[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කඨිනයෙ කුසලය දුරලයි ශෝකේ කඨිනයෙ කුසලය නියතයි ලෝකේ

කඨිනයෙ කුසලය දුරලයි ශෝකේ - කඨිනයෙ කුසලය නියතයි ලෝකේ

වස් තුන්මාසය අවසන් වීමෙන් පසු වස් පවාරණය සිදුවේ. වස් පවාරණය යන්නෙන් අදහස් කරන්නේ වස් කාලය තුළ දී තමාගේ කිසියම් වරදක් දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැක කිරීමෙන් හෝ වරදක් සිදුවී නම්, එය අනුකම්පා කොට තමාට කියා දෙන ලෙස සංඝයා වහන්සේට ආරාධනා කිරීමයි. සංඝරත්නයෙන් ඉල්ලා සිටීමයි.

මෙහිදී පවාරණයට පෙර පොහොය සීමාවේ රැස්ව සිටින භික්ෂූන් වහන්සේ අතරින් ව්‍යක්ත, ප්‍රතිබල භික්ෂුවක් විසින් පවාරණඤත්තිය තැබිය යුතුයි. ඤත්තිය තැබීම යන්නෙන් අදහස් කරන්නේ පවාරණය පිළිබඳ සංඝයා වහන්සේට දැනුම් දීමයි. එසේ දැනුම්දීම සිදු කරනුයේ මේ සඳහා නියමිත පාළි පාඨ ඇසුරෙනි.

“සුනාතු මෙ භන්තෙ සංඝො අජ්ජ
පවාරණ යදි සංඝස්ස පත්තකල්ලං
සංඝෝ පවාරෙය්‍යාති”

සංඝ තෙමේ මාගේ වචනය අසත්වා, අද පවාරණයයි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ පවාරණයේ හෙවත් පවාරණය කරන්නේ ය. යනුයි.

මෙහි සරල අදහස නම් වස් විසූ මාස තුනක කාලය තුළ මාගේ කිසියම් වරදක් දැක්කේ නම් හෝ, මාගේ කිසියම් වරදක් ඇසුවේ නම් හෝ, මාගේ කිසියම් වරදක් වූයේ යැයි සැකයක් හෝ තිබේ නම් අනුකම්පා කොට එය මට කියන්න. එය සත්‍ය නම් වැරැද්ද මම හරි ගස්සා ගනිමි.

සාමාන්‍යයෙන් කඨින චීවර පූජාවක් කළ හැක්කේ වස්සාන ඍතුවේ අවසාන මාසයේ දී යි. එනම් ඔක්තෝබර් මාසයත් නොවැම්බර් මාසයත් අතර ය. එය වර්ෂයකට එක් වරක් පමණක් සිදු කළ හැකි දුර්ලභ ගණයේ පින්කමකි. එක වර්ෂයකට එක ආරාමයක පැවැත්විය හැක්කේ එකම කඨින පූජාවකි. මෙය සුවිශේෂී පූජාවක් වන්නේ එකම චීවරය දෙවරක් පූජා කරන බැවිනි. පළමුව දායක පින්වතුන් විසින් සංඝරත්නයට චීවරය පූජා කරන අතර, අනතුරුව සංඝ සම්මතයෙන් සංඝයා විසින් එක් භික්ෂුවකට එම චීවරය පූජා කරනු ලැබේ. පවරනු ලැබේ.

කඨින චීවරයක් පූජා කරනු ලබන්නේ හිමිදිරි උදේ පාන්දර ය. ජනවහරේ පවතින අදහස නම් දායක පින්වතුන් විසින් කඨිනය විහාරස්ථානයට වැඩමවා පූජා කළ යුත්තේ කොස් කොළයේ නටුව පේන තරම් අඳුර සහ එළිය එකට මුසුවූ අවස්ථාවේ දී බවයි.

මින් අදහස් කරන්නේ සම්පූර්ණයෙන් ම එළිය වැටෙන්නට පෙර කඨිනය විහාරස්ථානයට වැඩම කළ යුතු බවයි. මින් කරුණු දෙකක් ඉටුවේ. ඉන් පළමුවැන්න කඨිනය පිළිබඳ ගෞරව සම්ප්‍රයුක්තභාවය ආරක්ෂා වීමයි. දෙවැන්න කඨින වස්ත්‍රයක් වශයෙන් පූජා කරන වස්ත්‍රය චීවරයක් වශයෙන් සකස් කර ගැනීමට තවදුරටත් කළ යුතු දේ රාශියක් ඇති බැවින් එදින ම ඒ සියල්ල කළ යුතු නිසා ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයි.

මහන මැෂින් ආදිය නොතිබුණූ ඈත අතීතයේ ඉදිකටු සහ නූල් භාවිත කොට අතින් ම චීවරය මසන ලදී. ඒ සඳහා වැඩි කාලයක් අවශ්‍ය බැවින් උදෑසන ම පූජා කිරීම එක් හේතුවකි. කඨිනය චීවරයක් වශයෙන් පූජා කළත් ඒ සම්බන්ධ ව භික්ෂූන් වහන්සේ විසින් සම්පූර්ණ කළ යුතු විනයානුකූල කටයුතු ද තිබේ. මේවා එදින ම කළ යුතු බැවින් හිමිදිරියේ පූජා කිරීම සුදුසු ය.

මෙම චීවර පූජාවේ දක්නට ලැබෙන ඉතාමත් අලංකාර කොටසක් වන්නේ කඨින මහා පෙරහරයි. සැබැවින් ම එය ගෞරව සම්ප්‍රයුක්ත ව කරන සදැහැ පූර්වක පෙරහරකි. සැදැහැවතුන් කඨින පෙරහරේ ගමන් කරමින් තබන පියවරක් පියවරක් පාසා “පදවීථිහාර ආනිශංස” ලැබේ. පදවීථිහාර ආනිශංස යනු තබන තබන පියවරක් පාසා වෙන වෙන ම ආනිශංස ලැබීමයි.

කඨින පෙරහර ගමන් කරන්නාවූ කාලය පිළිබඳ ව ද සැලකිය යුතු ය. වෙනත් පෙරහර ගමන් කරන්නේ රාත්‍රී කාලයේ දී ය. එහෙත් කඨින පෙරහර ආරම්භ වන්නේ අරුණෝදයට පැය කිහිපයකට පෙර ය.

මේ මොහොත ගස්වැල්හි සුවඳවත් ව මල් පිපී ඒවායේ සුවඳ සුළඟට එකතු වී සිසිල් මඳනල හමා යයි. එම සිසිල් සුළඟින් ශරීරයේ විඩාව සන්සිඳී පිබිදුණා වූ ගතින් මෙන් ම සිතින් සැදැහැවතුන් පෙරහරේ ගමන් කරයි. හොරණෑ හේවිසි හඬින් මෙන් ම සැදැහැවතුන්ගේ සාධු නාදයෙන් අසන දකින සියල්ලන්ගේ ම ශ්‍රද්ධා භක්තිය තව තවත් වර්ධනය වෙයි. එය අසිරිමත් හෙළයේ කඨින මහ පෙරහරයි.

කඨින චීවරයක් පූජා කිරීමෙන් සැදැහැවතුන්ට ලැබෙන ආනිශංස නාගිත මහරහතන් වහන්සේ ඉදිරිපත් ව විපස්සී බුදුරජාණන් වහන්සේ කල තමන් බන්දුමතී නගරයෙහි ඉපිද මහා දානපතියෙක් ව හිඳ දුගී මගී යාචකාදීන්ට දන් දෙමින්, වස් තුන් මාසයක් පුරා අටසිල් සමාදන් ව, උපෝෂථ සිල් ආරක්ෂා කරමින්, ස්වාමින් වහන්සේ ට වස් වසන්නට පහසුකම් සපයා, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, ආදීයෙන් සංග්‍රහ කරමින්, වස්කාලය අවසානයේ සියලු භික්ෂූන් වහන්සේට සියලු පුද පරිෂ්කාර සහිතව මහා කඨින පූජාවක් කළ බව ද, ඉන් ලැබූ මහත්ඵල මහානිශංස ද බුදුරදුන් ඉදිරියේ එකින් එක විස්තර කළහ.

දුගතිගාමී නොවීම, දෙව්ලොව දිව්‍ය සම්පත් ලැබීම, සක්දෙව් රජ පදවිය ලැබීම, ප්‍රදේශ රාජ සම්පත් ලැබීම, උපනූපන් සියලු තැන සියලු සැප ලැබීම, මිනිසුන්ට ප්‍රධානියෙක් ව ම ඉපදීම ,පුරුෂයන් අතර උතුම් පුරුෂයෙක් වීම, දිව්‍ය ලෝකයේ හා මනුෂ්‍ය ලෝකයේ පමණක් ඉපදීම, අන්‍ය වූ නරකාදී දුගතියක නූපදීම, දෙවියන් අතර පි‍්‍රයවීම, මිනිසුන් අතර ජනපි‍්‍රයවීම, භෞතික සම්පත්වලින් පොහොසත් වීම, ආධ්‍යාත්මික ගුණ දහම්වලින් පොහොසත් වීම හා නිවන් අවබෝධ වීම ය.

කඨිනය ලබන භික්ෂූන් වහන්සේට ද ආනිශංස පහක් ලැබේ. එය කඨිනය ලැබීමෙන් එම භික්ෂුව ලබන කඨිනානිශංසයි. දායකයාට හිමිවනුයේ කඨිනය පූජා කිරීමෙන් ලබන කඨින දානානිශංසයි.

කෙසේ වුව ද කඨින මහා පින්කම සම්බුද්ධ ශාසනයේත්, භික්ෂූන් වහන්සේගේත්, විහාරස්ථානයේත් චිරාත්කාලයක් පැවැත්මට ඍජු සම්බන්ධතාවක් ඇති අතර, දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂයට ම ලෞකික ලෝකෝත්තර සැප සලසා ගත හැකි අසිරිමත් මහා පින්කමකි.

වප්  පුර පසළොස්වක

ඔක්තෝබර් 28 සෙනසුරාදා පූ.භා. 04.19 න් පුර පසළොස්වක ලබා 29 ඉරිදා පූ.භා. 01.57 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]