[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සිරිලක කඨින පින්කම්

සිරිලක කඨින පින්කම්

පුරාතන සිරිලක සමාජ පරිසරය තුළ රටවාසීන් සෑම දෙනකුගේ ම සහභාගිත්වයෙන් යුක්තව කඨින පූජෝත්සව සිදු කෙරිණි. ඊට රාජ්‍ය පාලකයන්ගෙන් ලැබුණේ ද පූර්ණ අනුග්‍රහයකි.

එදා මෙදා තුර වස්සාන සමයේ දී විහාරස්ථානයන්හි දායකකාරාකාදීහු ස්වකීය හැකියාව හා අභිමතය පරිදි විවිධාකාර වූ පින්කම් සංවිධානය කරති. මෙම පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි. විහාරස්ථානයක වර්ෂයක් තුළ සිදු කෙරෙන වඩාත් චිත්තාකර්ෂණීය පින්කම මෙකී කඨින පූජෝත්සවයයි.

පූජා චාරිත්‍ර රැසක්

කඨිනය හා සමගාමීව පෙරහර පූජා නැටුම්, සැරසිලි, පහන් පූජා, බෝධිපූජා, පිරිත් දේශනා, ධර්ම දේශනා, සඟසතු දාන පූජා, කප්රුක් පූජා ආදී විවිධාකාර පූජා චාරිත්‍ර සිදු කෙරේ. ඒ ඒ පළාත්වලට ආවේණික වූ ලක්ෂණ අනුව එම පූජා චාරිත්‍රයන්හි විශේෂතා දැකිය හැකි ය. මේවා අතර ඇතැම් අංග කාලානුරූපීව සකස් ව ඇති අතර, ඇතැම් අංග සාම්ප්‍රදායිකව පවත්නා පෞරාණික චාරිත්‍ර විධීන් ගණයට අයත් වේ.

කඨින චීවර පූජාව පවත්වන දිනයේ අලුයම ඒ සඳහා සකස් කළ චීවරය හෝ ප්‍රමාණවත් වස්ත්‍රයක් විහාරස්ථානයට වැඩමවීම සාම්ප්‍රදායික චාරිත්‍රයයි. ඒ වෙනුවෙන් ගමන් කරන පෙරහර සඳහා කැපකරු දායක පක්ෂයේ හැකියාව අනුව අලි ඇතුන්, හේවිසි, තූර්යවාදන, නැටුම් ආදී විවිධ සංස්කෘතිකාංග එක්වන බැව් පෙනේ. භික්ෂූන් වහන්සේ වස් විසූ ආරාමයට අයත් ගොදුරුගම් හා ඒ අවට ගම් ආවරණය වන පරිද්දෙන් මෙම කඨින පෙරහර වීථි සංචාරය කරයි.

මෙවන් පෙරහරක් පැවැත්වීමෙහි මූලික පරමාර්ථය වනුයේ කඨින පින්කමෙහි ආනිශංස විශාල පිරිසකට අනුමෝදන්වීමට ඉඩ ප්‍රස්තාව සැලසීමයි. ඇතැම් ප්‍රදේශවල කඨින වස්ත්‍රය මොහොල් ගසක ඔතා දෙදෙනකු කර තබාගෙන උඩුවියන් යටින් ගමින් ගමට ගෙන යනු දැකිය හැකි ය . මේ නිසා මඟ දෙපස රැස්වන සැදැහැතියන්ට කඨින වස්ත්‍රය සියතින් ම ස්පර්ශ කොට පින් අනුමෝදන් වීමේ භාග්‍යය හිමි වෙයි.

කඨින බණ

මෙසේ සංඝ සම්මුතියෙන් කඨින චීවරය ලබා ගත් භික්ෂූන් වහන්සේ එහි කප් බින්දුව තැබීම නම් වූ චාරිත්‍රය ඉටු කරති. මොනර ඇසක තරම් ප්‍රමාණයේ කවාකාර බින්දු තුනක් සිවුරේ එක් කොනක තැබීම කප් බින්දුව තැබීම නම් වේ. මෙය සාමාන්‍යයෙන් සටහන් කරනුයේ බුලත් කොළයක් සිවුරේ යටින් තබා ඒ මත උඩින් කවාකාර යතුරකින් තද කිරීමෙනි. මේ තුළින් අලුත් වස්ත්‍රයක් කෙරෙහි ඇතිවන ආශාව යටපත් කිරීම අදහස් කෙරෙයි.

කඨින පූජා චාරිත්‍ර සියල්ලක් ම නිම වනුයේ කඨිනත්ථාරක භික්ෂූන් වහන්සේ විසින් සාම්ප්‍රදායික වශයෙන් පවත්වනු ලබන කඨිනානිශංස ධර්ම දේශනාව සිදු කිරීමෙන් පසුවයි. වප් පොහෝදා සිට ආරම්භ වන කඨින පින්කම් ඉල් පොහෝදා නිමාවට පත් කළ යුතු වෙයි.

එකල ලක්දිව විහාරස්ථාන අඩු ප්‍රදේශවල සැදැහැවතුන් එකතුව භික්ෂූන් වහන්සේ නමකට වස්විසීමට යෝග්‍ය ස්ථානයක් පිළියෙළ කොට එහි වස් වැසවීම සාමාන්‍ය සිරිතක් ව පැවතිණ, වස් සමය නිම වීමෙන් පසුව එම ස්ථානය ස්ථිර විහාරස්ථානයක් බවට පත් වුණි. ලක්දිව බොහොමයක් විහාරස්ථාන ආරම්භ වී තිබෙන්නේ මේ ආකාරයට ය.

පුරාතනයේ මෙන් ම අදටත් ඇතැම් සැදැහැවතුන් අභිනවයෙන් නිවසක් ඉදි කළ විට පළමුව එහි භික්ෂූන් වහන්සේ නමක් හෝ දෙතුන් නමක් සිරිත් පරිදි වස් වැසවූහ. නිවස භාවිතයට යොදාගන්නේ වස් සමය නිමවා කඨින චීවර පූජාවන් සිදු කිරීමෙන් පසුවයි.

මෙසේ භික්ෂූන් වහන්සේ සහ සැදැහැවත් ගිහි සමාජය අතර අත්‍යන්ත සමීප සබැඳියාවක් ඇති වූයේත් ආරාමික දිවි පෙවෙත ක්‍රමානුකූල පදනමක් ඔස්සේ සංවර්ධනය වූයේත් වස් විසීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

විනයානුකූල ව පැවරීම

කඨින චීවරය මසා නිම කිරීමෙන් පසුව එය සුදු පැහැති වස්ත්‍රයක් නම් සෝදා පිරිසුදු කොට පඬු පෙවීම සිදු කළ යුතු ය. මේ සඳහා සිවුරු රෙද්දක් භාවිත කළේ නම් එහි පඬු පෙවීම සංකේතවත් කිරීම් වස් සිවුරෙහි කොනක් සේදීම පුරාතන චාරිත්‍රයයි. මෙම විශේෂ අවස්ථාවන්හි දී හේවිසි, හොරණෑ වාදනය කිරීමෙන් ශබ්ද පූජා පැවැත්වීම ද පුරාතනයේ සිදු කෙරිණි.

මේ අනුව ගෙත්තම් කොට පඬු පොවා වියළා සකස් කරගත් කඨින චීවරය කඨින පූජා මණ්ඩපයෙහි උසස් ආසනයක තැන්පත් කෙරෙයි. අනතුරුව එහි රැස්වු භික්ෂූන් වහන්සේට කඨින චීවරය පූජා කරනු ලබන්නේ දායකකාරකාදීන් විසිනි. එහිදී පෞද්ගලිකව නොව උභතෝ සංඝයාට කඨිනය පූජා කිරීම පිළිගත් විනය ප්‍රඥප්තියයි.

ඒ අනුව කඨිනය පිළිගත් භික්ෂූන් වහන්සේ කඨින චීවරය සඟසතු කොට තමන් අතුරෙන් එය ලැබීමට සුදුසු භික්ෂූන් වහන්සේ නමක් තෝරා විනයානුකූල ව එය පැවරීම සිදු කරති.

වප්  පුර පසළොස්වක

ඔක්තෝබර් 28 සෙනසුරාදා පූ.භා. 04.19 න් පුර පසළොස්වක ලබා 29 ඉරිදා පූ.භා. 01.57 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]