[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ආශ්චර්ය අද්භූත ධර්මතා

ආශ්චර්ය අද්භූත ධර්මතා

බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවීම සැබැවින් ම භාග්‍යයක්. සැපයක්. ආශ්චර්යයක්. උන්වහන්සේ ලොව පහළ වී දේශනා කළ ඒ සුමිහිරි දහම ඇසෙද්දී පිනැති, නුවණැති, ශ්‍රාවකයා ඒ ධර්මය පුරුදු කිරීමට යම් මහන්සියක් ගන්නවා.

ඔවුන්ට ධර්මය ඇසුන දා සිට තමන් ඇබ්බැහි වී සිටි අයහපත් දේ තිබුණා නම් එය අතහරිනවා. අනවශ්‍ය ලෙස තරහ ගන්න කෙනෙක් නම්, මත්පැනට ලොල් වී සිටින අයෙක් නම් ධර්මය ඇසුන පසු වෙනස් වෙනවා. එහෙම නම් අපට පේනවා ධර්මය ඇසීමෙන් පුද්ගලයකුගේ යම් වෙනස් වීමක් සිදු වෙනවා. එසේ වෙනස් වීමේ ආශ්චර්යය අයිති වන්නේ අපගේ ශාස්තෘන් වහන්සේට යි.

බුදුරජාණන් වහන්සේ වදාළා මේ ලෝකයට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන් ලෝකයට ආශ්චර්ය වූත් අද්භූත වූත් ධර්මතා හතරක් පහළ වෙනවා. එයින් පළමු වැන්න

දැවෙනවා දැන දැනම අල්ලා ගැනීම

ආලයාරාමා භික්ඛවේ පජා ආලයරතා ආලයසම්මුදිතා - මහණෙනි, මේ ලෝක ප්‍රජාව තෘෂ්ණාව (පංචකාමය) තුළ වාසය කරයි. තෘෂ්ණාවෙන් ඇලී සිටියි. තෘෂ්ණාවෙන් සතුටු වෙමින් සිටියි. ඒ පිරිසට තථාගතයන් වහන්සේ විසින් තෘෂ්ණාව දුරුකරන (පංචකාමයට තිබෙන කැමැත්ත දුරු කරන) ධර්මය දේශනා කරන විට ඒ පිරිස සුස්සුසති - ඒ ධර්මය අසන්නට කැමැති වෙනවා. සෝතං ඕදාති - සවන් යොමු කරනවා. අඤ්ඤාචිත්තං උපට්ටජෙති - මේ ධර්මය අවබෝධ කර ගන්නට ඕනෑ කියලා සිත පිහිටුවා ගන්නවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වූවාට පසු මේ ලෝකයට පහළවන පළමුවන ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මතාව කියලා. මොකද්ද මේ පංචකාමය ඉෂ්ඨකාන්ත, මනාප, පි‍්‍රය ස්වරූප තිබෙන, කැමැත්ත ඇති කරන යමකුගේ කෙලෙස් අවුස්සන රූප, ශබ්ද, ගඳ, සුවඳ, රස, පහස මේ ලෝකයේ තිබෙනවා. මේවා ගැන යම් කෙනෙක් සිතිවිල්ලකින් පවා රාගයෙන් බැඳෙනවා. එය සිතේ මව මවා දෙනවා. එයට පංචකාමය කියනවා. මේ පසුපස්සේ තමා ලෝකයා දුවන්නේ.

අපි පුංචි කාලයේ සිට ම ඉගෙන ගන්නට මහන්සි ගන්නවා. කොතරම් ඉගෙන ගත්තත් මදි. ඉන්පසු රැකියාවට යනවා. කො තරම් ඉහළට ගියත් මදි. වයසට යනකම් විභාග කරනවා. එහෙම නැත්නම් ජීවත් වීමට නිවසක් ගොඩනඟනවා. ටික කාලයක් යද්දී ඒ නිවස මදි. නැවත කඩමින් හදනවා. ඇතැම් කෙනෙක් එන එන අලුත් වාහනය අරගෙන සතුටු වෙනවා. විවාහයත් ඒ වගේම යි. එක විවාහයක් මදි වූ ඇතැම් දෙනා ඉන්නවා.

මියයන තුරුම මේ සිත තෘප්තිමත් නොවන ස්වභාවයක්, අඩුවක්, අපරිපූර්ණ බවක් දැනෙනවා. ඒ නිසාම අප මේ කාමයත් සමඟ හැප්පෙන විට පුදුමාකාර වෙහෙසක් තිබෙන්නේ. කාමයත් සමඟ හැප්පෙද්දී තමයි වෙහෙස, පීඩාව, දැවිල්ල, පිච්චිල්ල කියා දෙයක් එන්නේ.

ඒ වගේම තමාට මේ දේ අහිමි වේවි කියා බියක් එන්නේත් කාමය නිසාමයි. කාමය අල්ලාගත් නිසා. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ කාමයත් හරියට හුළු අත්ත වගේ කියලා. දැල්වෙන හුළුඅත්ත අතට ගත්විටයි පිච්චෙන්නේ. අතහැරිය විට පිච්චිල්ලක් නෑ. ඒ නිසා කාමය කියන දේ වැළඳ නොගෙන දැවෙන සුළු කාමය නමැති හුළුඅත්ත අතහැරියා නම් එයින් උපදින වේදනා, දැවිලි, තැවිලි, පිච්චිලි සියල්ල ම නැතිවෙලා යනවා.

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා කාමයේ ඇත්ත ස්වභාවය ගැන අපට කියා දුන්නා. කාමයේ ආශ්වාදය ටිකයි. බොහෝ දුක් වේදනා තිබෙනවා. ඒකයි පොඩි ආශ්වාදයක් ලබන්නට ගොඩක් දුක් විඳින්නේ. එයයි යථාර්ථය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් ඒ යථාර්ථය දැක ගත් නිසා තමයි ප්‍රජාපතී ගෝතමිය, යශෝධරා, රූපනන්ද, වගේ රාජ මාළිගාවල සිටි කුමාරිකාවන් ඒ සුකුමාල ජීවිත අතහැරලා මේ ශාසනයට ආවේ. ඒ වගේම භද්‍රා,

කුණ්ඩලකේෂී, උප්පලවණ්ණා වගේ සුන්දර සිටු කුමාරියන් සිටු මාළිගාවලින් බැහැර වෙලා මේ ශාසනයට ආවේ. කාම මඩ ගොහොරුවේ එරී සිටි අම්බපාලි, අඬ්ඨකාසී වගේ අය ඒ වෘත්තියෙන් බැහැර වෙලා, මේ ශාසනයට ආවේ. මේ ශාසනික ජීවිතය සැපයක් කියලා. ඒ සියල්ල කාගේ ආශ්චර්යක් ද? මිහිරි ලෙස කාමය විඳිමින් සිටි අය ඒවා අතහැර මේ ධර්මයේ පිළිසරණ ලැබුවේ ඔවුන්ගේ ආශ්චර්යවත් බව නිසා නොවෙයි. ඒ සියල්ල අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවීමේ ආශ්චර්යය නිසාම යි.

එනිසා අදටත් සත්පුරුෂයන් වහන්සේ නමක් ඒ නිකෙලෙස් දහම දේශනා කරන විටත් ධර්මය ඇසෙන විට සිතෙනවා නම් මම මේ ගේ දොර, අඹු දරුවන් මත්තේ නැහීගෙන දුරකතනයට, රූපවාහිනියට ඇලී ඒ මත්තේ ම නො ඉඳ මේ ධර්මයට නැඹුරු වෙන්න ඕන. අපි ලද පොඩි විවේකයෙන් හෝ ධර්මය තුළ හැසිරෙන්නට මහන්සියක් ගන්නවා නම් ධර්මය අසන්නට ආශාවක් ඇතිකර ගන්නවා නම්, මටත් මේ ධර්මයෙන් පිහිටක්, පිළිසරණක් ඕන කියා කල්පනා කරනවා නම් ඒ ආශ්චර්ය ඒ අය ලබා ගත් දෙයක් නොවේ. ඒ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමේ ආශ්චර්යවූත් අද්භූතවූත් පළමු ධර්මතාවය යි.

මාන්නයත් අකුසලයක්

භාග්‍යවතුන් වහන්සේ වදාළා දෙවැනි ආශ්චර්ය කරුණ, මහණෙනි, මේ ලෝක සත්වයා මාන්නය තුළ වාසය කරනවා. මාන්නයෙන් ඇලී සිටිනවා. මාන්නයෙන් සතුටු වෙමින් සිටිනවා. තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වී මාන්නය දුරු කරන ධර්මය දේශනා කරන විට, ඒ ධර්මය ඇසීමට කැමැත්තක් ඇතිකර ගන්නවා. ඒ ධර්මයට සවන් යොමු කරනවා. ඒ ධර්මය අවබෝධ කර ගන්නට ඕනෑ කියා සිත පිහිටුවා ගන්නවා.

මේ ලෝකයේ ඇතැම් දෙනා මම ලස්සන යි, මම වැදගත්, මම ධනවත්, මම කුලවත්, මම ඉහළ රැකියාවක් කිනවා, මම සම්මානලාභියෙක් ආදී ලෙස මාන්නය ඇති කර ගෙනයි සිටින්නේ. ඔහු ධනවත්, කුලවත්, බලවත් වෙන්න පුළුවන්. නමුත් ඔහු මිය ගිය දිනක මේ කය මහ පොළොවට පස් වෙනවා. මේ ශරීරයේ තිබෙන්නේ මහපොළොවට පස්වෙන, වතුරේ දියවන, සුළඟේ හමායන, රස්නයෙන් යුතු දෙයක්. මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහ භූතයන්ගෙන් සැදුනු මේ කය මම කියලා ගෙන මාන්නයෙන් ඉන්නවා නම් භාග්‍යවතුන් වහන්සේ වදාළා. එය ඒ පුද්ගලයාගේ අඥානකම කියලා.

කෙනෙක් මේ සතර මහා භූතයන් ගැන දැනගෙන මේ වගේ ශරීරයක් දරා සිටින මම මාන්නයක් ඇති කර ගත යුතු නෑ කියලා වැටහීමකට ආවොත් ඒ ඔහුගේ ප්‍රඥාව යි.

බිම්බිසාර රජුගේ අග මෙහෙසිය වූ ඛේමා බිසව රන් සළුපිළි පැළඳ, රන් මිරිවැඩි පයලා ගත් ලස්සන රූපයකට ආශා කළ, ලස්සන නිසාම ආඩම්බර වූ බිසවක්. ඇය වේළුවනයට ගියේ එහි ලස්සන බලන්නයි. නමුත් දුටුවේ ජීවිතයේ යථාර්ථය කියා දෙන භාග්‍යවතුන් වහන්සේ ය. උන්වහන්සේ ඛේමාට වඩා ලස්සන රූපයක් මවලා ඒ රූපය ක්‍රමයෙන් වැහැරෙන ආකාරය පෙනෙන්නට සැලැස්සුවා. එදා ඛේමා බිසව බුදුරදුන්ගේ බණ පදයට වසඟ වුණා.

ඛේමාගේ මාන්නය දුරු වුණා. ඇය මහරහත් උත්තමාවියක් බවට පත් කළේ මේ ධර්මය යි. ඒ සිදු වූ ආශ්චර්යය ඛේමාට අයත් දෙයක් ද? ඒ බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වීමේ ආශ්චර්ය යි.

අද වුවත් යම් කෙනෙක් ධර්මය අහලා මාන්නය දුරු කළොත්, නිහතමානී ගුණ ඇති කර ගත්තොත්, මාන්නය දුරු කරන ධර්මය මම අහනවා කියලා සිත පිහිටුවා ගත්තොත් එය ඒ පුද්ගලයාගේ ආශ්චර්යක් නොවෙයි. ඒ බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවීමේ දෙවැනි ආශ්චර්යවත් වූත්, අද්භූතවත් වූත් ධර්මතාවයි. මේ ධර්මතාව අපි අදත් දකිනවා.

නොසංසිඳීමෙන් සංසිඳීම

භාග්‍යවතුන් වහන්සේ තුන්වැනි කරුණ ලෙස වදාළා අනුපසමාරාම භික්ඛවේ පජා අනුපසමරතා අනුපසමසම්මුදිතා.

මහණෙනි, මේ ලෝක ප්‍රජාව නො සංසිඳීම තුළ වාසය කරයි. නො සංසිඳීමෙහි ඇලී සිටියි. නො සංසිඳීමෙන් සතුටු වෙමින් සිටියි. ඒ අය තථාගතයන් වහන්සේ විසින් කෙලෙස් සංසිඳුවාලන ධර්මය දේශනා කරන විට, ඒ ධර්මයේ ඇසීමට කැමැත්ත ඇති කර ගන්නවා. ඒ ධර්මයට සවන් යොමු කරනවා. ඒ ධර්මය අවබෝධ කරන්නට ඕනෑ කියලා සිත පිහිටුවා ගන්නවා.

මේ ලෝක සත්ත්වයා නොසංසිඳී සිටින්නේ කුමක් නිසා ද? රාගයෙන් නොසංසිඳිලා ඇවිස්සිලා, ද්වේෂයෙන්, මෝහයෙන් නොසංසිඳිලා ඇවිස්සී ගිහිල්ලා. රාග, ද්වේෂ, මෝහ තුළින් ඇවිස්සුන ලෝකයක් තිබෙන්නේ.

බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළවෙලා රාග, ද්වේෂ, මෝහය දුරු කරන තම තමන් සංසිඳෙන දහමක් කියා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ ලෝකයාගේ ස්වභාවය හරියට කිරි ගසක් වගේ කියලා. කිරි ගහේ කුමන ස්ථානයට කෙටුවත් කිරි වැගිරෙනවා.

ඒ වගේ මේ රාගය දුරු නො කළ කෙනාගේ ස්වභාවය තමයි පුංචි අරමුණක් ඇසට, කනට, නාසයට, දිවට, කයට , මනසට පැමිණිවිට රාගය වැගිරෙනවා.

ද්වේෂය ඇතිවන අරමුණට ද්වේෂය වැගිරෙනවා.

මුළාවක අරමුණක් ආවොත් මුළාව වැගිරෙනවා. ඒ වගේ නො සංසිඳුණු ලෝකයකට සංසිඳීම පිණිස බණ පදයක් කියා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පමණයි.

දිනක් නිල් මහනෙල් මලේ පාටින් බබළන, තේජාන්විත සුන්දර රූපයක් තිබුණ මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියට විමලා කියන ගණිකාව ආවා. මේ සරාගී කාන්තාව තෙරුන් වහන්සේ දෙස බලා සිටියා. ඇගේ සිත සරාගි යි. ඒ උත්තමයාගේ සිත විරාගි යි. ඇගේ සිත චංචල යි. ඒ උත්තමයාගේ සිත නිශ්චලයි. ඇගේ සිත නො සංසිඳිලා. නමුත් තෙරුන් වහන්සේගේ සිත සංසිඳිලා. සරාගී ඇය විරාගි මුනිදුන් වෙත බලා සිටින්නේ උන්වහන්සේ පොළොඹවා ගන්නා අදහසින්.

එවිට මුගලන් තෙරුන් වහන්සේ වදාළා අසූචි පුරවාගත් මල්ලක් වගේ ශරීරයක් තිබෙන තැනැත්තී. ඇටවලින් සැකසූ කුටියක් වගේ ශරීරයක් තිබෙන තැනැත්තී. නහරින්, ලෙයින්, මසින් පිරුණු ශරීරයක් තිබෙන තැනැත්තී, නව දොරටුවෙන් අසූචි වැගිරෙන කයක් තිබෙන තැනැත්තී. නුඹ එහෙම කයක් පෝෂණය කරමින් අනුන්ගේ කයට ආශා කරන තිට නින්දා වේවා" කියා වදාළා.

ස්වභාවයෙන් ඉතාමත් පියකරු සුන්දර රූපයක් තිබුණු විමලා පුරුෂයකුගෙන් කිසි දිනක මෙවැනි කතාවක් අසා තිබුණේ නෑ. ඇය කියා සිටියා.

“ස්වාමිනී, බොහෝ පිරිමින් මඩට මී හරක් ආශා කරන්නේ යම් සේ ද, එසේම මගේ කයටත් ආශා කරමින් මා කරා එන්නේ. නමුත් ඔබ වහන්සේ ඒ කයට නින්දා කරනවා. ගරහනවා.” එයට හේතුව කුමක් ද?

පින්වතිය, අසූචි වළක් වගේ ශරීරයක් තිබෙන ඔබේ කයට නුවණැත්තා නම් කිසි දිනක ප්‍රශංසා කරන්නේ නෑ. එයට ආශා කරන්නෙත් නෑ. ඔය ස්ත්‍රී ශරීරය තමා පුරුෂයාට නිවනට තිබෙන එකම බාධාව. ඒ නිසා පළඟැටියෙක් ගින්නට පැනලා වැනසෙනවා වගේ මෝඩ නුඹත් මගෙත් සමඟ හැප්පිලා වැනසෙන්න එපා.” කියා වදාළා.

ඒ ඇසූ විමලාගේ සිත නිවුණා. සංසිඳුණා. ඇය කියනවා,

“ස්වාමීනි, මමත් ආසයි ඒ ආකාරයට සිතන්න. කොහෙද ඔබ වහන්සේගේ ගුරුවරයා වැඩ සිටින්නේ” කියා විස්තර දැනගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් පැවිද්දට අවසර ඉල්ලා ගෙන පැවිදි වුණා. රාග, ද්වේෂ, මෝහ, ගින්න නිවා ගන්න, ධර්මය අසන්න, ඇය සිත යොමු කළා. ඇයටත් පුළුවන් වුණා මුගලන් තෙරුන් වගේම වීතරාගී, වීත දෝෂි, වීත මෝහි සිතක් ඇති කර ගන්න. ඒ ආශ්චර්ය විමලා තෙරණියගේ නොවේ. ඒ බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වීමේ අසිරියයි.

අවිද්‍යාවේ තරම

භාග්‍යවතුන් වහන්සේ හතර වැනි කරුණ ලෙස වදාළා “අවිජ්ජාගතා භික්ඛවේ පජා අන්ධභූතා පරියෝනද්ධා” මහණෙනි, ලෝක ප්‍රජාව අවිද්‍යාවෙන් යුතුයි. අවිද්‍යාව තුළ සිර වී අවිද්‍යාවෙන් වෙළී සිටින්නේ. නමුත්, ඒ පිරිස තථාගතයන් වහන්සේ අවිද්‍යාව දුරු කරන ධර්මයක් දේශනා කරන විට ඒ ධර්මය ඇසීමට කැමැත්ත ඇති කර ගන්නවා. සවන් යොමු කරනවා. අවබෝධ කර ගත යුතුයි කියා සිත පිහිටුවා ගන්නවා.

අවිද්‍යාව කියන්නේ කුමක් ද? ආර්ය සත්‍ය හතර නො දන්නාකමයි. මේ දුක්ඛ ආර්ය සත්‍යය, මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍ය කියා දන්නේ නෑ.

අවිද්‍යාව නිසා අපි කාටත් සංසාරේ සැරිසරා යන්න වුණා. එසේ සැරිසරා යද්දී සතර මහා සාගරයේ වතුර පරයා අම්මාගේ කිරි බිව්වා. අම්මා නැතිවීම නිසා තාත්තා අහිමි වීම නිසා සතරමහා සාගරයේ වතුර පරයා කඳුළු සැලුවා. එළුවන්, ගවයන්, ඌරන්, කුකුළන් වෙලා බෙල්ල කපා දමද්දී ගැලූ ලේ සාගර ජලයට වඩා වැඩි වුණා. එහෙම පසුකළ ලේ සාගර, කඳුළු සාගර, කිරි සාගර තමයි අපේ සසර ගමනේ තිබෙන්නේ. එහෙම ගමනක් යන අපගේ සසර වැසී තිබෙන්නේ අවිද්‍යාවෙනු යි. ඒ අවිද්‍යාව දුරු කරන ධර්මය පටාචාරාට කියන විට ඇගේ සිත ඒ දහම අසන්නට කැමැති වුණා. ධර්මය අවබෝධ කළා. එතුමිය දුකෙන් මිදුණා. කිසාගෝතමියටත් සරණක් ලැබුණා. සසරට වැටුණු අපට නොයෙක් ආකාරයේ දුක් පීඩාවලට මුහුණ දෙන්න සිදු වෙනවා. එහි නිමාවක් නෑ. මේ ලෝකයේ අදටත් පටාචාරලා, කිසාගෝතමීලා සිටිනවා. කඳුළ ජීවිතය කරගත් අය බොහෝයි. මේ සැමට ම පිළිසරණක් වෙන්නයි භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ.

උන්වහන්සේ ලෝකයට පහළවීමෙන් අපට උත්තරයක් ලැබුණා. නැතිනම් මේ කඳුළු පිරුණු සංසාරයට උත්තරයක් දෙන්න කෙනෙක් නෑ. ඒ නිසා අවිද්‍යාව දුරු කරන ධර්මය අපි අහන්න ඕන. ඒ ධර්මයට කන යොමු කරන්න ඕන. ඒ ධර්මය අවබෝධ කර ගන්න ඕන කියා සිතන්නට ඕන. ඒක බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවීමේ ආශ්චර්ය යි. එවිටයි අපේ දුක කවදාහරි දවසක නිවී යන්නේ.

බිනර  අමාවක

ඔක්තෝබර් 13 සිකුරාදා
අ.භා. 09.50 න් අමාවක ලබා 14 සෙනසුරාදා අ.භා. 11.24 න් ගෙවේ. 14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]