කඨින පින්කමේ
අනුසස් ලැබෙන හැටි
කඨින පූජාව මහත්ඵල මහත් ආනිසංස ලබාදෙන පින්කමක්. කඨින පින්කමෙන් එවැනි ආනිසංස
ලැබෙන්නේ කෙසේද? ඒ ගැනත් විමසා බලමු.
කඨිනය යනු සිවුරක් නිමිති කොට පනවා ගත් විනය ප්‍රඥප්ති මාලාවක්. මෙය සිවුරක් වුවත්
පරමාර්ථ වශයෙන් මෙහි ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්ණ, ගන්ධ, රස, ඔජා යන
ශුද්ධාෂ්ටක ධර්මයි. කඨින චීවරය පමණක් නොව වෙනත් සිවුරක් පූජා කළත් මේ ආදී වශයෙන්
පරමාර්ථ වශයෙන් කල්පනා කළ හැකියි.
කෙසේ වුවත් කඨින චීවර පූජාව පිළිබඳ චිරප්‍රසිද්ධ ආනිසංස කතා වස්තුව අපදානපාලියේ
අන්තර්ගත නාගිත හාමුදුරුවන්ගේ කතාවයි. කඨින පින්කමක ආනිසංස බලවත් වනුයේ ඒ පිළිබඳ
දායක පිරිසගේ වැඩි අවධානය නිසා ය. ශාසනික වශයෙන් වෙනත් පින්කමක් කරනවාට වඩා වැඩි
සූදානමකින් මෙන් ම දැඩි අවධානයකින් කඨින පින්කම සිදුකරනවා.
එම නිසා එම ප්‍රස්තුතය පෘථග්ජන සිතේ රැව් පිළිරැව් දීමේ ප්‍රවණතාව වැඩියි. ටීකාවේ
සඳහන් වන්නේ කඨින පින්කමක් සිදු කරන දායකකාරකාදීන්ගේ සිතේ ඒ පිළිබඳ වැඩිවාර ගණනක්
රැඳී තිබෙන නිසා ආනිසංස බලවත් වන බවයි.
කෙසේ වුවත්, යම්කිසි පුද්ගලයකු පංච ආනන්තරීයපාප කර්මයක් සිදුකොට තිබේ නම්, ඔහු
මැරෙන මොහොතේ ඔහුගේ චුති චිත්තයට අනිවාර්යයෙන් ම එම පාප කර්මය සිහිපත් වෙනවා. ඒ
අනුව අපාගත වෙනවා. එය කුසල කර්මයකින් මඟහරවා ගන්නට බැහැ.
සමහර විටෙක කඨින පින්කමක් කළ පුද්ගලයකු පංච ආනන්තරීය පාප කර්මයක් සිදුනොකොට වෙනත්
අකුසලයක් සිදුකොට ඇත්නම් ඇතැම් විටෙක එය යටපත් කොට කඨින පින්කම සිහිපත්විය හැකියි.
එයත් ස්ථිරව ම කිව නොහැකියි. කෙසේ වුවත් කඨින පින්කම කළ අය තමා සෑම මොහොතකම පාහේ
අත්තාධිපත්‍යෙය වශයෙන් සලකා බලමින් කුසල කර්ම සිදුකරනවා. තමා උතුම් පින්කමක් කළේ
යැයි සිතමින් සතුටු වෙමින් තව තවත් කුසල ප්‍රවණතා මතම සිටිනවා. ඒ නිසයි. කඨින
පින්කමේ මෙතරම් ආනිසංස ඇතැයි කියන්නේ.
කෙසේ වුවත් කඨින පින්කම් උභය සංවත්තනික කුසල කර්ම උඩ යම්කිසි කුසලයක් ගිහි පැවිදි
දෙපක්ෂයට ම හෝ තම තමන්ටත් අනුන්ටත් යන දෙපක්ෂයට ම හෝ හිත වැඩ පිණිස පවතී නම් එය උභය
සංවත්තනික කුසල කර්මය කියනවා. ඇත්ත වශයෙන් ම අප කරන පින්කම් සිත පිරිසුදුව කරන්නට
ඕනෑ. එසේ නොවුණහොත් නරක විපාක ගෙන දෙන්න පුළුවන්. පේතවත්ථුවේ සඳහන් කතාවක් උපුටා
දක්වන්නේ පින්කම් කිරීමේ දී ඉතා ප්‍රවේශමෙන් සිදුකළ යුතු බව පෙන්වීමයි.
දිව්‍ය මනුෂ්‍ය ලොකෛකශාස්තෘ වූ තථාගතයන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන කල්හි එක්තරා
පේශකාර ප්‍රේතියක අරබයා මේ පේතවත්ථුව වදාළ සේක. දොළොස් නමක් පමණ වූ භික්ෂූන් වහන්සේ
වනාහි බුදුන් සමීපයෙන් කමටහන් ගෙන වාසයට තැනක් සොයමින් වස් වසන කාලය ළඟාවූ කල්හි
සිහිල් සෙවණින් හා ජලයෙන් යුක්ත වූ සිත්කලු වූ එක්තරා ආරණ්‍යයක් හා ඊටම ඉතා නුදුරු
වූ ඉතා ළං නොවු ගොදුරුගම ද දැක ඒ ආරණ්‍යයෙහි එක රැයක් වාසය කොට දෙවෙනි දිනයෙහි ගමට
පිඬු පිණිස වැඩියාහුය. ඒ ගම ද පේෂකර්මය කරන්නා වූ එකොළොස් දෙනෙක් වාසය කොට ඒ
භික්ෂූන් දැක උපන් සොම්නසින් තම තමාගේ ගෙට වැඩමවා ගෙනගොස් ප්‍රණීත ආහාරයෙන් වළඳවා
“ස්වාමීනි ඔබ වහන්සේ කොතන්හි වඩිනා සේක් දැයි” ඇසුවාහු ය. එවිට “උන්වහන්සේ අපට යම්
තැනක පහසු නම් එතනට යන්නේමු යි” යි කීහ. “ස්වාමීනි එසේ වී නම් මෙහිම වාසය කටයුතුය”
යි කියා වස් විසීමට ආරාධනා කළෝ ය. භික්ෂූන් වහන්සේ ඒ ආරාධනාව පිළිගත්හ. උපාසකවරු ඒ
භික්ෂූන් වහන්සේට ඒ ආරණ්‍යයෙහි ආවාස කරවා දුන්නේ ය. භික්ෂූන් වහන්සේ දෙනමකට
සිවුපසයෙන් සකස්කොට උපස්ථාන කළෝ ය. අනික් පේෂකාරයෝ එක එක භික්ෂු නමකට උපස්ථාන කළාහු
ය.
ජ්‍යෙෂ්ඨ පේෂකාරයාගේ භාර්යා තොමෝ ශ්‍රද්ධා නැත්තීය. තුනුරුවන් කෙරෙහි ප්‍රසාද
නැත්තීය. මිථ්‍යා දෘෂ්ටි ඇත්තීය. මසුරු සිත් ඇත්තීය. ඒ පේෂකාරතෙම එය දැක ඇගේම බාල
නැඟණියන් ගෙනැවිත් තමන්ගේ ගෙයි ඓශ්චර්යය භාරදුන්නේ ය. ඈ ශ්‍රද්ධා සම්පන්න ව සකස්ව
භික්ෂූන් පෝෂණය කළා ය. ඒ සියලුම පේෂකාරයාගේ වස්වැස පැවරූ භික්ෂූන් එක එක නමට එක එක
සළුව බැගින් දුන්නාහුය. එහිදී මසුරු සිත් ඇති පළමු පේෂකාරයාගේ බිරිඳ දූෂ්‍ය වූ සිත්
ඇතිව තමාගේ හිමියා හට පරිභව කළේ ය.
“නුඹ විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට යම් ආහාර පාන දානයක් දෙන ලද්දේ ද ඒ දානය නුඹට
පරලොව දී මල මුත්‍රව ද සැරව හා ලේ ද වී පහළ වේවා වස්ත්‍ර දිලිසෙන අයෝමය වස්ත්‍ර
වෙත්වා” යි කීයේ ය. ඒ ගම විසූ ජ්‍යෙෂ්ඨ පේෂකාරයා පසු කලෙක කලුරිය කොට වින්ධ්‍ය
පර්වතස්ථ වනයෙහි ආනුභාව සම්පන්න රුක් දෙවියෙක් ව උපන්නේ ය. ඒ ප්‍රධාන පේෂකාරයාගේ
මසුරු වූ භාර්යාව වනාහි කලුරිය කොට ඒ රුක්දෙවියා වසන තැනට නුදුරු තන්හි ප්‍රේත
දුවක් ව උපන්නා ය. ඒ ප්‍රේතිය නග්න ව දුර්වර්ණ ව සාපිපාසයෙන් වඩනා ලදුව ඒ බූමාටු
දෙවියන් ළඟට ගොස් “ස්වාමීනී, මම වස්ත්‍ර නැතිව බලවත් ක්ෂුධා පිපාසයෙන් මඬනා ලදුව
ඇවිදිමි, මට වස්ත්‍ර හා ආහාර පානත් දුන මැනවයි” කීය. එවිට ඒ දෙවිතෙම ඒ ප්‍රේතියට
දිව්‍ය ආහාරපාන, දුන්නේ ය. ඒ ආහාර පාන වර්ග ඒ ප්‍රේතිය විසින් ගත් ඇසිල්ලේ මළ
මුත්‍ර බවට හා පූයාලේ බවටත් පැමිණෙන දෙනලද සළුව ද ඈ විසින් වැලඳ ගත් කල දිලිසෙන යපට
වෙයි. ඒ ප්‍රේතිය මහත් දුක් විඳිමින් ඒ වස්ත්‍රය හැර දමා හඬමින් ඇවිදින්නී ය.
ඒ සමයෙහි එක්තරා භික්ෂුනමක් වස්වැස නිමවා බුදුන් වැඳීමට යන්නේ මහත් ගැල් සමූහයක්
සමඟ වින්ධ්‍යා වනයට පැමිණියේ ය. ගැල් පදින්නෝ රාත්‍රියෙහි මඟ ගෙවා ගොස් දවල් කාලයේ
දැක ගැල් මුදා මඳක් කල් ගිමන් හැරියාහු ය. ඒ භික්ෂුව වනාහි විවේක කැමැති බැවින්
මඳක් ඉවත්ව සිහිල් සෙවණින් යුත් වන ලැහැබින් වැසුණා වූ එක්තරා රුකක් මුල සඟල සිවුර
පලනවාහුන්නේ රාත්‍රියෙහි මඟ ගමන් විඩාවෙන් කලාන්ත ශරීර ඇත්තේ නින්දට පැමිණියේ ය.
ගැල් පදවන්නෝ විඩා සන්සිඳුවාගෙන මඟට පිළිපන්හ. ඒ භික්ෂු තෙම නොපිබිදියේ ය. පසුව
සවස් කාලයෙහි නැඟී සිට ගැල් පදවන්නන් නොදක්නේ එක්තරා නොමඟකට බැස පිළිවෙළින් ඒ
දෙවියා වසන තැනට පැමිණියේ ය. එකල්හි ඒ දිව්‍ය පුත්‍රතෙම ඒ මහණුන්නාන්සේ දැක මනුෂ්‍ය
ස්වරූපයෙන් ළඟට පැමිණ පිළිසඳර කතාකොට තම විමනට වැඩමවාගෙන පයගානා අඳුන් ආදිය දී ළං ව
හුන්නේ ය. එකල්හිදු ඒ ප්‍රේතිය ඇවිත් “ස්වාමිනී, මට ආහාර පාන හා වස්ත්‍ර දුන මැනව“
යි කීය. හේ දිව්‍ය පුත්‍රතෙම ඈට ඒ ආහාර පානාදිය දුන්නේ ය. ඒවා ඈ ගත් ඇසිල්ලකින් ම
මල මුත්‍ර පූයා ලේ ද දිලිසෙන අයෝමය වස්ත්‍ර ද වූවාහු ය. ඒ භික්ෂුව එය දැක උපන්
සංවේගය ඇතිව ඒ දිව්‍ය පුත්‍රයාගෙන් විචාරන්නේ
“පින්වත් දිව්‍ය පුත්‍රය, මේ ස්ත්‍රී තොමෝ අසූචි හා මුත්‍ර ද ලේ හා සැරව ද අනුභව
කරයි. මේ කවර කර්මයක් හුගේ විපාකයෙක් ද, යම් බඳු ප්‍රේතියක් තොමෝ සෑම කල්හි ලේ හා
සැරව අනුභව කරන්නී ද ඕතොමෝ පෙර කිනම් අකුසල කර්මයක් කළේද?”
මෑට දෙන ලද යහපත් වූ ද, මෘදු වූ ද, පිරිසුදු පැහැ ඇත්තාවූ ද සුඛස්පර්ශ වූ ද අලුත්
වස්ත්‍ර යපට සමාන වෙත්. එසේ වීමට මේ ස්ත්‍රිය කිනම් අකුසල කර්මයක් පෙර කළේ දැයි
කියා ගාථා දෙකකින් විචාලේ ය. මෙසේ ඒ භික්ෂුහු විසින් විචාරණ ලද්දා වූ ඒ දෙවිපුත්
තෙම හේ පේ‍්‍රතිය විසින් පූර්වජාතියෙහි කරන ලද කර්මය ප්‍රකාශ කරමින් ගාථා දෙකක්
කීයේ ය. ස්වාමීනී මො තොමෝ කිසිවකුට කිසිවක් නොදෙන, සුලු වූ මසුරු වූ තද මසුරු වූ
සිත් ඇති පෙර මාගේ භාර්යාව විය. ඕ තොමෝ මහණ බමුණන්ට දන්දෙන්නා වූ මට අක්‍රෝෂ කරයි.
පරිභව බෙණෙයි.
මේ දුන් දානය නුඹට පරලොව දී මල මුත්‍ර ද ලේ හා සැරව ද වේවා. දුන් පිළි පරලොව දී
නුඹට ලොහවස්ත්‍ර සදෘශ වෙත්වා, නුඹ සෑම කල්හි අසූචි අනුභව කරවයි කියා මෙබඳු වූවාක්
දුශ්චරිතාදිය කොට මේ ප්‍රේතාත්මභාවයට පැමිණියා. බොහෝ කාලයක් මුළුල්ලෙහි අසූචි ආදිය
ම අනුභව කෙරෙයි.
යම් අන්දමකින් ඇගේ අමනාපකාරයෙක් ම පවත්නා වූ විපාකය වනාහි යම් දානයක් උදෙසා අමනාප
වී ද, ඒ අමනාපවීම් හේතුවෙන් ඒ අත්බැවින් චුතව අන් තැනක උපන් කල්හි පොළොව මතුපිට හෙණ
වැටීම මෙන් තම මතුයෙහි වැටෙයි. මෙසේ ඒ දිව්‍ය පුත්‍රයා ඈ විසින් පෙර කරන ලද කර්මය
කියා නැවත ඒ භික්ෂූහුගෙන්
“ස්වාමීනී, මෑ ප්‍රේත ලෝකයෙහි මිදවීමට යම්කිසි උපායක් ඇත්තේ දැයි විචාලේ ය.
භික්ෂූන් වහන්සේ විසින් මිදවීමට උපායක් ඇත්තේ යැ කී කල්හි “ස්වාමීනී එය කියනු මැනව“
යි දෙවිපුත් අයැදියෙන්” ඉදින් භාග්‍යවතුන් වහන්සේට හෝ ආර්ය සංඝයාට හෝ එක භික්ෂු
නමකට හෝ දන් දී මෑට අනුමෝදන් කරවනු ලැබේ නම් මේ ප්‍රේතියත් අනුමෝදන් වී නම් එසේ ඇති
වූ කල්හි මේ ප්‍රේත දුකින් මැගේ මිදීම වන්නේ” යි. වදාරන ලදී.
එබස් අසා දෙවිපුත් තෙමි ඒ භික්ෂූන් වහන්සේට ප්‍රණීත වූ ආහාරපාන වර්ග දන් දී ඒ දානය
ඒ ප්‍රේතියට දුන්නේ ය. එකෙණෙහි ම ඒ ප්‍රේතිය සුවපත් වූවා. පිනාගිය ඉඳුරන් ඇතිව
දිව්‍යාරයෙන් සතුටු විය. නැවත ඒ භික්ෂූන් වහන්සේගේ ම අතට දිව සළු දෙකක් බුද්ධ පුජාව
උදෙසා දී ඒ දක්ෂිණාව ද ප්‍රේතියට දුන් ඒ ක්ෂණයෙහි ඕ තොමෝ දිව්‍ය වස්ත්‍ර හැඳ
දිව්‍යාලංකාරයෙන් සැරසුණා වූ සකල කාම සම්පත්තියෙන් සමෘද්ධි වූ දිව්‍යප්සරාවක් සමාන
විය.
ඒ භික්ෂූ තෙමේ ද ඒ දිව්‍ය පුත්‍රයාගේ සන්ධියෙන් සැවැත්නුවරට පැමිණ ජේතවනාරාමයට වැඩ
බුදුන් සමීපයට එළඹ වැඳ ඒ වස්තු යුග්මය පූජාකොට එපවත් බුදුරජාණන් වහන්සේට සැල කළේ ය.
භාග්‍යවතුන් වහන්සේ ද ඒ කාරණය අර්ථෝත්පත්ති කොට පැමිණි පිරිසට ධර්මය දේශනා කළහ.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
- හේමමාලා රන්දුනු |