සත්පුරුෂකම්
අසත්පුරුෂකම්
හඳුනාගන්නේ මෙලෙසයි
භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයේ වැඩ වසද්දී එක් දවසක් පුන්සඳ එළියෙන්
ආලෝකවත් වූ රාත්‍රියක භික්ෂූන් පිරිවරා විවේකයෙන් වැඩ සිටියහ. එවේලේ නිශ්ශබ්දව සිටි
භික්ෂූන් අමතා සර්වඥයන් වහන්සේ මෙසේ විචාළහ.
බුදුරජාණන් වහන්සේ - මහණෙනි, අසත්පුරුෂයකුට තවත් අසත්පුරුෂයකු හමු වූ විට මේ
අසත්පුරුෂයකු යැයි හඳුනා ගනීද?
භික්ෂූහු - නැත ස්වාමීනි, ඔවුහු නොදනිති.
බුදුරජාණන් වහන්සේ - මහණෙනි, අසත්පුරුෂයකුට සත්පුරුෂයකු මුණ ගැසුණු විට මේ
සත්පුරුෂයකු යැයි හඳුනා ගනීද?
භික්ෂූහු - නැත, ස්වාමීනි, ඔහු ද නොදනී.
බුදුරජාණන් වහන්සේ - මහණෙනි,, එය එහෙම තමයි. අසත්පුරුෂයා පාප ධර්මයන්හි යෙදෙයි.
අසත්පුරුෂයන් ඇසුරු කරයි. අසත්පුරුෂ සිතිවිලි සිතයි. අසත්පුරුෂ කතා කියයි.
අසත්පුරුෂ වචන පරිහරණය කරයි. අසත්පුරුෂ ක්‍රියා කරයි. අසත්පුරුෂ ලෙසින් ධනය උපයයි.
මහණෙනි, අසත්පුරුෂ ධර්ම මොනවාද?
ශ්‍රද්ධා නැතිකමයි, පව් කිරීමට ලජ්ජා බය නැති බවයි, නූගත්කමයි, ඇසූ පිරූ තැන් නැති
බවයි, කුසීත බවයි, කුල භේදයෙන් ජාති භේදයෙන් කටයුතු කිරීමයි, මාන්නයෙන් කටයුතු
කිරීමයි, තමන් ලද උගත්කමින්, ධනයෙන්, බලයෙන් අනුන් පෙළීමයි.
ශ්‍රද්ධාව නැතිකම අසත්පුරුෂ ධර්මයක්, ශ්‍රද්ධාව කියන්නේ කුමක්ද? ශ්‍රද්ධාව යන්න
ඇදහීම, භක්තිය, පැහැදීම ආදී අරුත් කිහිපයක් වෙයි.
යමක් නොවිමසා පිළිගැනීම අමූලික ශ්‍රද්ධාවයි. එය අන්ධයන්ගේ ක්‍රියාවකට සමානයි. හේතු
සාධක විමසා බලා කරුණු සහිත පිළිගැනීමෙන් ඇති කර ගන්නා ඇදහීම, භක්තිය ආකාරවතී
ශ්‍රද්ධාවයි. කසී භාරද්වාජ සූත්‍රයේ දැක්වෙන්නේ,
සද්ධා බීජං තපොවුට්ඨ
යනුවෙනි. කෘෂි කර්මාන්තයට අවශ්‍ය දෙයකි බීජය නැතිනම් බිත්තර වී. ශ්‍රද්ධාවත් ඒ
වගෙයි. බෞද්ධ විමුක්තියට අවතීර්ණ වීමට අවශ්‍යම දෙයක් ශ්‍රද්ධාව. එහෙත් හොඳින් අවබෝධ
කරගත යුත්තේ ශ්‍රද්ධාවෙන් ආරම්භ වන බෞද්ධ විමුක්ති මාර්ගය ප්‍රඥාවෙන් අවසන් වන
බවයි.
ශ්‍රද්ධාව අටුවා ටීකාවල විවිධ උපමාවන්ගෙන් විස්තර කර තිබේ. එක් උපමාවක් මෙසේ ය.
ශ්‍රද්ධාව ජලය මෙනි. වස්ත්‍රයක් ජලයෙන් තෙමා සෝදා සබන් ගා පැල්ලම් සහිත තැන් මනා සේ
උලා රෙදි සෝදන ප්‍රයෝගය මෙන්, පින ශ්‍රද්ධා නමැති ජලයෙන් තෙමා පිරසුදු කොට සමාධිය
ඇති කරවා ප්‍රඥාව දියුණු කළ යුතු බවයි.
සම්මා දිට්ඨිය යනු ප්‍රඥාව එක්වුණු සරණාගමනයයි. යමෙක් බලවත් ශ්‍රද්ධාවෙන් ඇදහීමෙන්
යුක්ත වේ. එසේ අමුලිකා ශ්‍රද්ධාවෙන් අපිරිසුදු නුවණින් යුක්ත වූ පුද්ගලයා නොපැහැදිය
යුතු අවස්ථාවේ හා නොපැහැදිය යුතු පුද්ගලයන් කෙරෙහි පහදයි. කෛරාටිකයන්ට හසුවෙයි.
බොහෝ මිනිසුන් තමන් පෙළෙන විවිධ අසහනකාරී තත්ත්වයෙන් මිදීම සඳහා විවිධ පුද්ගලයන් හා
විවිධ ආයතන වෙත භක්තියෙන් ඇදී යයි.
සමහර ශ්‍රද්ධාවලට ද හේතුවූයේ මේ නුවණින් තොර ඇදහීමයි. භක්තියයි. බුදුදහමේ මුල්
අවස්ථාව ශ්‍රද්ධාව වුවත් එය අවසන් වන්නේ ප්‍රඥාවෙනුයි. කසී භාරද්වාජ සූත්‍රයේ ද
එන්නේ සද්ධා බීජං තපො වුට්ඨි පඤ්ඤා ආදී වශයෙනි. බෞද්ධයා ශ්‍රද්ධාවන්ත බවේ පිහිටා
එතැනින් නොනැවතී ප්‍රඥාවන්තයකු දක්වා දියුණු විය යුතු ය. මන්ද, තථාගත ධර්ම
ප්‍රඥාවන්තයන්ට මිස මෝඩයන්ට නොවේ.
අසත්පුරුෂ වචන නම් බොරු කීම, සමාජය රැවටීම, හොඳින් ඉන්න දෙදෙනකු හෝ පවුල් කිහිපයක්
හෝ භේද කිරීම සඳහා කේළම් කීම, හිස් වචන කීම, අනුන් තළා පෙළා අනුන්ගේ සිත් දූෂිත වන
අන්දමින් කතා කිරීම ආදියයි. පි‍්‍රය වචන, යහපත් වචන කතා කිරීම, සත්පුරුෂ ලක්ෂණයයි.
සත්තිගුම්බ ජාතකයේ දැක්වෙන එක මවකගේ දරුවන් දෙදෙනකු වූ ගිරා පැටවු දෙදෙනාගේ කතාව
හොඳ උදාහරණයක්. සොර මුලක් ආශ්‍රයෙන් වැඩුණු පැටවා අසත්පුරුෂ වූ අතර තාපසයන් අතර
හැදුණු ගිරවා සත්පුරුෂයකු වීම ය.
මේවා සියල්ල කෙරෙන්නේ සිතිවිලිවලිනි. තමා හට දුක් පිණිස සිතන සිතිවිලි අසත්පුරුෂ
සිතිවිලි ය. භාග්‍යවතුන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ට දුන් ප්‍රථම අවවාදය නම්
තමන්ට දුක් පිණිසත්, අනුන්ට දුක් පිණිසත්, දෙපක්ෂයට ම දුක් පිණිස හේතුවන ආකාරයටත්
සිතන්න එපා. ක්‍රියා කරන්න එපා. පිළිපදින්න එපා කියන අවවාදයයි.
සත්පුරුෂයා සත්පුරුෂයකු දුටු විට මොහු සත්පුරුෂයෙක් ය කියා දැන ගන්නවා. ඒ වගේම
සත්පුරුෂයා අසත්පුරුෂයකු දුටු විට මේ අසත්පුරුෂයා යැයි දැන ගන්නවා. සත්පුරුෂයා
මෙලොව වශයෙන් කීර්ති ප්‍රශංසා ගරු බුහුමන් ලබනවා. පරලොව වශයෙන් දිව්‍ය සම්පත්
විඳිනවා. අසත්පුරුෂයා මෙලොව වශයෙන් විවිධ කම්කටොලු. ආපදා විපත්වලට භාජනය වෙනවා.
පරලොව දී අපායගාමී ව නිරයේ දුක් විඳිනවා.
- අයන්ති විතාන |