[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දුර්ලභ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න විචිත්‍ර ධර්ම කථික මාතර මහින්ද හිමි

දුර්ලභ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න - විචිත්‍ර ධර්ම කථික මාතර මහින්ද හිමි

පින කියන දේ විපාක දෙන ආකාරය හරි පුදුමයි. අපි ඒ වෙලාවට කියනවා පෙර පිනක් පල දීලා කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාළා දුර රටක සිට තමන්ගේ ඥාතියා තමන් සමීපයට එන දාට ඉතාමත් සතුටින් ඔහුව පිළිගන්නවා වගේ පින් කළ තැනැත්තා පිළිගන්නට ඒ පින බලා සිටිනවා කියලා. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ පින් කරන්න බිය වෙන්න එපා. එකම පින නැවත නැවත කරන්න කියලා.

පින අඩු පුද්ගලයාට යම් කරදරයක් ආ විට ඔහු පිහිටක්, පිළිසරණක් සොයාගෙන බොහෝ තැන්වලට යනවා. නමුත් පින් කළ පුද්ගලයා ඒ ප්‍රශ්නයට මුහුණ දෙන ආකාරය ඊට වෙනස්. ඔහුත් නො දැනීම ඒ ප්‍රශ්නය විසඳී යනවා. නැතිනම් විසඳා ගැනීමට මඟක් පෑදෙනවා.

අපගේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ එක් ජීවිතයක දුගී පුද්ගලයෙක් ව ඉපදී සිටියා. දිනක් ඔහු පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානය පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා. “මේ පිනේ ආනුභාවයෙන් නිවන් දකින තුරු මට “නැහැ” කියන වචනය ඇසීමට නො ලැබේවා! කියලා. ඒ පිනේ ආනුභාවයෙන් ඔහු මිය ගොස් දෙව්ලොව උපන්නා. නැවත මිනිස් ලොව ඉපදුණ කාලයේ ඉසුරු සම්පත් ඇති පවුල්වල ඉපදුණා. මේ ආකාරයට සසරේ කාලයක් ගත කරලා අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ අනුරුද්ධ නමින් සිටු පවුලක උපන්නා. ඒ කුමාරයා කුඩා අවදියේ සිට ආසයි කැවුම් කන්න. ඒ නිසා සිටු මාලිගයේ දිනපතා කැවුම් හැදුවා. දිනක් මේ කුමාරයා යහළුවන් සමඟ සෙල්ලම් කරමින් සිටින අතරේ සේවකයාට කියා සිටියා නිවසට ගොස් අම්මාගෙන් කැවුම් ඉල්ලාගෙන එන්න කියලා. සේවකයා නිවසට ගොස් සිටු දේවියට කියා සිටියා කුමාරයා කැවුම් ඉල්ලන බව. එදා සිටු මාලිගයේ කැවුම් අවසන් වෙලා තිබුණේ. ඒ නිසා සිටුදේවිය කිව්වා කුමාරයාට කියන්න කැවුම් අවසන් වෙලා. කැවුම් නැහැ කියලා. සේවකයා ගිහිං කුමාරයාට කිව්වා කැවුම් නැහැ කියලා. අනුරුද්ධ කුමාරයා තමන්ගේ පින් බලයට නැහැ කියන වචනය අසා තිබුණේ නැහැ.

ඒ නිසා කුමාරයා සේවකයාට කිව්වා එහෙමනම් අම්මාගෙන් නැති කැවුම් ඉල්ලා ගෙන එන්න කියලා. එවිට අම්මා මගේ පුතාට නැහැ කියන පාඩම මම කියලා දෙන්න ඕනෑ යැයි සිතා හිස් පිඟානක් තව පිඟානකින් වහලා සේවකයාට දුන්නා. ඔහු ඒ හිස් පිඟාන නගරය මැදින් අරන් යන විට නගර ආරක්ෂක දෙවියා මේ සිදුවීම දුටුවා. දෙවියා සිතනවා මෙතරම් පිනක් තිබෙන අනුරුද්ධ කුමාරයාට හිස් පිඟාන යැව්වොත් ඉහළ සිටින දෙවිවරු මට දොස් කියාවි. දඬුවම් කරාවි යැයි සිතා දෙව් ලොවින් කැවුම් ගෙනැවිත් ඒ පිඟාන පිරෙව්වා. කුමාරයා පිඟාන අරිනවිට කැවුම් සුවඳින් ඒ ප්‍රදේශය ම පිරී ගියා.

ඔහු සවස නිවසට ගොස් “අම්මා මට හැමදාම නැති කැවුම් හදලා දෙන්න. ඒවා හරි රසයි කියලා කීවා. එතකොට සිටු දේවිය දැනගත්තා කුමාරයාගේ පින් බලයට ඔහුට කැවුම් ලැබිලා කියලා. එදා සිට කුමාරයා නැති කැවුම් ඉල්ලනකොට සිටුදේවිය හිස් පාත්‍රයක් අතට දෙනවා. පාත්‍රය කැවුම්වලින් පිරී යනවා.

එහෙම නම් ඔබට තේරෙනවා පින් කළ පුණ්‍යවන්තයන් කෙතරම් බලවත් ද කියලා. ඒ නිසා පිනේ වටිනාකම ඔබ හොඳින් තේරුම් ගන්න. මේ ලැබුණ දුර්ලභ මොහොතේ එයින් උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන්න.

වප්  පුර පසළොස්වක

ඔක්තෝබර් 28 සෙනසුරාදා පූ.භා. 04.19 න් පුර පසළොස්වක ලබා 29 ඉරිදා පූ.භා. 01.57 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]