[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෙර පිනෙන් හිමි වූ රූමත් බව අවභාවිත කරනවා ද?

පෙර පිනෙන් හිමි වූ රූමත් බව අවභාවිත කරනවා ද?

අන් අයගේ ආකර්ෂණයට ලක්වන ආකාරයේ නෙත් සිත් පිනවන රූපයකින් යුත් තැනැත්තියක වීම බුදු දහමට අනුව උපධි සම්පත්තියයි

රූපශ්‍රීයෙන් අගතැන්පත් තැනැත්තිය තේරීම අද මෙන් ම බුද්ධ කාලයේ දී පවා සිදු වූ බවට තොරතුරු බෞද්ධ අටුවා ග්‍රන්ථවල සඳහන් වේ. එලෙස තෝරාගත් තැනැත්තිය ජනපද කල්‍යාණිය, නගර සෝභනීය ලෙස රාජකීය තනතුරකින් පුදා ඇය රාජකුමාරවරුන්ගේ හා ප්‍රභූන්ගේ පොදු වස්තුවක් බවට පත්කර තිබේ.

රූපයෙන් අගතැන්පත් ම තැනැත්තිය එලෙස පොදු වස්තුවක් බවට පත්කර ඇත්තේ රාජ කුමාරවරුන්, ප්‍රභූන් අතර ඇය දිනා ගැනීමට අරගල, කලකෝලාහල ඇතිවීම වළකාලීමේ එක් උපක්‍රමයක් බවට ද පැහැදිලි ය. බුදුන් දවස සුන්දරියක් තෝරා ගැනීමේ දී සලකා බැලූ ඇතැම් කරුණු කාරණා වර්තමානයේ දී රූප රාජිනියන් තෝරා ගැනීමේ දී එලෙසින්ම අනුගමනය කරන බව පෙනේනට තිබේ. එදා රූපසුන්දරියක සතු නොවිය යුතු ශරීර දෝෂ හයක් පිළිබඳ අටුවාවේ සඳහන් වේ.

ශරීර දෝෂ

ඉතා උස නොවිය යුතු ය. ඉතා මිටි නොවිය යුතු ය. ඉතා සිහින් නොවිය යුතු ය. ඉතා තර නොවිය යුතු ය. ඉතා කළු පැහැ නොවිය යුතු ය. ඉතා සුදු පැහැති නොවිය යුතු ය.

ඉහත ශරීර දෝෂ හයෙන් තොර වීම රූපසුන්දරියක සතුවිය යුතු ලක්ෂණ ලෙස පිළිගැනිණ.

පංචකල්‍යාණය

ඡවි කල්‍යාණය

නොපීදුණු තැඹිලි මලක රන්වන් පැහැයට සමාන, නැතිනම් තණහාල් නම් රන්වන් පැහැති සහල් වර්ගයේ පැහැයට සමාන වූ උඩු සමකින් යුතුවීම ඡවි කල්‍යාණය ලෙස එදා හැඳින්විය.

මාංශ කල්‍යාණය

මුහුණේ සිට දෙපතුල දක්වා වාත්තු කළාක් බදුවූ මෘදු මෙළොක් මාංශයන්ගෙන් පිරිපුන් වීම මාංශ කල්‍යාණය සැලකිණ.

නහරූ කල්‍යාණය

එළියට ඉලිප්පී නැති පෙනෙන නොපෙනෙන ආකාරයේ සියුම් නාලිකාවන්ගෙන් පිරී තිබීම නහරූ කල්‍යාණය සේ සැලකිණ. එයම තවත් විටෙක නඛ කල්‍යාණය (නිය) නැතිනම් කේෂ කල්‍යාණය ලෙසද සැලකූ අවස්ථා ද විය.

අස්ථි කල්‍යාණය

අස්ථි කල්‍යාණය ලෙස සලකනු ලැබුවේ දසන් දෙපළ ය. එකිනෙක මනාව ස්පර්ශ වූ හිඩැස්වලින් තොර පිරිසුදු පබළු පෙළක් බඳු දසන් දෙපළකින් යුතුවීම අස්ථි කල්‍යාණය සේ සැලකිණ.

වයස් කල්‍යාණය

වයසට වඩා ළා බාල වූ පෙනුමකින් යුතු වීම වයස් කල්‍යාණය සේ සැලකිණ. සියවසක් වුවද සොළොස් වියැති තරුණියකගේ බඳු පෙනුමකින් යුතු විය යුතු බව අටුවාවේ ද සඳහන් විය.

රූමත් බව ලැබීමට හේතු

පෙර කී ආකාරයේ ශරීර දෝෂ හයෙන් තොරව හා පංච කල්‍යාණයෙන් හෙබි රූපශි‍්‍රයකට උරුමකම් ලැබීම බුදුදහමට අනුව විශාල භාග්‍යයකි. පිනකි. අන් අයගේ ආකර්ෂණයට ලක්වන ආකාරයේ නෙත් සිත් පිනවන රූපයකින් යුත් තැනැත්තියක වීම බුදු දහමට අනුව උපධි සම්පත්තියයි. එය පෙර ආත්ම භවයන්හි දැඩි ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් තොරව හා අන් අය කෙරෙහි මෙත් සිතින් කරුණාවෙන් පිරි ජීවිත ගත කළ පිනෙහි බලමහිමයෙන් උරුම වන්නකි. කොතරම් අගහිඟකමින් පිරි දිළිඳු පවුලක උපත ලැබුව ද උපධි සම්පත්තියෙන් යුත් තැනැත්තිය මතු දිනක සැප සම්පත්වලින් පිරි ජීවිතයකට උරුමකම් ලැබීමට වාසනාවන්ත වේ.

බුදු දහමට අනුව ඊළඟ ආත්ම භවයේ රූපශි‍්‍රයෙන් අගතැන්පත්වීමට නම්,මේ භවයේ දී දැඩි ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් තොරව මෙත් සිතින් ජීවත් විය යුතු බව පැවසේ. ඒ ආකාරයට ජීවත් වන්නන්ට එහි පින අත්විඳීමට ඊළඟ ආත්මය තෙක් යෑමට අවශ්‍ය වන්නේ නැති බව ද අද වන විට විද්‍යානුකූලව පවා ඔප්පු කළ සත්‍යයකි. ක්‍රෝධයෙන්, වෛරයෙන් තොර වූ මෛත්‍රියකින් ජීවත් වන අය ප්‍රභාවත් වන්නට විද්‍යානුකූලව බලපාන හේතු සාධක අද වන විට සොයාගෙන තිබේ. පංච කල්‍යාණයෙන් ම අගතැන්පත් ජීවත්වීමට යහපත් චිත්ත ශක්තීන්හි විශාල බලපෑමක් ඇති බව විද්‍යානුකූලව ද තහවුුරු කළ සත්‍යයකි.

රූමත් බව නිසාම හිමි වන අන් අයගේ ආකර්ෂණය පිළිගැනීම හේතුවෙන් මාන්නයෙන් පිම්බෙන කාන්තාවෝ ද සිටිති. බුදුබණට අනුව මානය වඳුරකු බවට පත් කරයි. අධිමානය බල්ලකු බවට පත්කරයි.

තවද දීඝ නිකායේ මහාසුදස්සන සූත්‍රයේ දී ස්ත්‍රී රත්නයක් පිළිබඳ විග්‍රහයක් දක්නට ලැබේ. සක්විති රජකෙනකුට පහළවන සත් රුවනින් එක් රුවනක් වන ස්ත්‍රිය පිළිබඳ එහිදී තොරතුරු සඳහන් වේ.

එනම්

"අනඳයෙනි, මහසුදසුන් රජුට වෙසෙයි රූ ඇති, දැකුම්කලු, සිත පහදවන, උතුම් පැහැසපුයෙන් යුත්, ඉතා නොඋස්, ඉතා නොමිටි, ඉතා කෙට්ටු නොවූ, ඉතා නොතර, ඉතා නොකලු, ඉතා නොසුදු, මිනිස් පැහැසපුව ඉක්මැවූ, දෙව් පැහැසුපුවට නොපැමිණි ස්ත්‍රියක් වූ ඉතිරි රුවන පහළ විය. අනඳයෙනි, ඉඹුල් පුලුනෙහි හෝ කපු පුලුනෙහි සෙයින් ඒ ඉතිරි රුවනගේ මොළොක් පහස වෙයි. අනඳයෙනි, ශීත සමයෙහි ඒ ඉතිරි රුවනගේ ගාත්‍රයෝ උණුසුම් වෙත්.

උෂ්ණ සමයෙහි සිසිල් වෙත්. අනඳයෙනි, ඒ ස්ත්‍රී රත්නයාගේ කයින් සඳුන් සුවඳ හමයි. මුවින් මහනෙල් මල් සුවඳ හමයි. අනඳයෙනි, ඒ ස්ත්‍රී රත්නය මහසුදසුන් රජුට කලින්ම නැඟී සිටිනුයේ ද, වතාවත් නිමවා පසුවැ හිඳුනෙ ද, කුමක් කරම් දැ”යි විමසාම කරනුයේ ද, රජුට මන වඩනා දෑම කරනුයේ ද, පිය බස් ම තෙපලනුයේ ද වෙයි.

අනඳයෙනි, ඒ ඉතිරි රුවන සිතිනුදු මහ සුදසුන් රජු ඉක්මැ නොහැසිරෙන්නේ විය. (සිතිනිඳු අනෙකකු නො පැතීය) කයින් එසේ හැසිරීමෙක් කොයින් ලැබේ ද? අනඳයෙනි, මහසුදසුන් රජුට මෙබඳු ඉතිරි රුවනෙක් පහළ විය."

ඉහත සඳහන් පරිදි බුද්ධ දේශනාවට අනුකූල වන තොරතුරු අනුව ද මෙම කරුණු සනාථ කර ගත හැකි වේ.

අද සමාජයේ රූමත් බව වැරැදි ආකාරයට යොදා ගනිමින් ඉන් පල ප්‍රයෝජන ලබා ගන්නට පෙළඹෙන කාන්තාවන් ද විරල නොවේ.

සමහර විට රූමත් බව නිසා පුරුෂ පක්ෂයේ ආකර්ෂණයට ලක් වෙද්දී ඉන් වැරැදි ආකාරයට ප්‍රයෝජන ගනිමින්. විවාහ වූ පසුව පවා වැරැදි දේට යොමුවන කාන්තාවන් පිළිබඳ උදාහරණ විරල නැත. ඒ සියලු දෙනා අතින්ම සිදුවන්නේ පෙර පිනෙන් තමන්ට උරුම වූ රූමත් බව වැරැදි ආකාරයට භාවිත කිරීමයි. එය ඊළඟ ආත්මවලදී පල විපාක ලැබෙන පාප කර්මයක් බව බුදු බණේ සඳහන් වුව ද එහි ඵල විපාක ගෙවී යන ආත්මයේදී ම විපාක ලබන ආකාරයෙන් ඇස්පනාපිටම දැකිය හැකි අවස්ථා බොහෝය.

රූමත් බව අවියක් කොටගෙන එකවර පේ‍්‍රම සබඳතා දෙක තුන පවත්වාගෙන යාමට පෙළඹුණ තරුණියන්ට එහි විපාක මේ ආත්ම භවයේදී ම අත්විඳින්නට සිදුවීම ඒකාන්ත ය. එකිනෙකාට හොර රහසේ පවත්වා ගෙන යන එවැනි සබඳතා හෙළිදරව් වූ විට නින්දා, අපහාස, අවමන් පමණක් නොවේ. අවියක් කොටගත් රූපය විකෘති කර දමන තරමේ පළිගැනීම්වලට පවා භාජනය වීම සිදු නොවිය හැකි නොවේ.

රූමත් බව යථාවබෝධය කමටහනක් කර ගන්න. කොතරම් මනස්කාන්ත රූපයකට උරුමකමක් ලැබුව ද එහි පැවැත්ම කොතරම් කෙටි කලෙකට ද යන්න නිතර නිතර මෙනෙහි කිරීම තුළ යථාර්ථය අවබෝධ කරගත හැකි ය. තම සිරුර ක්‍රමයෙන් වෙනස් වෙමින් වියැකී යන ආකාරය මෙනෙහි කිරීම සංවර බව ඇතිකර ගැනීමට හේතු වේ. එවිට රූමත් බව වැරැදි ආකාරයට යෙදවීමට එරෙහිව තම සිතට ස්වයං පාලනයක් ඇති කරවයි.

මෙම යථාර්ථය අවබෝධ කර ගැනීම තුළ ශාරීරිකව වියැකී ගිය ද, උතුම් මනසකින් යුතුව යහපත් ජීවිතයක් ගත කිරීමට භාග්‍ය ලැබේ. එවිට කෙමෙන් කෙමෙන් වැහැරී, වියැකී යන සුන්දරත්වයට දරාගැනීමට බැරි තරම් මානසික පීඩාවක් නොකරගෙන එය ජීවිතයේ ස්වභාවය යැයි අවබෝධයෙන් ඊට මුහුණ දීමට හැකියාව ලබා ගත හැකි ය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

වප්  අව අටවක

නොවැම්බර් 05 ඉරිදා පූ.භා.
01.03 න් අව අටවක ලබා 06 සඳුදා පූ.භා. 03.20 න් ගෙවේ.
05 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]