් පිරිසුදු කළ නොහැකි ය. එය කළ යුතු තමන් ම ය.
බුදුරජාණන් වහන්සේ අපට ඒ නිවැරැදි මාර්ගය පෙන්වා දී ඇත. එහි ගමන් කරනවා ද, නොකරනවා
ද යන්න ද තීරණය කළ යුතු තමන් ම ය. බෞද්ධයා අඩුම තරමේ පරපණ නැසීමෙන් වැළකී
සිටින්නෙක් විය යුතු ය. අනුන්ගේ දෙය සොරා නොගන්නෙක් විය යුතු ය. කාමය වරදවා
හැසිරීමෙන් වළකින, බොරුවෙන් වළකින පුද්ගලයෙක් විය යුතු ය. හෙතෙම මදයට, ප්‍රමාදයට
හේතුවන මත් වතුර, මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටින්නෙක් විය යුතු ය. තමන්
පන්සිල් ආරක්ෂා කරනවා යන අධිෂ්ඨානය තුළ පිහිටා ආත්මාභිමානයක් ඇති කර ගත් පුද්ගලයාට
පමණි සමාජය ඉදිරියේ බිය සැක නොමැති ව ජීවත් විය හැකි වනුයේ. කෙනෙක් පංච ශීලයවත්
රැකිය නොහී තමන් බෞද්ධයකු යැයි හුවා දැක්වීම තමන් ම රවටා ගැනීමකි. කයින්, වචනයෙන්
සංවර විය නොහැකි තැන ම සිදු වන්නේ යහපතක් නොවේ. කය අසංවර පුද්ගලයා, වචනය අසංවර
පුද්ගලයා භාවනා වඩමින් කෙසේ නම් සිත පිරිසුදු කර ගනීද? සිතේ දියුණුව ලබා ගනීද?
රාගය, ද්වේෂය, මෝහය, තරහව, වෛරය, ඊර්ෂ්‍යාව, කුහකකම, මානය, උඬඟුකම, කෙනෙක් පරයා
නැඟී සිටීමට උත්සාහ කිරීම, අනුන් පහත් කොට සැලකීම පාපී සිතිවිලි ය. මේවා සිත තුළ
ක්‍රියාත්මක වන තාක් ඒ පුද්ගලයාට සැනසීමක් නැත. ඔහු ඇසුරු කරන සමාජයට ද සැනසීමක්
නැත. දුර්ලභ ව ලබා ගත් මේ මිනිස් ජීවිතයේ අප වර්ධනය කරගත යුතු මෛත්‍රිය, කරුණාව,
මුදිතාව, උපේක්ඛාව ආදී උදාර සිතිවිලි ය. එවිට තමන් ද සැනසී අනුන්ට ද අනර්ථයක් නොවී
ජීවත්වීමට පුළුවන. මේ මහ පොළොවට බරක් නොවන්නේ එවැනි පුද්ගලයා ය. |