[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශ්‍රී සද්ධර්මය නිවැරැදිව හඳුනා ගනිමු

ශ්‍රී සද්ධර්මය නිවැරැදිව හඳුනා ගනිමු

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කොට වදාළේ, ධර්මය අවබෝධ කොට දෙව් මිනිස් ලෝකයාට සසර දුකින් මිදීම පිණිස ය. ලෝකයේ සැමදා පවතින සත්‍ය තත්ත්වය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ස්වභාවය එලෙසින් ම අවබෝධ කිරීම, ධර්මය අවබෝධ කිරීම ලෙස හඳුන්වයි.

එසේ අනිත්‍ය බව අවබෝධය පිණිස ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් විමසා බැලිය යුතු බව සූත්‍ර දේශනාවල (කිංසුකෝපම සූ. සං.නි.4) සඳහන් වේ. මේ කුමන අයුරකින් හෝ විමසා බැලීම පිණිස එම දහම් කාරණා සූත්‍ර දේශනාවල සඳහන් වන අයුරින් ම ඉතා පැහැදිලිව, නිරවුල්ව දැන සිටිය යුතු ය. එහිදී සූත්‍ර දේශනාවල සඳහන් වචන (ව්‍යඤ්ජන) විකෘති නොවන ලෙස ද, අර්ථයට හානියක් නොවන ලෙස ද භාවිත කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

කරුණු දෙකක් සද්ධර්මයෙහි මුළාවට පත්වීම පිණිසත්, සද්ධර්මය අතුරුදහන් වීම පිණිසත් හේතු වේ.

එනම් වැරැදි ලෙස භාවිත කළ වචනයත්, වැරැදි ලෙස යොදා ගත් අර්ථයත් ය. (දුන්නික්ඛිත්තඤ්ඤච පදබ්‍යඤජනං අත්ථොච දුන්නිතො) මෙම කරුණු දෙක නිවැරැදිව භාවිත කිරීම සද්ධර්මය බොහෝ කල් පැවතීමටත්, ධර්මයෙහි මුළා නොවීමටත් හේතු වන බව අංගුත්තර නිකාය දුක නිපාතයේ (2,1,2,10 සූත්‍රය) සූත්‍ර දේශනාවෙහි සඳහන් වේ. එබැවින් සූත්‍ර දේශනා විස්තර කිරීමේ දී සැම විටම අර්ථය පිළිබඳ විමසා බලා අර්ථ විකෘති නොවන ලෙස වචන භාවිතය ඉතා වැදගත් බව මෙයින් පැහැදිලි වේ.

පංච උපාදානස්කන්ධයෙහි රූප උපාදානස්කන්ධය විස්තර වන සෑම සුත්‍ර දේශනාවක ම සඳහන් වන්නේ

"සතර මහා භූත ද සතර මහා භූතයන්ගේ උපාදාය රූප ද රූපය" වන බවයි. (චත්තාරෝච මහාභූතා චතුන්නංච මහාභූතානං උපාදාය රූපං) (උපාදාන පරිවත්ත සූ.ස.නි.3) එසේම නාම රූපය විස්තර කිරීමේ දී රූපය ලෙස සඳහන් වන්නේ ද ඉහත අයුරින් ම, සතර මහා භූත ද, සතර මහා භූතයන්ගේ උපාදාය රූප ද, රූපය වන බවයි. (විභංග සූ.ස.නි.2)

එනමුත් මෙකල බොහෝ ධර්ම දේශනාවල ද, එම දේශනා ඇසුරෙන් සකස් කළ පොත් හා ලිපිවල ද සඳහන් වන්නේ සතරමහා ධාතු ලෙසින් ය. මෙය සතර මහා භූත යන වචනය සිංහලට පරිවර්තනය කිරීමක් ද නොවේ. එසේ නම් ධාතු යන පාලි වචනය යෙදිය නොහැක. කවුරුන් විසින් හෝ වැරැදි ලෙස භාවිතා කළ එම වචනය විමසා නොබලා ඒ අයුරින් ම භාවිතයට පැමිණ ඇත. “සතරමහා ධාතු” යන මෙම වචනය වැරැදි ව්‍යවහාරයක් බව පෙන්වා දීමට පවා අපහසු තරමට වැරැදි යෙදුම් සමාජගත වී ඇත. විශේෂයෙන් විපස්සනා භාවනාව පිළිබඳ ගිහි පින්වතුන් පවා වැඩි උනන්දුවක් දක්වන මෙකල සතරමහා ධාතුව යන වචනයෙහි ඇති වරද පෙන්වාදීම වැදගත් යැයි අප අදහස් කළෙමු.

ධාතු යන පාලි වචනයට ඒ ඒ තැන්හි දී සුවිශේෂ වූ අර්ථ යෙදී ඇත. නමුත් රූප උපාදානස්කන්ධය හා නාම රූපයෙහි රූපය, විස්තර වන තැන්හි ධාතු සතරෙහි එක්රාශි වීමක් විස්තර වේ.

ධාතු යන පාලි වචනයෙහි සාමාන්‍ය අර්ථය ස්වභාවය, ගතිය යන්නයි. මේ අනුව පඨවි ධාතු යනු තද ස්වභාවය තද ගතිය වේ. ආපෝ ධාතු යනු දියර ස්වභාවය දියර ගතිය යන්නයි. තේජෝ ධාතු යනු උණුසුම් ස්වභාවය උණුසුම් ගතිය වේ. වායෝ ධාතු යනු හමා යන ස්වභාවය හමා යන ගතිය වේ.

මේ අයුරින් ම සතර මහා ධාතු යන වැරැදි වචනය පරිවර්තනය විය යුත්තේ සතර මහා ස්වභාවය සතර මහා ගතිය ලෙසින් ය. මෙය කිසිදු අර්ථයක් නැති විකෘති යෙදුමක් බව ඕනෑම බුද්ධිමත් අයකුට වැටහෙනු ඇත.

භූත යන පාළි වචනයෙහි සකස් වූ දෙය, සිදුවු දෙය යන අර්ථ ඇත. ඒ අනුව සතර මහා භූත යනු පඨවි, ආපෝ, තේජෝ,වායෝ යන සතර එක්වීමෙන් සකස් වූ දෙය යන අර්ථ ඇත.

එසේම ‘භූතවාදි’ (සත්‍යය කතා කරන) යන යෙදුමට අනුව භූත යන වචනයෙහි සත්‍ය යන අර්ථයක් ද ඇත. ඒ අනුව සතර මහා භූත යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර එක්වීමෙන් සත්‍ය වශයෙන් ඇති දෙය ලෙස ද අර්ථ දැක්විය හැකි ය.

භෞතික ලෝකයේ සෑම තැනම ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ස්වභාවයන්ගෙන් හඳුනා ගන්නා සතර මහාභූත ය. පඨවි යනු දෙයක් නොව, දෙයක් – යමක් හඳුනා ගන්නා ස්වභාවය යි. එසේම ආපෝ, තේජෝ, වායෝ යනු ඒ ඒ මොහොතේ යමක් හඳුනා ගන්නා ස්වභාවයයි.

උපමාවක් ලෙස අයිස් කැටයක් හඳුනා ගන්නේ එහි ඇති තද ස්වභාවය අනුව ය. ඒ අනුව අයිස් කැටය, පඨවි ස්වභාවයෙන් (පඨවි ධාතු) යුතු සතරමහාභූත ය. අයිස් කැටය දිය වූ පසු එය හඳුනා ගන්නේ එහි ඇති දියර ස්වභාවය අනුව ය. ඒ අනුව ජලය යනු ආපෝ ( දියර) ස්වභාවයෙන් (ආපෝ ධාතු) යුතු සතර මහා භූත ය. ජලය රත් කිරීමෙන් හුමාලය බවට පත්වූ පසු එය හඳුනාගන්නේ උණුසුම් ස්වභාවය (තේජෝ ධාතු) අනුව ය. හුමාලය යනු උණුසුම් ස්වභාවයෙන් (තේජෝ ධාතු) අනුව ය. හුමාලය යනු උණුසුම් ස්වභාවයෙන් (තේජෝ ධාතු) යුතු සතර මහාභූත ය. මේ අනුව ධාතු යනු සංඥා, වේදනා ඇසුරෙන් යමක් හඳුනාගන්නා ස්වභාවයයි.

තද, ගොරෝසු, බැවින් හඳුනා ගැනීම පඨවි ධාතු වේ. ඒ පඨවි ස්වභාවය ඇත්තේ සතරමහා භූතවල ය. දියර බැවින් හඳුනා ගැනීම ආපෝධාතු වේ. ඒ ආපෝ ස්වභාවය ඇත්තේ සතරමහාභූතවල ය.

ලෝකයේ භෞතික සෑම දෙයක ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ස්වභාවයන් හතර ම ඇත. නමුත් යම් මොහොතක යමක් තද බවින් හඳුනාගන්නේ නම් එහි පඨවි ස්වභාවය ඇති බව (පඨවි ධාතු) කියනු ලැබේ. නමුත් එහි ආපෝ, තේජෝ, වායෝ ස්වභාවයන් ද ඇත. උදාහරණයක් ලෙස වියළි ගඩොල් කැටයක් සාමාන්‍යයෙන් තද බවින් යුතු නිසා එය පඨවි ධාතු වේ. එහි ඇති උණුසුම් හෝ සිසිල් බව තේජෝ ධාතු වේ. ගඩොල් කැටය ජල භාජනයකට දැමූ විට වායු බුබුළු පිටවේ. එනම් ගඩොල් කැටය තුළ වායෝ ධාතුව ද ඇත.

ගඩොල් කැටය භාජනයකට දමා රත් කළහොත් ජල වාෂ්ප පිටවේ. එසේ නම් එහි ආපෝ ධාතුව ද ඇත. මේ අයුරින් ලෝකයේ සෑම භෞතික වස්තුවක ම ධාතු සතරම ඒකරාශි වී ඇතත් සාමාන්‍ය අවස්ථාවේ දැන හඳුනා ගන්නා ස්වභාවය අනුව විස්තර කරයි. එසේම ධාතු වශයෙන් හඳුනා ගැනීම එක් එක් මොහොතේ ඒ ඒ පුද්ගලයා අනුව ද වෙනස් වේ.

රත්වන ජල භාජනයක් පරීක්ෂා කරන අයෙක් එය තවම රත් වී නැති බව පවසන අතර, වෙන අයෙක් රත් වී ඇති බව පැවසිය හැකි ය. එම පුද්ගලයන් දෙදෙනා තේජෝ බව හඳුනා ගන්නේ ආකාර දෙකකිනි. මෙයින් පැහැදිලි වන්නේ ධාතු (ස්වභාවය, යනු භෞතික දේවල් (සතර මහා ධාතු) ඒ ඒ පුද්ගලයා විසින් වේදනා සංඥා ඇසුරින් හඳුනා ගන්නා සංජානන මට්ටම බවයි.

පඨවි, ආපෝ, තේජෝ, වායෝ, යනු යම් දෙයක් නොව යම් දෙයක ඇති ස්වභාවය බව ධාතු විභංග සූත්‍රයෙන් (ව.නි.දු) මනාව ඔප්පු වේ. එම සූත්‍රයේ ශරීරයේ තද ගතියෙන් යුතු කොටස් විස්සක් නම් වශයෙන් හඳුන්වා අත. කෙස්, ලොම්, නිය, දත් ආදී මේ කොටස් විස්ස සාමාන්‍ය අවස්ථාවේ දී හඳුනා ගන්නේ තද ගතිය මුල් කොට ගෙන වේ. එය සූත්‍රයෙහි විස්තර වන්නේ “අජ්ඣත්තං පච්චත්තං කක්ඛලං ඛරිගතං උපාදින්නං” ලෙසිනි.

එනම් තමාගේ යැයි වෙන් කර ගත් තද ගතියෙන්, ගොරෝසු ගතියෙන් උපාදාන වූ යන්නයි. මෙම කෙස්, ලොම් ආදී කොටස් 20 නම් වශයෙන් සඳහන් වූ පසු, මීට අමතරව තද ගතියෙන් ගොරෝසු ගතියෙන් යුත් තවත් යමක් ඇති නම් (යං වා පන අඤ්ඤම්පි) එය ද පඨවි ධාතු බව සූත්‍රයේ සඳහන් වේ.

මෙයින් ඉතා හොඳින් පැහැදිලි වන්නේ කෙස්, ලොම් ආදිය පඨවි, නොව කෙස් ලොම් ආදියෙහි ඇති තද ගොරෝසු ස්වභාවය පඨවි බවයි. මේ නිසා කෙස් ලොම් ආදිය පොළොවට පස්වී යාමෙන් පඨවි ධාතුව අනිත්‍ය වූ බව පැවසීම මුළුමනින් ම වැරැදි අදහසකි.

කෙස්වල ඇත්තේ ද තද ස්වභාවයයි (පඨවි ධාතු) පොළොවෙහි ඇත්තේ ද තද ස්වභාවයයි (පඨවි ධාතු) කෙස් පොළොවට පස් වී ගිය පසු, කෙස් යන නම අතුරුදහන් වුවත් පඨවි ස්වභාවයෙහි වෙනසක් නැත. එය පඨවි ධාතුවෙහි අනිත්‍ය වීමක් සේ සැලකීම වැරැදිය. මෙය ඉතා සැලකිල්ලෙන් විමසා බලා තේරුම් ගත යුතු කරුණකි.

මේ අයුරින් ම දහදිය, මුත්‍රා ආදිය ජලයෙහි දියවීමෙන් ආපෝ ධාතුව අනිත්‍ය වේ යැයි පැවසිය නොහැක. දහදිය මුත්‍රා මෙන් ම ජලයෙහි ද ඇත්තේ ආපෝ ස්වභාවයයි. ආපෝ ධාතුව ආපෝ ධාතුව සමඟ එක්වීමක් සිදුවී ඇත.

ධාතු විභංග සූත්‍රයේ සඳහන් වී ඇත්තේ ධාතුන්ගේ අනාත්ම බව විමසා බලන ආකාරයයි. තද ස්වභාවය (පඨවි) තමන්ගේ ශරීරයේ මෙන් ම බාහිර ද ඇත. එබැවින් තමාගේ ශරීරයේ ඇති තද බව (පඨවි) පමණක් මගේ, මම කියා පිළිගැනීම මුළාවක් බව තේරුම් ගත යුතු ය. මේ අයුරින් ම ආපෝ, තේජෝ, වායෝ යන ස්වභාවයන් ද තමාගේ ශරීරයේ මෙන් ම බාහිරව ද ඇත. තමාගේ ශරීරයේ ඇති ආපෝ, තේජෝ, වායෝ ස්වභාවය පමණක් මගේ, මම, කියා වෙන්කර ගැනීම මුළාවක් බව නුවණින් විමසා බැලිය යුතු ය.

මෙසේ ධාතුන්ගේ අනාත්ම බව නුවණින් විමසා බැලීමෙන් ධාතුන්ගෙන් සිත නිදහස් වන බව සූත්‍රයේ (චිත්තං විරාජේති) සඳහන් වේ.

මේ සියලු කරුණු හොඳින් විමසා බලන විට පැහැදිලි වන්නේ සතරමහා ධාතු යන වැරැදි ව්‍යවහාරය විපස්සනාවේ දි වැරැදි අදහසක් ඇති කර ගැනීමට හේතු වන බවයි. විපස්සනාව යනු ධර්මයෙහි මුළාවීමක් නොව මුළාවෙන් නිදහස් වීමකි. මුළාවට පත් නොවී ධර්මය විමසා බැලීමට නම් නිවැරැදි ලෙස ධර්මය දැන ගත යුතු ය. එබැවින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි, සද්ධර්මයෙහි මුළා නොවීමටත් (සද්ධම්මස්ස අසම්මෝසාය) සද්ධර්මය අතුරුදහන් නොවී බොහෝ කලක් දෙවි මිනිස් ලෝකයාට ධර්මය අවබෝධය පිණිසත්, සතරමහාභූත යන නිවැරැදි වචනය භාවිත කිරීමට සියල්ලෝ ම ධර්මයේ නාමයෙන් උනන්දු වෙත්වා.

බිනර  අමාවක

ඔක්තෝබර් 13 සිකුරාදා
අ.භා. 09.50 න් අමාවක ලබා 14 සෙනසුරාදා අ.භා. 11.24 න් ගෙවේ. 14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]