[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පුරපස සඳමෙන් බැබළෙන ජීවිතයකට

පුරපස සඳමෙන් බැබළෙන ජීවිතයකට

යමෙක් මෙලොව ජීවිතයේ දී කරුණු හතරකින් වැළකී සිටීනම් හෙතෙම මරණින් මතු දෙව්ලොව ඉපදීමට එය උපකාර වේ.

සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම හා බොරුකීම ය.

සමහරු කරුණු හතරක් මත පදනම් ව අන් අයට අසාධාරණකම් කරති. ඒ

* පක්ෂපාතිත්වය, කැමැත්ත හා ආදරය නිසා (ඡන්දය)

* තරහව නිසා (ද්වේශය)

* බිය නිසා (භය) සහ

* අඥානකම හෙවත් මෝඩකම නිසා (මෝහ) ය.

යමකුට මෙවැනි අසාධාරණකම් හෙවත් අයුක්තියෙන් වැළකී සිටිය හැකි නම් ඔහුගේ කීර්තිය පුරපස සඳ මෙන් බැබළෙන බව දහමේ සඳහන් ය.

මිනිසකු සතු ධනය විනාශ වීමට හේතුවන කරුණු හයකි. ඒ

* මත්පැන් පානය, සූදු ක්‍රීඩා කිරීම, අලසකම, පාප මිත්‍ර ඇසුර,

* අවේලාවේ ගමන් බිමන් යාම හා නිතර පී‍්‍රති උත්සව සහ සැණකෙළිවලට යෑම ය.

මෙම කරුණුවලින් වැළකීම ධනය සුරැකීමට හේතු වේ.

* මත්පැන් බීමෙහි ආදීනව හයකි.

* ධනය හානි වේ.

* කෝලාහලවලට අසුවේ. නඩුහබවලට පැටලේ.

* ශරීරය රෝගී වේ.

* බේබද්දෙකි’යි නරක නමක් පැතිරේ.

* පවට බිය නැති වේ.

* සිහිකල්පනාව දුර්වල වේ.

* සූදුවෙහි ද විපාක හයකි.

* සූදුවෙන් දිනූ අය සතුරන් ඇති කර ගනිති.

* පැරදුණ අය ශෝක වෙති.

* ධන හානි වේ.

* අධිකරණය සූදු කෙළින අයගේ වචන නොපිළිගනිති. මිතුරන්ගේ අවමානයට ලක් වේ.

* සූදු කෙළින අය සමඟ ආවාහ විවාහ වීමට කිසිවකු කැමති නැත.

* කෙනෙකුගේ දියුණුව වළකන ප්‍රධාන සාධකයකි අලසකම

* අද ඉතා ශීතල යැයි කියමින් සමහරු අලස වෙති.

* අද ඉතා ඌෂ්ණ යැයි කියමින් සමහරු අලස වෙති.

* දැන් ඉතා සවස් යැයි කියමින් සමහරු අලස වෙති.

* තවම උදෑසන වැඩි යැයි සමහරු අලස වෙති.

* දැන් බඩගිනි වැඩි යැයි සමහරු අලස වෙති.

* දැන් බඩ පිරුණා වැඩි යැයි සමහරු අලස වෙති.

අලසයාට ධන සම්පත් නොඋපදින අතර, තිබෙන සම්පත්වලින් ද පිරිහීම ඇති කර ගනී. ජීවිතයේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන අය හය ආකාර නරක මිතුරන් ද පිටුදැකිය යුතු වේ. එනම් සූදුකාරයන්, සල්ලාලයන්, බේබද්දන්, අපරාධකරුවන්, ඇති තැන වංචා කරන්නන් හා නැති තැන වංචා කරන්නන් වශයෙනි.

මෙවන් නරක මිනිසුන් ඇසුරෙන් ධන සම්පත් පිරිහේ.

* අවේලාවේ සංචාරය කිරීමෙන් උවදුරු හයකට ගොදුරු වේ.

* තමාගේ ආත්මාරක්ෂාව පිරිහීම

* තමාගේ ධනයෙහි ආරක්ෂාව පිරිහීම

* තම අඹු දරුවන්ගේ ආරක්ෂාව පිරිහීම

* මිනිසුන්ගේ සැකයට භාජනය වීම

* නොකළ වරදට හසුවීම හා

* හදිසි කරදරවලට මුහුණපෑම වශයෙනි.

* නිතර නැටුම්, ගැයුම්, වැයුම් බලන්නට යෑමෙන් කාලය කාදැමීම සිදුවන අතර, ධනය ද වැනසේ.

* එසේම පුද්ගලයාගේ දියුණුව වළකා විනාශයට යොමු කරවන පුරුදු හයක් තිබේ.

* දහවල් වන තෙක් නිදාගැනීම, දිවාකාලයේ නිදාගැනීම, පර ස්ත්‍රී පුරුෂ සේවනය, නරක මිතුරන් ඇසුරු කිරීම, අනුන්ට වෛර කිරීම, අනුන්ට සතුරුකම් කිරීම හා අනුන්ට ඊර්ෂ්‍යා කිරීම ය.

* යම් පුද්ගලයකු වැඩිහිටියන් ඇසුරු කරයි ද ඔහු නොපිරිහේ. දියුණුව ලබයි. එවන් වැඩිහිටියෝ තිදෙනෙක් වෙති.

* ගුණයෙන් වැඩිහිටි අය, නුවණින් වැඩිහිටි අය හා වයසින් වැඩිහිටි අයයි.

* සැබෑ ම මිතුරන් නොවන මිත්‍ර ප්‍රතිරූපකයන් සතර දෙනෙකි.

* බොරුවට වර්ණනා කර ලාභ ප්‍රයෝජන උපයන, සුළු දෙයක් දී බොහෝ දේ ලබා ගන්නා, තම ප්‍රයෝජනය ගැනම සලකන මිතුරා මිත්‍ර ප්‍රතිරූපකයෙකි.

* උපකාරයක් ඉල්ලූවිට අතීතයෙන් සහ අනාගතයෙන් උදවු කරන, කිසිම විටක වර්තමානයෙන් උපකාර නොකරන මිතුරා මිත්‍ර ප්‍රතිරූපකයෙකි.

* තමා කරන හොඳ නරක දෙකම අනුමත කරන, ළඟ ඇති විට හොඳ කියන, නැති තැන නුගුණ කියන මිත්‍රයා ද මිත්‍ර ප්‍රතිරූපකයෙකි.

* සූදුව, මත්පැන් පානය, අවේලාවේ වීදි සංචාරය, නැටුම්, ගැයුම්, වැයුම් බලන්නට යෑම වැනි ක්‍රියාවන්ට ම පොළඹවන මිතුරා මිත්‍ර ප්‍රතිරූපකයෙකි.

* මිත්‍ර ප්‍රතිරූපකයන් දුරින් ම දුරු කළ යුතු ය.

කල්‍යාණ මිත්‍රයන් සිව් දෙනෙකි. ඔවුන් ඇසුරු කිරීම දෙලොව දියුණුව සදන්නේ ය. ඔවුන්ගේ ගුණ මෙපරිදි ය.

* උපකාරයක් ඉල්ලූ විට දෙගුණයකින් උපකාර කරන, විපතේ දී පිහිටවන මිතුරාත් ඔහුගේ ධනයත් රැක දෙන මිත්‍රයා.

* තම රහස් මිතුරාට හෙළිකරන, මිතුරාගේ රහස් රකින, විපතේ දී අත් නොහරින, දිවි පුදා වුව ද උපකාර කරන මිත්‍රයා.

* මිතුරා පාපයෙන් වළක්වා යහපතෙහි පිහිටුවන, නොදත් දේ කියා දී යහපත් මාර්ගයෙහි පිහිටුවන මිත්‍රයා සහ

* මිතුරාගේ පිරිහීම වළකා දියුණුවට අත හිත දී මිතුරාගේ දොස් කියන්නන් ඉන් වළක්වා මිතුරාගේ ගුණ කියන මිත්‍රයා ය.

තමා උපයන ධනය කොටස් හතරකට බෙදා පරිහරණය කළ යුතු ය. දානමය කටයුතු සහ පුණ්‍ය කටයුතු සඳහා කොතරම් මුදලක් වෙන් කළ යුතු දැයි ධර්මයේ සඳහන් නොවේ. එය තම තමන්ගේ රිසි ප්‍රමාණයට කළ හැකි ය.

* උපයන වස්තුවෙන් හතරෙන් එකක් එදිනෙදා පරිභෝජනයට යෙදිය යුතු ය.

* හතරෙන් දෙකක් ව්‍යාපාරික දියුණුවට ආයෝජනය කළ යුතු ය.

* හතරෙන් එකක් විපතක දී ප්‍රයෝජනයට ගැනීමට ඉතිරි කළ යුතු ය.

* හය ආකාර වූ පුද්ගල පිරිසට ගරු සැලකිලි දැක්විය යුතු ය. මෙය සදිසා නමස්කාරය නම් වේ.

* දරුවන් මව්පියන්ට කරුණු පහකින් අනුග්‍රහ කළ යුතු ය.

* මව්පියන් රැකබලා ආරක්ෂා කර ගැනීම

* මවුපියන්ගේ කටයුතුවලට උපකාර කිරීම

* කුලවංශය රැක ගැනීම, පරම්පරාගත දායාද රැක ගැනීම දියුණු කිරීම

* මියගිය මවුපියන් සිහිකොට පින්දීම ය.

* මවුපියන් ද දරුවන්ට පස් ආකාරයකින් යුතුකම් ඉටු කළ යුතුයි.

* දරුවන් පාපයෙන් වැළැක්වීම

* යහපතෙහි යෙදවීම

* ශිල්ප ඉගැන්වීම

* සුදුසු කාලයෙහි ආවාහ විවාහ කර දීම

* සුදුසු කාලයෙහි දේපළ වස්තුව පවරාදීම ය.

ශිෂ්‍යයන් ගුරුවරුනට පස් ආකාරයකින් යුතුකම් ඉටු කළ යුතු වේ.

* ගුරුවරයා දුටුවිට හුනස්නෙන් නැඟිට ගරු කිරීම

* ගුරුවරුන්ට උපස්ථාන කිරීම

* ගුරු වදනට කීකරුවීම

* ගුරුවරයාගේ කටයුතු ඉටු කර දීම

* මැනවින් ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම ය.

ගුරුවරුන් ද සිසුන් කෙරෙහි පස් ආකාරයකින් යුතුකම් ඉටු කළ යුතුවේ.

* ශිෂ්‍යයා මනාව හික්මවීම කළ යුතු ය.

* ශිල්ප ශාස්ත්‍ර හොඳින් ඉගැන්විය යුතු ය.

* ගුරු මුෂ්ටි තබා නොගෙන සියල්ල කියා දිය යුතු ය.

* තම මිතුරන්ට ශිෂ්‍යයා හඳුන්වාදී සමාජගත කළ යුතු ය.

* ශිෂ්‍යයාගේ ආරක්ෂාව නිරතුරුව සොයා බැලීම කළ යුතු ය.

* ස්වාමිපුරුෂයා බිරිඳට පස් ආකාරයකින් යුතුකම් කළ යුතු ය.

* ගරු කිරීමත්

* අවමන් නොකිරීමත්

* පර ස්ත්‍රී සේවනය නොකිරීමත්

* ගේ දොර සම්පත් පවරාදීමත්

* ඇඳුම් ආභරණ, ත්‍යාග ලබාදීමත් ය.

බිරිඳක විසින් පස්ආකාරයකින් ස්වාමියාට යුතුකම් ඉටු කළ යුතු වේ.

* ගේදොර කටයුතු මැනවින් කිරීමත්

* ගෙදර සියල්ලන්ට ම හොඳින් සංග්‍රහ කිරීමත්

* පරපුරුෂ සේවනයෙන් වැළකීමත්

* ස්වාමියා උපයන ධනය වස්තුව ආරක්ෂා කිරීමත්

* අලස නොවී උද්යෝගයෙන් කටයුතු කිරීමත් ය.

* මිතුරන් අතර ද යුතුකම් ඉටු කළ යුතු අයුරු දක්වා තිබේ.

* දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව හා නොරැවටීම ය.

* මිතුරා ආරක්ෂා කිරීම, ඔහුගේ ධනය ආරක්ෂා කිරීම, මිතුරාට බයක් ඇති වූ විට පිහිටවීම,

* විපතේ දී අත් නොහැරීම හා මිතුරාගේ ඤාතීන්ට සැලකීම.

* ස්වාමි සේවක යුතුකම් ද පෙන්වා දී ඇත.

* කළ හැකි වැඩ පමණක් නියම කිරීම

* සාධාරණ වැටුප් ගෙවීම

* අසනීප වූ විට පිහිටවීම

* හොඳ ආහාර පානයෙන් සංග්‍රහ කිරීම

* ප්‍රමාණවත් විවේකයක් ලබාදීම ස්වාමියාගේ යුතුකම් ය.

* සියල්ලන්ට පෙරාතුව අවදිවීම

* පසුව නින්දට යාම

* දුන් දෙය පමණක් ගැනීම

* සැලකිල්ලෙන් වැඩෙහි යෙදීම

* ස්වාමියාගේ ගුණකීම සේවකයාගේ යුතුකම් ය.

ගිහියන්, පැවිද්දන් කෙරෙහි ආකාර පහකින් යුතුකම් ඉටු කළ යුතු ය.

* මෙත් සිතින් කටයුතු කිරීම

* මෙත් සිතින් කතා කිරීම

* මෙත් සිතිවිලි ඇතිකර ගැනීම

* තම නිවස විවෘතව තැබීම හා ගෞරවයෙන් සිව්පසයෙන් සංග්‍රහ කිරීම ය.

පැවිද්දන් ද ගිහියන් කෙරෙහි ආකාර පහකින් යුතුකම් කළ යුතු ය.

* ගිහියා පවින් වැළැක්වීම

* කුසලයෙහි යෙදවීම

* සෙත් පැතීම

* නොදත් ධර්ම කරුණු ඉගැන්වීම

* සුගති මඟ, නිවන්මඟ කියාදීම ය.

මෙම වගකීම්, යුතුකම් ඉටුකිරීමෙන් ඉහත කී සය ආකාර පුද්ගල කොටස් වෙතින් තමාට බියක් ඇති නොවේ. සියලු අපල උවදුරු දුරු වේ. තමාගේ කීර්තිය දසත පැතිරේ.

වප්  පුර අටවක

ඔක්තෝබර් 21 සෙනසුරාදා අ.භා. 09.52 න් පුර අටවක ලබා 22 ඉරිදා අ.භා. 07.58 න් ගෙවේ. .
22 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]