ආහාර පමණ දැන ගතයුතු ය
අග්ගමහා පණ්ඩිත
දවුල්දෙණ
ඤාණිස්සර මහානා හිමි
ඛුද්දක නිකායේ ඛුද්දක පාඨ යටතේ සඳහන් “කුමාර ප්‍රශ්න” කොටසේ එන “එකං නාම කිං?”
යනුවෙන් ඇසූ ප්‍රශ්නයට සෝපාක හිමියෝ දුන් පිළිතුර බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ
ප්‍රකාශයකි. එය “සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා” යනුවෙන් සඳහන් වේ “සියලු සත්ත්වයා
ආහාරයෙන් සිටින්නේ ය” යනු මෙහි අර්ථයයි.
ධර්මයෙහි ආහාරයෝ සතර දෙනෙකි. අප සතු කය පවත්වා ගෙන යාම සඳහා කබලීංකාහාරය නම් වූ
ඕජස්ටිඨමක ආහාරය ද, අප සතු සිත පැවැත්වීමට හේතු වන ඵස්සහාර, මනෝ සංචේතනාහාර හා
විඤ්ඤාණාහාර යන ත්‍රිවිධ ආහාර ද යන සතර ය. මෙයින් කයේ පැවැත්ම සඳහා ආහාර ගැනීමේ දී
භෝජනයෙහි පමණ දැනීම ද භොජනමහිච භෝජනයෙහි පමණ නො දැනීම ද යනුවෙන් භික්ෂුවට විශේෂ කොට
පැහැදිලි කිරීම් දෙකක් දහමෙහි සඳහන්ව ඇත.
මෙහිලා බොජුන් සෙවීම, පිළිගැනීම, වැළඳීම, ප්‍රත්‍යවේක්ෂා කිරීම හා අත්හැරීම යන
කරුණු පමණ දැනීම ලෙසත්, භෝජනයෙහි මහත් ආශා ඇත්තෙක් වේ ද, එහි ගැටෙන්නේ ද, මුසපත්
වූයේ වේ ද, පිළිගැනීම් ආදියෙහි පමණ නොදනී ද, දෙනු ලබන හැම දෙයක් ම පිළිගනියි ද, පමණ
ඉක්මවා පිළිගනියි ද යන්න පමණ නොදැනීම ලෙසත් දහමෙහි විස්තර කෙරෙති.”
මේ පමණ නොදැනීම දරින් ගින්නත්, දියෙන් මුහුදත් පුරවා ලන්නට, සතුටු කරන්නට බැරිවා
සේ” යැයි උපමා ද දක්වා ඇත.
ම.නි. බෝධිරාජ කුමාර සූත්‍රයේ දී කයේ නිරෝගී බව නිර්වාණාවබෝධයට මහත් පිටිවහලක් බව ද
දක්වා ඇත. රහතන් වහන්සේ වනාහි තණ්හා දිට්ඨි වශයෙන් ආහාරයෙහි නොඇලෙන සේ සතර මහා
භූතයන්ගෙන් පැවැත්ම පිණිස, යැපීම, පිණිස ආහාර වළඳන සේක. උන්වහන්සේගේ සිවුපසය සෙවුම
වණයක් ඇත්තකු වණයට පිළියම් කරන්නා සේ ය. |