[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ආත්ම විශ්වාසය ජීවිතය සුවපත් කරයි

ආත්ම විශ්වාසය ජීවිතය සුවපත් කරයි

එදා ඇසූ ධර්මාවවාදවලින් තමාතුළ හටගත් සතුට මුළු ජීවිත ගමනට ම සැනසීම සඳහා පසුබිම විය

සාර්ථක ජීවිතයක් සකස්කර ගැනීමට ආත්මවිශ්වාසය සංවිධානාත්මක ව ආරක්ෂා කර ගත යුතු ය. තෙරුවන් හඳුනාගෙන නිවැරැදි අවබෝධයක් ඇතිකර ගැනීම මේ සඳහා පළමුවෙන් ම කළ යුතු කාර්යයි.

ඇතැම් අයට තෙරුවන් පිළිබඳ හරිහැටි විශ්වාසයක් නැත. එම විශ්වාසය ඇතිකර ගැනීමේ වටිනාකම හඳුනා ගැනීමේ අගය වැටහෙන්නේ ද නැත. තෙරුවන් පිළිබඳ සැකය, පෙර ඉපදී සිටියේ ද? මරණින් පසු නැවත උපතක් සිදුවේ ද? යනාදී වශයෙන් පහළවන සැකය විචිකිච්ඡා නමින් හැඳින්වේ. කුසල් සිතිවිලි යටකර, අධර්මිෂ්ඨ හැඟීම් පහළ වන්නේ එවිටයි. එබඳු අයට ආත්ම විශ්වාසයකට හිමිකම් කිවහැකි වේ දැයි සිතා බලන්න.

දුටු දුටු දේ හඹායමින්, ඇසූ ඇසූ දේ විශ්වාස කරමින්, කවුරු හෝ කී නිසා, යහළුවන් මිතුරන් කරන කියන නිසාම යම් යම් වැඩවලට පෙළඹෙන අයට ස්ථිර තීරණයක් ඇතිකර ගැනීමට අසීරු ය. සිත හසුරුවා ගැනීමට ක්‍රමානුකූල ව හැඩ ගැස්මක්, පුහුණුවක් අවශ්‍යයි. ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට, සැනසිල්ල ඇතිකර ගැනීමට මඟ පාදා ගත හැකි වන්නේ එවිටයි.

භාවනාවක් දිනපතා ම ටිකවේලාවක්වත් පුරුදු කර ගත් පසු මෙහි සත්‍යතාව අවබෝධයෙන් ම වටහා ගත හැකියි. ආත්ම විශ්වාසය මත ගොඩනඟාගත් කළ සහනය ඔබ සොයා එනවා ඇත.

මල් පහන් පූජා කිරීම, චෛත්‍ය වන්දනාව, බෝධි පූජා පින්කම්, පන්සිල් හා උපෝසථ ශීල සමාදානය මිනිස් සිත සනසවන බවත් සිතතුළ කිඳා බැස ඇති පවිටු හැඟීම් දියකර හැරීමට බෙහෙවින් හේතුවන බවත් මෙනෙහි කරන්න. මල් පූජාවකට සහභාගි වන මොහොතක, උපෝසථ ශීලය සමාදන් වූ දිනකදී මොනතරම් සංකීර්ණ ප්‍රශ්න තිබුණත් සිතට දැනෙන සතුට වෙන කිසිවකින් ලැබිය නොහැකියි.

බෞද්ධ ජීවිතයට අවශ්‍ය ආත්ම විශ්වාසය නිසි පරිදි සංවර්ධනය කර ගැනීමට තෙරුවන් ගුණ හඳුනා ගැනීම තරම් වටිනා දෙයක් ඇත්තේ ම නැත. විචාරයකින් තොරව දේව වන්දනාව මඟින් සිතිවිලි ජය ගැනීමට තැත් කරන්නේ තෙරුවන් හරිහැටි හඳුනා නොගැනීමේ වරද නිසයි. නිවැරැදි සිතුම් පැතුම් ඇතිකර ගැනීම සසර කෙටිකර ගැනීමට ද පිටුබල වන ආකාරය රහතන් වහන්සේගේ යම් යම් ප්‍රකාශන දෙස අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වේ.

පිලින්දිවච්ඡ රහතන් වහන්සේ සසර ආත්ම ගණනකදී ම බුදුවරුන් දැක සිත පහදවා ගෙන ආත්ම විශ්වාසයෙන් ක්‍රියා කළ උතුමෙකි.

පියුමතුරා බුදුරජාණන් වහන්සේ දවස හංසවතී නුවර ධනවත් කුල ගෙදරක උපන් මෙතුමා බුදුරදුන් හමුවට ගොස් බණ ඇසී ය. එදා ඇසූ ධර්මාවවාදවලින් තමාතුළ හටගත් සතුට මුළු ජීවිත ගමනට ම සැනසීම සඳහා පසුබිම විය. එදා එම ධර්ම සභා මණ්ඩපයේ එක්තරා භික්ෂු නමකට දෙවියන් පි‍්‍රය කරන භික්ෂූන් අතර අග තනතුර පිරිනමන ආකාරය දැක ගන්න ලැබිණ. කවදා හෝ මම ද මෙම තනතුරට හිමිකරුවෙක් වන්නෙමි' යි හිතට ගෙන ජීවිතාන්තය දක්වා පින්කම්වලට මුල්තැන දී ජීවත් විය.

දීර්ඝ කාලයක් දෙවියන් හා මිනිසුන් අතර ඉපදෙමින් දිගින් දිගට ම සංවරශීලී ආත්ම විශ්වාසයක් ගොඩනඟා ගත්තේ ය. මේ අතර සුමේධ බුදුරදුන් ලොව පහළ විය. උන්වහන්සේ දැක බණ අසා සසර පුරුදුතාවයන් වැඩිදියුණු කර ගනිමින් තෙරුවන් ගුණ වටහා ගෙන අචල ආත්ම විශ්වාසයට හිමිකරුවෙක් විය. අචල ශ්‍රද්ධා භක්තිය, අචල ආත්ම විශ්වාසය පෙර සංසාරිකව උරුම වන්නකි. එය සසර සැනසීමට මඟ පෙන්වයි.

මේ අතර බුද්ධෝත්පාද කාලයක සක්විති රජෙක් ව උපත ලැබීය. එම කාලයේ දී මහජනයා පන්සිල්වලට හුරු කරවමින් දැහැමි ගුණගරුක සමාජ පසුබිමක් ඇති කිරීමට කටයුතු කළේ ය.

ගෞතම බුදුරජාණන් වහන්සේ පහළවීමට ප්‍රථම සැවැත්නුවර බමුණු නිවසක උපත ලැබීය. පිළින්දිවච්ඡ නමින් ප්‍රසිද්ධියට පත් මෙතුමා සසර පුරුදුතාව ගිහි සැප අතහැර එවකට සමාජයේ පැවැති පිරිවැජියන් ඇසුරට ගොස් නොබෝ දිනකින් පිරිවැජියෙක් විය. චූලගන්ධාර නම් විජ්ජාව හදාරා ආධ්‍යාත්ම දියුණුව ද උදාකර ගත්හ. එහි ප්‍රතිඵල වශයෙන් අහසින් යා හැකි, අනුන්ගේ සිත්වල අදහස් තේරුම් ගත හැකි විශේෂ පුණ්‍යවන්තයෙක් විය.

චූලගන්ධාර විජ්ජාව හරි හැටි දියුණු කර ගත්, පරසිත් හඳුනා ගතහැකි මෙම තාපසතුමා ලාභයෙන්, යසසින් බැබළෙමින් සිටින අතර අප ගෞතම බුදුරදුන්ගේ ලොව පහළවීම සිදුවිය. මෙතුමා රජගහනුවර කීර්තිමත් ව සිටින අතර, බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමත් සමඟ සමාජයේ විචාරාත්මක නව පිබිදීමක් ඇතිවිය. බුද්ධ දේශනාවේ බලයෙන් මිථ්‍යා මත බිඳ වැටෙන්නට පටන් ගත්තේ ය. ගන්ධාර විජ්ජාව ද අඩපණ විය.

සත්‍ය හමුවේ දුර්මත යටවීම සදාතනික සත්‍යයකි. පිරිවැජි තාපසතුමා ද ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහා ගන්ධාර විජ්ජාව දන්නවා ඇති, එමනිසා මම උන්වහන්සේ ඇසුරට ගොස් අසා දැන ඉගෙන ගනිමි' යි ඉටා ගත්තේ ය. සසර පුරුදු කළ ආත්ම විශ්වාසය පෙරදැරිව වඩන ලද ගුණදම් බෙලෙන් බුදුරදුන්ගෙන් කර්මස්ථාන ලබා රහත් වූ සේක. උන්වහන්සේගේ අවවාද පිළිපැද දේවාත්ම ලබාසිටි බොහෝ දෙවිවරු ද මේ සම්‍යක් දෘෂ්ඨික ගමන් මඟ දැක ඉමහත් ප්‍රසාදයෙන් පමුදිත වූහ. සසර සැනසීම සමඟ ම ආත්ම විමුක්තියේ එකම හේතුව නිවැරැදි ආත්ම විශ්වාසයකින් කටයුතු කිරීම බව මේ සිදුවීම ඇසුරින් මනාව පැහැදිලිය.

වප්  අව අටවක

නොවැම්බර් 05 ඉරිදා පූ.භා.
01.03 න් අව අටවක ලබා 06 සඳුදා පූ.භා. 03.20 න් ගෙවේ.
05 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]